Search This Blog

Monday, January 6, 2014

ඔබ එනවද ??

තණ බිස්සක දිගා වෙලා 
නිල් අහසේ සුදු පෙන කැටි 
මවන රටාවන් සොයන්න 
ඔබ එනවද මාත් එක්ක ?

මීදුමකට මුවාවෙලා 
සීත රැඳුනු උස් කඳු වැටි 
අතර දෑත් බැඳ යන්නට 
ඔබ එනවද මාත් එක්ක ?

ඉර බැස යන සැන්දෑවක
මුහුදු ඉමක මත ගල් වැටි
ඉදන් යනෙන නැව් ගනින්න
ඔබ එනවද මාත් එක්ක ?

තරු සහසක් නැඟි අහසක
නිහඬව නෙත් යොමාන සිටි
සිකුරු තරුව සොයා යන්න
ඔබ එනවද මාත් එක්ක ??

-නෙළුම් - 21/12/2013-

Thursday, November 21, 2013

රන් තැඹිලි -පළමු කොටස

ඔබ රන් තැඹිලි ගසක් දැක තිබේද ??නැතුවා වන්නට ඇති .දියත් මදත් ඉතා රසැති ,තෙල් සිදීමටද ,බෙහෙතටද ගන්නා ,නිතර දකින තැඹිලි ගෙඩියට වඩා තද පැහැයක් ගන්නා ඵල හට දරන  රන් තැඹිලි ගසක් අප ගෙවත්තේ නම් තිබෙයි .

පොල් කඩන ගාමිණි පැමිණි විටක ,වත්තේ පොල් ගස් වලින් පොල් කඩා අවසන ,රන් තැඹිලි ගසෙන් තැඹිලිද කඩවා ගන්නටද  අපි අමතක නොකරමු .එතරම් ඵල නොදරන මෙහි ,කදිමට පැසී තිබෙන තැඹිලි වල්ලක් වේ නම් ,ගාමිණී සීරුවෙන් බලා තැඹිලි ගෙඩි අප වෙත බා දෙයි .ගස පාමුලම සිට ගාමිණීද සමඟ අපි කෑදර කමින් පැණිම පැණි රස තැඹිලි වතුර බී ,ඇති වන තරම් මදද කන්නෙමු . වතුර බීමට වන කෑදරය මහත් වූ විට ,කටින් පිටට වැටෙන වතුර ඇඳ සිටින ඇදුමේ ගලා යයි .

මේ රන් තැඹිලි වතුරද ,මදද හාම සමානව ,මෙම ගස හා බැඳී තිබෙන එය ආ ගමනද ඉතා රසවත්ය .එය මෙතැන් සිට මම ,ඔබට කියන්නෙමි .ඔබ එය මාත් සමඟ රස විදින්න .


රන් තැඹිලි ගස අපේ වත්තට පැමිණ ,දැනට අවුරුදු 75කි .ආහ්  ඔබ පුදුම වෙනවාද ?? එසේ නොවන්න. එය සත්‍යයකි .හරියටම 75ක් .මා මේ ගණන් හිලව් කියුවේ අරුමයකින් නම් නොවේ .දැනට මිය පරලොව ගොස් සිටින අත්තම්මාගේ වයස හා ගණන් බලාය මා එසේ කීවේ .රන් තැඹිලි ගස වත්තට ආයේ අත්තම්මා දීග ආ දිනයේය .

මගේ අත්තම්මා නම් රත්නායක මුදියන්සේලාගේ හීන් මැණිකේ වන්නිය  .ඇයගේ උපන්ගම තුන්දෙණිය නම් කුඩා ගමකි .තෙවැනි දරුවා ලැබීමෙන් වසරක ඇවෑමෙන් අත්තම්මාගේ අම්මා,එනම් මගේ කිරි අම්මා , මිය පරලොව ගොස් ඇත .ඒ වියෝවෙන් හද පෑරුණු කිරි අත්තා ,බීමතටත්  ,දාමරික ක්‍රියාවන් වලටත් යොමු වූ බවත්   ,ඒ සියල්ල හමුවේ පවුලේම බර ,එවකට හෝඩියේ පන්තියේ ඉගැනුම් ලැබූ තම කර මත පැටවුණු බවත්  ,අත්තම්මා මතකය අවදි කර දස දහස් වර මට කියා ඇත .

ඒ මහත් කරදර නිසා ,තමාට  අකුරට යන මඟ හෝඩියේ පන්තියෙන්ම නවතා දමන්නට සිදු වූ බවත් ,අකුරින් තොරව අඳ ලොවක  තනි වූ බවත් ,අත්තම්මා දුක්බරව මා හා දොඩමලු වෙයි .එනමුත් එම අඳ ලෝකයට පත් නොහෙන සේ ,නැගණිය වූ පොඩි මැණිකාටත් ,මළනුවන් වූ බණ්ඩාටත් දෙවැනි මෑණිය වී මං සලසා දුන් බව ඇය කියන්නේ ආඩම්බරයෙනි .එසේම ඇගේ පුතුන් සය දෙනාත් , එකම දුවත් හොදින් උගත් කල ඇගේ හිස මල් පිපුණ බවත් .මුණුපුරු ,මිනිපිරියන් තව තවත් ඉහලට උගත් කල ඒ හිස මල් ගොන්නක්ම වූ බවත් ඇය කියන්නේ සොම්නසිනි .ඇගේ අකුරු නැති ලොව අපේ අකුරින් එළිය වූ බව ඇය කියන විට අපිද සොම්නස් සුසුම් හෙලන්නෙමු .

දරුවන් නොලබාම ,කුඩා වයසින්ම ,තම නැගණිය හා මලනුවන් නිසා මවක වී ,ගේ දොර වැඩ හොදින් උගෙන ,පොත පතින් කෙසේ වෙතත් ලෝකයෙන් දැනුම ගෙන ,අත්තම්මා කල වයසට එලැඹ නාඹර ලදක් වූ දිනක ,සුරාවේ ගැලුනේ වුවත් ,දාමරික වුවේ වුවත් ,අත්තම්මාට මහත් සේ දරු සෙනෙහස් පෑ ,කිරි අත්තා ලොව අන් සියලු පියවරු සේම ,අත්තම්මා දීග තල දීමට කටයුතු කර ඇත .

ඒ අනුව සිංහල මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ද ලැබූ බොදු ගොවි කුලයේම නාඹර නිලමේ කෙනෙක් අත්තම්මා වෙනුවෙන් කිරි අත්තා සොයා ආ බවත් ,කිරි අත්තාගේ බසට වඩා අන් බසක් නම් නැති නිසා ,අත්තම්මා කළු බණ්ඩාර  නිලමේ තුමා හා පතිකුලයට එළඹී බවත් ,ඈ රසවත් කතා දිග අරිමින් මට කියන්නේ ,අත්තම්මාගේ මගුල ගැන මා අසු විටකය .

සිනා පාමින් නැවත නැවත සිහිකර ඈ කියන්නේ ,මගුල ජයෙන් ජයටම පැවැත්වූ බවය . රබන් ගසා ගම දෙවනත් කල බවය . හත් දා මගුල් කෑ බවය.කිරි අත්තාගේ ආසිරි මැද ,අක්කර 5 තරම් ගොඩ ,මඩ ඉඩම්ද ,තව කනකර බඩුද ලබා ඇය ,බක්කි කරත්තයෙන් ,තම ස්වාමියද සමඟ ,තුන්දෙනියේ වෙල් ඉපනැලි පහුකරමින් , පල්ලෙවෙල ග්‍රාමයට ආ බව ඕ කියද්දී මමද මහත් සේ කුල්මත් වෙමි .

අද මෙසේ වියපත් වුවත් ,අත්තම්මා ,නළල්පට ,මාල හත දමා ,උඩරට ඔසරිය ඇඳ මනාලිය සේ ,එදින කෙසේ නම් සිටින්නට ඇතිද ...මගේ සිතුවිලි එසේ දුර දිව යයි ..

අත්තම්මා තව තව දොඩමලු වෙයි ..කතාවේ ඉතිරියට මගේ සිනාව නම් නවත්වා ගත නොහැකි වන්නේය .ඒ නම් අත්තම්මාගේ ,නෑ සනුහරෙන් තෑගී ලැබුන මහන මැෂිමේ කතාවටය ..දෑවැද්ද ලෙස ගොඩ මඩ ඉඩම් ,කනකර අබරණ ලද ඈ තෑගි ලෙස ,ඇගේ ප්‍රභූ මාමා කෙනෙකුගෙන් මහන මැෂිමක් තෑගී ලබා ඇත.තුන්දෙනියේ අත්තම්මගේ නිවස පිහිටි කදු ගැටයේ සිට පහළටත් ,එතැන් සිට වෙල් ඉපනැලි මතිනුත් , පල්ලෙවෙලදී රාජ ඇල වේල්ල මතිනුත් ,පල්ලෙවෙල අත්තම්මගේ අලුත් ගෙදර දක්වාම ,ඒ මහන මැෂිම ,ඉලන්දාරින් කීප පලක් විසින් ,අතරමඟ වැටෙමින්ද ඔසවාගෙන ආ බව ඕ කියද්දී ,කෙසේ නම් මා සිනා මැඩ සිටින්නද ??

මා සිනාසෙන විට ,ඔලොක්කු කරන අත්තම්මා මද වෙලවකින්ම මද සිනා දක්වා ..

''අනේ ඇත්තට තව බක්කියක් තිබුනේ නෑ නෙව .''.යැයි කියයි ...අපි දෙදන එක්ව සිනාසෙන්නෙමු

තමා පතිනිය වූ නව නිවස දක්වාම කිරි ඇත්තා බක්කිය පසු පසින් පයින්ම ආ බව කියන අත්තම්මා සංවේදී වෙයි ..

''අප්පේ උන්දැගේ හයි හත්තිය ''
''මග ගෙවාගෙන පයින්ම ආව .''. අත්තම්මා කියයි...

ඉතිරිය මතුවට ...





Wednesday, November 20, 2013

මං ආසම සින්දු

කම්මැලි කමට ටීවී බලනකොට අමුතුම සින්දුවක් මම දැක්කා ..
මිස් කෝල් එකක් තරමට ...

අනේ අපොයි කියලා හිතුනලු මට ඉතින්


එතකොට මම ආසම සින්දුවක් මතක් වෙලා මෙහෙම ලියන්න හිතුනා .. නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් මේක ...

දේදුනු පායා පාට වැටෙනවා 
ජීවන අහස් තලේ 
ආදර පවනේ සුසුම් කුසුම් වැල් 
මා යන මගට හැලේ 

දෑසට දෑසක් හමුවුණු දවසේ 
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ 
සිතිවිලි දහසක් එක්තැන් වුයේ 
පැතුම් ලොවට මගේ , ඇයි නුඹ ආයේ 

මා කැඳවන බොරු ඉඟියක් දැනුනා 
ආදර විමනේ රන් දොර අරුනා 
පොපියන හදකින් ආසා හිතුනා 
පිටුපා යන්නට බැරි බව හැඟුනා 

උල්පත සැදුනේ සිසිල උනන්නයි 
මල් කෙනී මැවුනේ රොන් වැහෙන්නයි 
මී වද බැඳුණේ පැණි සුරකින්නයි 
හද මැවුනේ ආදරේ කරන්නයි 

මල් බර තුරු අග සෙවන සදනවා 
කුරුළු ගීත ආසිරි ගී වෙනවා 
තනිවම ගිය මඟ ඔබ හා යනවා 
පෙමට අරුණු හද ඔබට පුදනවා 


වැඩිය අරුමෝසම් නැතුව ආදරේට ,ආදරෙන් ලියපු සින්දුවක් .. කොච්චර හෙව්වත් ලිව්වේ කවුද කියලා හොයා ගන්න බැරි උනා මට .. දන්නා කෙනෙක් ඉන්නවනම් දන්වන ලෙසටත් ආදරෙන් ඉල්ලනවා මම ..




Tuesday, November 19, 2013

ලොකු අයගේ කතා 2(Adults only part 2)

දෙයක් දෙනකොට , ඉල්ලුමට අනුව සැපයුම කියනවලු .ඉතින් ලොකු අයගේ කතා 1 කොටස ලිව්වට පස්සේ , දවසක් තුල වැඩිම page views, එක මොහොතක වැඩිම page views ගානත් වාර්තා වුන නිසා , අදත් ඒ වගේම පොඩි ලොකු අයගේ කතා ටිකක් කියන්න මම හිතුවා . 

අහ් පළවෙනි කොටස කියවලා , ගොඩක් දෙනෙක් ,ලස්සනනයි , good old days , තව ලියන්න වගේ දේවල් කියලා මාව දිරිමත් කළා . හැබැයි ඒ අතරේ කීප දෙනෙක් ,මොනවද ඔය ලියන කතා කියලත් කිව්වා  .. 

ස්වර්ණ පුස්තක සම්මානේ ලැබුන පොතක් වන පොදු පුරුෂයාටත්(2009) , හොඳ ගොඩක් මැද , එක්තරා සංවිධානාත්මක කල්ලියකින් මඩ ප්‍රහාර එල්ල උනා කියල ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක  මහත්මිය කියලා තියනවා දැක්කා මම පත්තරේ . ''ලියනකොට ගල් , මුල් දෙකම ලැබෙනවා ,මම නිදහස් රචකයෙක් , මම ලියන්නේ හැමදේම බලාපොරොත්තුවෙන් , හැමෝටම ස්තුතියි ''කියලා ඇය කියලා තිබ්බා , මාත් ඒ දේම කියන්නේ හිතේ අමනාපෙන් නම් නෙවයි ...

ඒ සියලු දෙනාටම ලඟදි දවසක, CNN එකට  වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහත්තයා කියපු දේත් මතක් කරලා දෙන්න කැමතියි මම ,එතුමාගේ අංග චලනයත් සමඟම  . Sri Lanka is a country with vibrant democracy.. In a country with a vibrant democracy we encourage divergent opinions,, I think  you should respect that !!!

ලොකු කතා 3.. ඇඟ = BODY  or ???

මේ සිද්ධිය උනේ මෙඩිසින් 1 මීගමුවෙදි  කරන කාලේ, අපේ එක්තරා විසාකාවකට .. රෝගීන් යම් යම් සිරුරේ කොටස් වලට සැබෑ වචන වලට වඩා වෙනස් වචනත් භාවිතා කරන බව දැනගෙන නොසිටීම නිසා වෙච්චි ඇබැද්දියක් !!

ඔන්න මේ විසාකාවට history එක ගන්න , යම් බෙහෙතක් අසාත්මික වීම නිසා රෝහල් ගත කෙරුණු අවුරුදු 18 පමණ වන තරුණ පුරුෂ රෝගියෙක් භාර උනා ..

ඉතින් මේ විසාකාවත් allergy ගැන ලස්සන හිස්ට්‍රියක් ගන්න හිතාගෙන , මේ තරුණ රෝගියා හොයා ගෙන ගියා..

ගිහිල්ලා , 3 වෙනි වසර වෛද්‍ය සිසුවෙක් , මම ඉගන ගන්න කෙනෙක් , මට අසනීප තත්වේ ගැන විස්තර ටිකක් දන ගන්න පුලුවන්ද ?? කියලා අවසර එහෙමත් අරගෙන .. ඔන්න කතාව පටන් ගත්තා ලෙඩත් එක්ක ..
 ඉතින් මේ තරුණ ලෙඩත් , එච්චර අමාරුවක් තිබ්බ නැති නිසා , ''හා හා මිස් '' ඕනේ දෙයක් අහන්න කියලා ''
පෙරලා සතුටු සිතින් උත්තර දුන්නා  ..

(පොඩි කොලු ගැටයෙක් වෙච්චි මේ රෝගියාගේ , කොන්ඩේ නම් කපල තිබ්බේ මහා විසුක දස්සන විදිහකටලු ,  එකේ පැත්තක් හරියට ඊයේ ගඩොල් ලොරියක් බෑවා වගේ පාටක් ලු ..බෙල්ලත් , අතෙත් එක එක වයි වාරන්න කම්බි කෑලි , නූල් කෑලි මහා තොගයක් සිලිං බිලිං ගගා එල්ලිලා තිබ්බලු , ලෙඩාගේ තනියට ඇඳ ළඟම, ලෙඩාගේ හොඳ බොක්කක් කියන්න පුළුවන් , ගොඩක් දේවල් අතින්  අංග සම වෙන කොලු ගැටයෙකුත් හිටියලු )

ඔන්න හිස්ට්‍රිය ගන්න අර විසාකාව මෙහෙම ඇහුවා 
''දැන් ඔයා මේ අවේ මොන අසනීපෙ නිසාද  ??

''allergic එකක් මිස් '' ලෙඩා කිව්වා 

මොනවටද allergic වුනේ ?? විසාකාව අහනවා 

''මේ මේ යාලුවෙක් දුන්න බෙහෙතක් '' ඒ පාර ලෙඩා ටිකක් ආදී මදි කරමින් කියනවා 

අහ් යාලුවෙක් දුන්න බෙහෙතක්ද ?? යාළුවා බෙහෙත් ගැන දන්න කෙනෙක්ද ??
 
 වෛද්‍ය උපදෙස් මත ලබා ගත් බෙහෙතක් ආසාත්මික වෙන්න ඇති කියලා හිතා ගෙන හිටිය ,විසාකාව ගොඩාක් පුදුම වෙලා ,කුතුහලෙන් ඇහුවා ලෙඩාගෙන් 

''නෑ නෑ මිස් එයා නම් එහෙම දන්නේ නෑ ''. ඒ පාර ලෙඩා කියනවා 

''ඉතින් ඔයා හරි වැඩක් නේ කරලා තියෙන්නේ ?? එහෙම බෙහෙත් හිතුනු හිතුනු විදිහට බොන්න හොඳ නෑ නේද ??''
තවත් පුදුම වෙච්චි විසාකාව ඇහුවා 

 ''ඒක නම් ඇත්ත තමා මිස් , යාළුවා දුන්න නිසා බිව්වේ ,''
''එයත් බීල තියනව , එයාට නම් ගොඩක් හොඳයි කියල කිව්වා , ඉතින් මටත් හිතුන බීල බලන්න ''
ඒ පාර ලෙඩා හිත ටිකක් රිදිලා වගේ කිව්වා.

''හරි හරි  දැන් ඔය බෙහෙත මොන අසනීපෙටෙද ඔයා ගත්තේ ??'' ලෙඩාගේ හිත හදන ගමන්ම විසාකාව කිව්වා ..

ඒ පාර ඔච්චර වෙලා හොඳට කතා කර කර හිටිය ලෙඩා , ටිකක් මුකුළු හිනාවක් දාගෙන ... එහෙ මෙහෙ බලන්න ගත්තා .. ලෙඩා ළඟ හිටිය යාලුවගේත් මාර කොමලයක් !!!

'මොකද්ද මේ වෙනස කියලා හිතලා ,මේ මුකුළු ඇල්ලුවේ නැති විසාකාව ටිකක් දැඩි බැල්මක් මූණට අර ගත්තා 

ඒක දැකලා , මුකුළු නවත්තල ආදී මදි කරන ලෙඩා මෙහෙම කිව්වා 

''මේ මේ  මිස් ,
 මේ මේ ඒක මේ ඇඟට හොඳ බෙහෙතක් ,  

ඇඟට හොදයි ?? diclofenac වද්ද??  කියලා හිතන ගමන් , 

ඒ කියන්නේ නිකන් වේදනාව නැති වෙන බෙහෙතක්ද ?? කියල විසාකාව ඇහුවා 

 ''අය්යෝ මිස් මොනවද මේ කියන්නේ ?? තේරිලා නෑ වගේ ''කියලා හිතලා ලෙඩා තව ටිකක් තේරෙන්න කියන්න හිතා ගෙන මෙහෙම කිව්වා  

''නෑ මිස් යාළුවා කිව්වා ඇඟට හොදයි , ෆුල් පවර් කියලා "

විසාකාව කල්පනා කරන්න පටන් ගද්දිම , සර් ඇවිත් ward round පටන් ගත්තා කියලා යාලුවෝ කතා කරපු නිසාත්  , තවත් රැඳී රැඳී ඉන්න බැරි නිසාත් , ගත්ත හිස්ට්‍රිය මඟ නවත්තලා , ලෙඩාටත් , ලෙඩාගේ යාලුවටත් ස්තුති කරලා විසාකාව පිටත් වෙලා ගියා ..

පහුවදා ඇවිත් බලද්දී ලෙඩා ගෙදර ගිහින් 

(ගොඩක් කල් මොකද්ද මේ බෙහෙත කියලා හිත හිත හිටිය විසාකාවට , sexuality ගැන කියල දෙන පීරිස් සර් , අපේ සිංහල මිනිස්සු , පුරුෂ ඇඟ , ගැහැණු ඇඟ වශයෙන් ලිංගේන්ද්‍රිය සඳහා භාවිතා කරන බව කිව්වම , ලෙඩාගේ කතාව තේරිලා නළලේ අත ගහ ගත්තලු ... බෙහෙතත් මතක් උනාලු ...)


ඉතුරු කතා පස්සේ .. අද කතා දෙකක් ලියන්න හිටියත් , පලවෙනි එකම දිග වැඩි වුන නිසා තව ලියන්න බෑ හිතුනා ...






ජීවක පදට්ඨ කතා 13

බුත්සරණිය මෙසේ ,තම ඉදිරි නායකත්ව ධුර කාලය පිළිබඳව ,තැති ගත් සිතින් ,තම යෙහෙලියන් දෙදනා හා වාචල්‍ය වත්ම , ඔවුනට දැන ගැනීමට ලැබුනේ නම්, ස්ත්‍රී අංශයේ වත්මන් නායක අනන්ජය පත්තු අනුභාවයේ නායකත්ව  තනතුරට  පත්වීමට නියමිත නීල  සුරනියද ,අනන්ජය පත්තු සේම ,ඉරු දින සන්ධ්‍යාවේ ස්ථාන මාරුවීම් ලබා ගැන්මට දැඩි සිතින් පසු වන බවය . එපුවත් සැලවුණු සැනයේම  සියල්ලන්ගේ සිත් බිඳී ගියා සේ වුවේය ''එසේ  නම් ඇයත් ඔවුන් හා සමගම අප අසාධාරණයේ හෙලයි '' දැන් නම් අපෙගේ එකම පැතුම වන්නේ අප වීර පුරුෂයන් තිදෙනා පමණකි'' ඔවුහු එක්ව සිතූහ .

ශනි දින උදවිය .සූර්ය රාජයා ,සිරිත් පරිද්දෙන්ම ගාරම ග්‍රාමය එකළු කලේ විය  .එනමුදු පෙර දින සාම කතා ඇති කොටගෙන ස්ථාන මාරුවීමේ නැකත් දසා ඉරුදින නොහෙන සේ ,අනෙකුත්  දවසකට වන සේ  සදා ගෙන එන්හම්යි කියා ,මහත් බස් කියා ගිය ,රුවනාක් ,අය බණ්ඩාර ,කෝණ චින්තන ත්‍රිත්වය ,බුත්සරණි , කුමරන්තනි ,දීලාමනි ආදී පිරිස් හමුවේ

''අනන්ජය පත්තුගේ  මනස  විචල්‍ය කිරීම නම්, පර්වතයකින් පට්ටාවක් ගන්නා සේම අසීරුය , අපි ඔහු හමුවේ අපොහොසත් වීමු '' යැයි කියූ කල්හි එසැනින් ඔවුන්ගේ වත කමල අඳුරුව ,තැතිගැන්මක සෙයක් ඇඳි ගියේය .
එසේ හෙයින් ශනි දිනය  ,මේ සියල්ල හමුවේම බිදුණු සිතින්ම,කිසිත් කර කියා ගැනීමට නොහැකිව ස්ත්‍රී අංශයේ සිසුහු ගෙවා දැමුහ .

ඉරු දිනට දිනකර නැග ආවෙහි .
''එසේ නම් අද දින සන්ධ්‍යාවේ නොවේද ,ස්ථාන මාරුව ලබා ගත යුත්තේ ??'' සිය්යල්ලෝම එක්ව කතිකා කරන්නට වුහ .
''අප කියන   බසට ඔවුහු එකඟ නොවෙති '' එනමුදු අපට ස්ථාන මාරුවීම ලබා ගැනීමද  කල හැක්කක් නොවන්නේ නොවේද ??" තව තවත් ඔවුහු දොඩමලු වුහ .
''ඔවුන් කුමක්  කීවත් ,කුමන කර්මයක් කලත් අපි ස්ථාන මාරුව ලබා නොගෙන ඉඳිමු ''එයයි අපහට කල හැකි එකම දෙය '' කතිකාව අවසන දැඩි සිතින් සියල්ලෝම   ඉටා ගත්තෝය ..

කාලය ගතව ඒ සිරුරත කිළිපොලන ,ඉරු දින සන්ධ්‍යාව උදා වුවේය .රෑ වැඩ මුරය බලා පිටත් වනු වස් , නිතරම එක්ව චාරිකාවේ යෙදෙන ,චල පියදස්සනි ,තඹරිනි,බුත්සරණි යන තිදෙනා , හිරු බැස ගොස්,ගාරම කඳු වැටිය ගොම්මන් අඳුරෙන් වැසි යන ඇසිල්ලේ ,වියලි කෝෂ මගින් දැල්වෙන හුළු අතු හා සමාන පන්දම්ද ,දුර සිට ඇමතිය හැකි කුඩා කථන වල ඇති පන්දම්ද දල්වාගෙන , පයට පෑගී ගියහොත් සත්මසකින් වත් සෝදා ගන්ධය ඉවත් කල නොහෙන ගාරම සංකේත බඳු වූ සුනඛ වසුරු මඟ අරිමින් ,දැන් දැන් අපි ගිය වහා කුමක් වෙයි සිතමින්ම ,ගාරම කන්ද බැස ආවෝ , මඟ ගමන් ගනිමින් ,'ගාරම නම් අපිය',කියන්නට මෙන් අවලම් ගමනින් චාරිකා කරන තුන්සක් රියද ,දෙසක් රියද මඟ අරින්නට උත්සහස දැරුවෝය .

කදු වැටිය බැස අඩක් දුර ආ තැන , එක් සිසුවියකගේ , දුර සිට ඇමතිය හැකි කුඩා කථනය නද දෙන්නට විය ,
එකෙනෙහිම තවත් එකියකගේ කථනයද නද දෙන්ට වුවේය ...

'අහෝ මේ නම් සුභ ලකුණක් නොවන්නේය '' යමක් නම් හදිසියකි '' කියමින්ම , කථනය ගෙන මේ කවුරුන්ද අමතන්නේ , බැලු කල දිස් වුයේ අය බණ්ඩාර සහ කෝණ චින්තන දෙදන මෙසේ අමතා සිටින වගය ..

ඇමතුමට පිළිතුරු දෙන ඇසිල්ලේ ,චල පිය්දස්සනිට අය බණ්ඩාර මෙසේ කියනු අසින ..

තොප දැන් නම් කොතැන සිටීද?? එන මඟ වන්නේද??

''එසේය අප තිදෙනා කදු වැටිය බැස එන මඟය සිටින්නේ , කිමෙක්ද ?? යම් කරදරයක් වත් වී ඇත්ද ??

''තොප වහ පැමිණෙව , කරදරය නම් තොපට පෙනෙනු ඇති  ''යැයි එබසට පිළිතුරු බඳිමින් අය බණ්ඩාර කීය.
 එතනින් කතාව අවසන් වුයෙන් , විසම වූ නෙතින් බලන චල පියදස්සනියට , තමාටද එබඳුම පුවත් කෝණ චින්තන සැල කර බව කියන බුතසරණිය නෙත ගැටුනාය  .

ඔවුන්ගේ බසින් , හා හැසිරීමෙන් යමක් නම් නොනොසි දෙයක් නම් මග මගම ඒ යයි සිතා , තේරුම් ගත් තඹරිනියද , විස්මිත වුවාය ..

ඉදින් අවසන වහ වහා රෝගී ආශ්‍රමය දෙසට තිදෙනාම එක්ව පා ඉක්මන් කලෝය .

ඉතිරිය මතුවට

ප.ලි - මේ දිනවල අවසන් වසර විභාගයට මුහුණ දෙන , ආදරණීය , 20 කණ්ඩායමේ අක්කලා , අයියලාට , මගේ සුභ පැතුම් ... ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා .. ජයෙන් ජය !!

Monday, November 18, 2013

ලොකු අයගේ කතා (Adults only)

මෙහි අන්තර්ගතය වඩාත් සුදුසු වැඩිහියන්ටය ,එබැවින් අවුරුදු 21 ට අඩු පිරිස් කියවීමෙන් වලකින්න .

මම දැනට මෙඩිසින් කරන්න අරන් අවුරුදු 4 ක් , ෆයිනල් යන්ට බොහෝම ලං වෙලා තියෙන්නේ , මේ කාලේ පුරාවට වෙච්චි adults only කතා ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා ,මොකද ඒ ඔක්කොම ටිකක් හිනාවට බර නිසා , ඇත්තටම මේවා එච්චරම ලොකු වැඩිහිටියන්ගේ කතාත් නෙවෙයි .අපි ඉතින් අහිංසක ළමයි නේ ...

ලොකු කතා 1- පීරිස් සර් සහ Human Sexuality lecture series

ඔන්න අපිට සෙකන්ඩ් ඉයර් එකේ රිප්‍රොඩක්ටිව් මොඩියුල් එකට ,Human sexuality කියල lecture series එකක් තිබ්බා .ඒක භාර වෙලා තිබ්බේ පීරිස් සර්ට (MBBS,MD,MRCP Psychiatry).ටයිම් ටේබල් එකට අනුව එක ලෙක්චර් එකක් පැය දෙකක් , දවස් 3. Video clip  කියලත් සමහර තැන් වල සටහන් වෙලා තිබ්බා.කට්ටියම ටයිම් ටේබල් බලලා , මේ මොකද(සාමාන්‍ය ලෙක්චර් එකක් විනාඩි 45) කියලා හිතලත් ,ආහ් හරි හරි මේ ඔය සීනියර්ස්ලා කිව්ව රාජකීය ලෙක්චර්ස් ටික නේද කියලා තේරුම් ගන්නවා , අපිට ඒ වෙනකොට කනින් කොනින් ඇහිලා තිබ්බා , ''ලොකුම දේත්'' ප්‍රසිද්ධියේම බලලා ලොකු ළමයි වෙන දිනේකුත් එනවා කියලා සෙකන්ඩ් ඉයර් එකේ ..

ඔන්න ඒ දිනේ උදා වුනා . මාත් ඉතින් මගේ යාළුවා නිමේෂත් එක්ක ලෙක්චර් හෝල් එකට ආවා . අපොයි අපි දැක්ක දේ , මුළු හෝල් එකම පිරිලා ,මුළු බැච් එකම දැනටම ඇවිත් , අනේ ඉතින් වෙනදට භාගයක් වත් පුටු හිස් නේ , අපිත් ඉතින් වෙනද වෙලාවටමයි අවේ , මොකද ඉතින් අපේ තැන නැති වෙන්නේ නෑනේ කවදාවත් , දැන් හරි වැඩේ , ඉඩත් නෑ වගේ , එත් බලල බලල අපි දෙන්න පිටි පස්සේ පෝලිමට ටිකක් ලගින් වාඩි උනා .

 වාඩි වෙලා වට පිට බැලුවා , අනේ අනේ වෙනද හොස්ටල් වලට වෙලා ඉන්න පුරුෂ පාර්ශවේ අයට තමා මේ අලුත් උනන්දුව ඇති වෙලා තියෙන්නේ .අපි දෙන්නා මූනින් මූණ බලා ගන්නවා .
කොහොමද කට්ටියගේ උනන්දුව , අපි දෙන්නා එකටම හිතුවා ..

ඔන්න සර් ආවා , සර් ආව ගමනුත් attendance වලට ප්‍රශංසා කරලා ලෙක්චර් එක පටන් ගත්තා . මුලින්ම introduction එක , වෙනද විදිහටම theory .Print කරලා note එක හම්බවෙන බව දැන දැනත් , ලෙක්චර් එකේදී ලිව්වේ නැත්තම් අවුල් කියල හිතෙන ස්ත්‍රී පාර්ශවේ බහුතරයයි , පුරුෂ පාර්ශවේ ඉතා සුලුතරයයි හෝ ගැවිල්ලේ ලියන්න පටන් ගත්තා වෙනද වගේම..

දැන් නම් බෝරින්ද මන්දා , අර අලුත් උනන්දුව ආපු අයට හතෙනවා , තාම Theory ..අයියෝ ....

පැය භාගයක් විතර ගියාට  පස්සේ  normal  human sexual response එක ගැන සර් කියන්න පටන් ගත්තා  , අහ් දැන් නම් කට්ටියට  සතුටුයි .  හරි බරි ගැහිලා අහගෙන ඉන්නවා , මීක් නෑ .

Desire , Excitement , Plateau ,Orgasm ,Resolution .. response එකේ stages  ටික සවිස්තරව කියනවා සර්. ඒ අස්සේ සර් අමුතු අමුතු සිංහල වචනත් දාල ,කියපු කතා නම් වැඩිහිටියන්ට පමණක් තේරෙන විහිලු කියල මටත් ,නිමේෂටත් තේරුනේ , අපේ පුරුෂ පාර්ශවය ''හක හක '' ගාලා හිනා වෙනකොට . ඒ කාලේ හරිම පොඩි ළමයි වුනු අපි දෙන්නට ඒ ගොඩක් දේවල් තේරෙන්නේ නැතුව මූණින් මූණ බලා ගත්තා ,

හැබැයි අවුලක් නෑ , අපේ ළඟ හිටිය බොහොමයක් ගෑනු ළමයින්ටත් ඒවා තේරිලා නැතුව අපි වගේම වට පිට බලනවා ...අපිට සතුටුයි .අපි odd man out නෙවෙයි ..එත් අපි දෙන්නට plateau phase එකේ  coordinated rhythmical muscular activity ගැන  සර් සදහන් කරලා ,කැඩිච්ච ඇඳක් නිසා , ''කිරි කිරි '' සද්දෙන් පීඩා විදමින් sexual dysfunction තත්වයට පත් වුනු   යුවලකට ,Then I  asked them to use a mattress on the floor instead ..කියද්දී එක නම් තේරිලා හිනා ගියාලු ....

ඉතින් විහිලු , theory මැද පැයක් ගත වෙලා , දෙවැනි පැය උදා වුනා , වෙනදට පුටු වල නිදියන අය කොහේ ගියාද නෑ .. ඈනුම් අරින අය ?? අනේ ඉතින් .

Now I 'll  show you some video clips කියලා ,සර් කියද්දී  හැමෝම ඉතින් තව තව සූදානම් වුනා ..

ඔන්න video clip එක පටන් ගත්තා ..

ඒක දැකපු බ්‍රාහ්මණ තුමෙක් මෙහෙම ලිව්වලු ..

''ඉදින් එහි දිස් වුයේ සුකුමල වුත් , නග්න වුත් විලාසිනියකගේ දේහයකි , ඕ අසල සයනෙහි වුයේ නග්න වූ සිරුරෙන්ම කල් ගෙවන හැඩි දැඩි යෞවනයෙකි .රතියෙන් මඩනා ලද හෙතෙම , නග්න විලාසිනිය තමා වෙතට ඇද ගෙන ,ඇගේ මුව කමල චුම්භනය කළේය , ඉදින් නොනැවතී  එම නාරි දේහයේ රස සොයමින් පිරුණු පයෝධරයන්ද චුම්බනය කරමින් ,වසා රොද දක්වාම ඔහුගේ මුව මෙහෙය වීය . එම චුම්භනයන් හමුවේ ප්‍රමුදිත වෙමින් විලාසිනියද , රතියෙන් මත්ව දැවී අළු වන සෙයක් දනවා සිටියාය ''

මේ video එක යන අස්සේ ස්ත්‍රී පාර්ශවයේ බහුතරක් ගේ මූණු නම් ලැජ්ජාවේ බැරුව බිමටම නැමුනලු , ලැජ්ජාව උපරිම වෙච්චි කීප දෙනෙක් හොරෙන්ම නැගිටලා හෝල් එකෙන් එලියට ගියාලු .. ඔය film වල පොඩි පොඩි scenes ඇර මෙහම අමුවෙන් දැකල තිබ්බ අපි දෙන්නත් පුදුමෙනුත් පුදුම වෙලා  හිටියලු .. මට වැලමිටෙන් අනින නිමේෂා මගේ සටහන් පොතේ කොනක මෙහෙම ලිව්වාලු 

s  dis norml respons ?? :O :O

මාත් ඒක බලලා :O  කියල ලිව්වාලු  ..

මේ ඔක්කොම අස්සේ පුරුෂ පර්ශවේට නම් කිසි ගානක් නැතුව ඉන්නවා අපි දැක්කලු ,අපි දෙන්නගේ පුදුමේ තව වැඩි වුනාලු .. කොහොමහරි අන්තිම වෙනකන්ම , අර sex , මේ sex , අර position එක , මේ position එක  ඔය වගේ ගොඩක් දේවල් බලලා , වැස්සක් වැහැල පෑවුව වගේ ලෙක්චර් එක ඉවර වෙලා , අපි එක පිම්මේ  පැනලා දිව්වලු  ...

පස්සේ දවසක අපේ හොඳම පුරුෂ පාර්ශවේ යාලුවොන්ගෙන් , මේක ගැන අහද්දී එයාල නම් කිව්වේ , 7
වසරේ ඉදන් p***  බලපු අපිට ඕවත් දේවල්ද කියලලු
එකම වාසිය වෙනදට පුංචි තිරේ බලපු දේවල් ,ලොකුවට පෙනුන එකයි , කන පිරෙන්න සද්දේ ඇහිච්ච එකයි කියද්දී , අම්මෝ අපේ කොල්ලෝ කියලා අපි හිතුවලු .....

ලොකු කතා 2- Sexual  history taking

ඔන්න දෙකන් පාස් වෙලා 3ට ආපු අපි හැමෝටම , මුලින්ම තිබ්බේ HISTORY TAKING  , එහෙම නැත්තම් සායනික ඉතිහාසය ලබා ගැනීම ඉගන ගන්න එක . ඇත්තටම ඒක ලේසි දෙයක් නෙවයි . ඒකට හොඳ දැනුමක් වගේම , communication skills ඕනේ ..History taking is an art  කියල කියන්නේ ඒක නිසා ..

Introduction ,Presenting complaint , History of presenting complaint වගේ කොටස් ඔක්කොම පහළොවක් විතර තියනවා සම්පූර්ණ කරන්න . අන්තිම හරියේ තියනවා sexual history කියලා කොටසක් .. ඉතින් මෙන්න මේ කොටස සම්පූර්ණ කර ගන්න නම් ගොඩක් ළමයි අදි මදි කරනවා වගේම , බොහොමයක් වෙලාවට ඒ කොටස හෙමින්ම මඟ අරින එක තමා කරන්නේ ..අවශ්‍යම උනොත් ඇරෙන්න ..

ඉතින් මේක හැමදාම කරන්න බෑ ෆයිනල් එකේදී අමාරු වෙයි කියලා , මෙඩිසින් 2 කරන කාලේ අපේ කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා හරියට sexual history එක ගන්න හැටි කතා වුනා ..

''අනේ ඇත්තටම කොහොමද ඕව ගැන patients ලාගෙන් අහන්නේ ''එක ළමයෙක් කිව්වා .

ඔව් අනේ මාත් දන්නේ නෑ , ලජ්ජත් හිතෙනවා  තව ළමයෙක් හු මිටි තිබ්බා

ඒක අහල එක ළමයෙක් මෙහෙම කිව්වලු
''මට නම් ඕවගේ ගානක් නෑ , sexual history එක තමා මම හොඳටම ගන්නේ ''

අහ් මොකද්ද අනේ කිව්වේ ??
ඔයාට හොදට ගන්න පුලුවන්ද?? ගොඩාක් පුදුම වෙච්චි ළමයෙක් ඇහුවලු ..

''ඕකට විශේෂ වචන සෙට් එකක් තියනව , මේ නිකන් කියන ඒවා ''
''ඒවා දාල ඇහුවම හිස්ට්‍රිය නිකන්ම අතේ '' අර මුලින් ලොකු කතා කියපු ළමයා ආපහු කිව්වා

''අනේ ඇත්තද ?? අනේ අපිටත් ඒ වචන කියල දෙන්නකෝ ''
එතකොට අපිටත් හොඳට history ගන්න පුළුවන් .. අර ළමයා කිව්වලු

''අපෝ අපෝ ඒක කරන්ඩ බෑ , ඒවා අත්දැකීමෙන් හොයා ගන්ඩ ඕනේ '' ඒ පාර තව ලොකු කතාවක් කිව්ව ඒ ළමයා ..

අප්පෝ මොකද්ද අනේ, කියන්නකෝ අගේ නොකර ''අපිත් ආසයිනේ ඉගන ගන්න ''  කියල තව ළමයෙක්  කිව්වා

''මේ මේ එහෙම කතා කරන්ඩ එපා , මට බෑ ඉතින් කියල දෙන්න ''කිව්වා  අර ළමයා

''අහ් එහෙනම් මෙයාට අත්දැකීම් ඇති , අපි යමු අනේ යන්න ''කියල  ළමයි කීප දෙනකේ තරහ වෙලා යන්න ගියා ..එතනින් ඒ කතාව ඉවර වුනා

පස්සේ වෙලාවක මේ හොඳට history ගන්න පුළුවන් ඒ ළමයා කොච්චර හොඳට එක හිස්ට්‍රියක් ගත්තද කියනවනම් , එක රෝගියෙක්ගේ දුර්වලතාවකට ,ඒ ළමයා එක බෙහෙතක් ගැන කියලා , ඒ රෝගියා වහාම නෝනට කෝල් කරල හොඳ දොස්තර මහත්තයෙක් හොඳ බෙහෙතක් දුන්නා කියල කිව්වලු ..අපිත් එක්ක ඒ ගැන කියල ඒ ළමයා සතුටු උනාලු ..අපිත් sildenafil නේ කියලා සතුටු උනාලු ..ලෙඩා නම් ඒකට කිව්වේ දිවියද , කොටියද කියල වචනයක් ලු .....
ඔය අස්සේ ''මොනවද අනේ ඒ වචන ??''කියල අයෙත් අර ඉගන ගන්න ආස ළමයි ඇහුවත් ,
''ඒවා කියන්ඩ බෑ ''කියලා ඇස් හීනි කරලා හිනා වෙලා ඒ ළමයා යන්ඩ ගියාලු ..


ඉතුරු කතා පස්සේ ...












Friday, November 15, 2013

මම ආසම කවි ...

ඊයේ කවි ටිකක් , නිසදැස් ටිකක්  ලිව්වට පස්සේ යාලුවෝ හැමෝගෙන්ම උණුසුම් ප්‍රතිචාර ලැබුනා ... ඇත්තටම ඒවා හරිම ලස්සන කවි නිසා හැමෝම ආස වෙලා .. හොඳ දේ කවදත් පවතිනවා නේ .. ඉතින් අදත් මම හිතුව පොඩි කාලේ අසාවෙන් කියවපු කවි පෙළක් ඔයාලත් එක්ක බෙදා ගන්න ..මේක මල් බස් කියන කවි පන්තිය ,, කුමාරතුංග මුණිදාස ශුරීන්ගේ ..

මට මේ කවිය කියල දුන්නේ අම්මා ..කුමාරොදය කියන පොතෙන් (දැන් ඒ පොත මන් ළඟ නෑ , නැති වෙලා ඒක )..ලස්සන උනත් ,සුවද නැති කිණිහිරියා මලක් වගේ ..ගුණ සුවඳ නැති ළමයෙක් වෙන්නේ නැතුව රුවත් ගුණත් දෙකම තියන රෝස මලක් වෙන්න කියල අම්මා කිව්වා ..එතකොට මම අහනවා ''ඉතින් අම්මේ මම නෙලුම් නේ ''කියලා .. අම්මා එතකොට කියනවා ''ඔව් ඔව් ඔයා  මගේ නෙලුම් මල නේ .. මඩ වගුරෙන් උඩට ඇවිත් ලෝකෙටම සුවඳ දෙන්න ඕනේ ''   ''හරී '' ලෝකෙට සුවඳ දෙන නෙලුම් මලක් වෙන්න හිතාගෙන අම්මත් එක්ක මල් බස් සද්දෙට කියනවා ..

1.ගස අගනා -අර රඳනා
   මලට මනා -බොහොම හිනා

මල් පිපෙන ගස් නම් අගනේය , ගස ලස්සන වන්නේ මල නිසා බැවින් මල ඉතා සතුටු වෙයි

2.ගස වතුසුදු -වී පිරිසිඳු
 පොහොය නැතිඳු -සිල් ගත් බඳු

වතුසුදු ගස සුදු පැහැ මලින් පිරී ඇත , අද පොහෝ දින නොවුවත් සිල් ගත්  සෙයකි .

3.දහස් දලා -ගස විමලා
මහන වෙලා -සිටින තුලා

දහස් පෙතියා මල් ගොන්නකි , මහන වූ සෙයක් පෙනේ

4.මල කිණිහිරි -රුවිනි සසිරි
 නැත නැණ සිරි -දරුවෙකු සරි

කිණිහිරියා මල් නම් ඉතා ලස්සනය , එනමුදු සුවඳ නැත . එය සැබවින්ම නුවණ නැති දරුවෙකු හා සමානය .

5.මහ පුදුමෙකි -මලෙක මලකි
නැහැ එහි සකි -සමනළයෙකි

(මෙතැන් සිට ඇරඹෙන්නේ මිතුරන් දෙදෙනෙකුගේ සංවාදයකි )
පළමු මිතුරා -මහා පුදුමයකි , මේ මලක් මත මලක් නොවේද ?
දෙවන මිතුරා -නැත නැත මිතුර ඒ සමනළයෙකි

6.මලක් මෙහෙම -කෙදිරි ගෑම
නෑසිමි මම -කලෙක කිසිම

(මිතුරා අමතා , අනික් මිතුරා මෙසේ කියයි , ඔවුන් දෙදෙනාට මලකින් ඇසෙන රුන් රුන් ශබ්දයක් ඇසේ )

යහළු මලක් මෙසේ කෙදිරි ගෑම මීට පෙර මම නම් අසා නැත


7.ළඟ පාසල -නිසා මෙමල
 මතුරා තොල -උගනී බල

(මිතුරා මෙසේ පිළිතුරු දෙයි)
යහළු බලන්න ළඟ ඇත්තේ පාසල නොවේද ? ඒ නිසා මේ මල එහි ළමෝ කියනා දේ අසා එබස් තොල් මතුරා හොදින් උගනි ..

8.
මී මැස්සා -එහි බැස්සා
මල උස්සා -බල ගස්සා

(මිතුරන් දෙදෙනා තවත් ලංවී මල දෙස හොදින් බලති )

අහෝ මල තුල ශබ්ද කරන්නේ මී මස්සෙකි , මලට බලය දෙන්නේ මී මැස්සාය ..


9. සිනාව සරු -ගුණැති  නපුරු
දනන් අයුරු -මෙමල් කපුරු

මග තොටදී මූණට ඉතා හොදින් සිනාසුනද , සිතෙන් නපුරු ගුණ ඇත්තෝ නම් , ලස්සන මුත් අප්‍රිය ගන්ධයක් ඇති කපුරු මල් වැනිය ..

9 නැණ ගුණ දම් -රුව පැතුම්
ඇති අය නම් -රෝස කුසුම්

සුවඳ මෙන්ම රූපයද ඇති ළමෝ නම් රෝස කුසුම් වැනිය ..



ප.ලි   මෙහි තේරුම් මගේ අදහස් වේ .. යම් වැරද්දක් වේ නම් වහා නිවැරදි කරන්නට  දන්වා සිටින්න .... මෙහි වද මල පිළිබඳවද කවියක් තිබුන මුත් එය මගේ මතකයෙන් ගිලිහි ගොසිනි ..අමතක වූ පද මතක් කර දුන් අම්මාට තුති ,,