Search This Blog

Thursday, November 21, 2013

රන් තැඹිලි -පළමු කොටස

ඔබ රන් තැඹිලි ගසක් දැක තිබේද ??නැතුවා වන්නට ඇති .දියත් මදත් ඉතා රසැති ,තෙල් සිදීමටද ,බෙහෙතටද ගන්නා ,නිතර දකින තැඹිලි ගෙඩියට වඩා තද පැහැයක් ගන්නා ඵල හට දරන  රන් තැඹිලි ගසක් අප ගෙවත්තේ නම් තිබෙයි .

පොල් කඩන ගාමිණි පැමිණි විටක ,වත්තේ පොල් ගස් වලින් පොල් කඩා අවසන ,රන් තැඹිලි ගසෙන් තැඹිලිද කඩවා ගන්නටද  අපි අමතක නොකරමු .එතරම් ඵල නොදරන මෙහි ,කදිමට පැසී තිබෙන තැඹිලි වල්ලක් වේ නම් ,ගාමිණී සීරුවෙන් බලා තැඹිලි ගෙඩි අප වෙත බා දෙයි .ගස පාමුලම සිට ගාමිණීද සමඟ අපි කෑදර කමින් පැණිම පැණි රස තැඹිලි වතුර බී ,ඇති වන තරම් මදද කන්නෙමු . වතුර බීමට වන කෑදරය මහත් වූ විට ,කටින් පිටට වැටෙන වතුර ඇඳ සිටින ඇදුමේ ගලා යයි .

මේ රන් තැඹිලි වතුරද ,මදද හාම සමානව ,මෙම ගස හා බැඳී තිබෙන එය ආ ගමනද ඉතා රසවත්ය .එය මෙතැන් සිට මම ,ඔබට කියන්නෙමි .ඔබ එය මාත් සමඟ රස විදින්න .


රන් තැඹිලි ගස අපේ වත්තට පැමිණ ,දැනට අවුරුදු 75කි .ආහ්  ඔබ පුදුම වෙනවාද ?? එසේ නොවන්න. එය සත්‍යයකි .හරියටම 75ක් .මා මේ ගණන් හිලව් කියුවේ අරුමයකින් නම් නොවේ .දැනට මිය පරලොව ගොස් සිටින අත්තම්මාගේ වයස හා ගණන් බලාය මා එසේ කීවේ .රන් තැඹිලි ගස වත්තට ආයේ අත්තම්මා දීග ආ දිනයේය .

මගේ අත්තම්මා නම් රත්නායක මුදියන්සේලාගේ හීන් මැණිකේ වන්නිය  .ඇයගේ උපන්ගම තුන්දෙණිය නම් කුඩා ගමකි .තෙවැනි දරුවා ලැබීමෙන් වසරක ඇවෑමෙන් අත්තම්මාගේ අම්මා,එනම් මගේ කිරි අම්මා , මිය පරලොව ගොස් ඇත .ඒ වියෝවෙන් හද පෑරුණු කිරි අත්තා ,බීමතටත්  ,දාමරික ක්‍රියාවන් වලටත් යොමු වූ බවත්   ,ඒ සියල්ල හමුවේ පවුලේම බර ,එවකට හෝඩියේ පන්තියේ ඉගැනුම් ලැබූ තම කර මත පැටවුණු බවත්  ,අත්තම්මා මතකය අවදි කර දස දහස් වර මට කියා ඇත .

ඒ මහත් කරදර නිසා ,තමාට  අකුරට යන මඟ හෝඩියේ පන්තියෙන්ම නවතා දමන්නට සිදු වූ බවත් ,අකුරින් තොරව අඳ ලොවක  තනි වූ බවත් ,අත්තම්මා දුක්බරව මා හා දොඩමලු වෙයි .එනමුත් එම අඳ ලෝකයට පත් නොහෙන සේ ,නැගණිය වූ පොඩි මැණිකාටත් ,මළනුවන් වූ බණ්ඩාටත් දෙවැනි මෑණිය වී මං සලසා දුන් බව ඇය කියන්නේ ආඩම්බරයෙනි .එසේම ඇගේ පුතුන් සය දෙනාත් , එකම දුවත් හොදින් උගත් කල ඇගේ හිස මල් පිපුණ බවත් .මුණුපුරු ,මිනිපිරියන් තව තවත් ඉහලට උගත් කල ඒ හිස මල් ගොන්නක්ම වූ බවත් ඇය කියන්නේ සොම්නසිනි .ඇගේ අකුරු නැති ලොව අපේ අකුරින් එළිය වූ බව ඇය කියන විට අපිද සොම්නස් සුසුම් හෙලන්නෙමු .

දරුවන් නොලබාම ,කුඩා වයසින්ම ,තම නැගණිය හා මලනුවන් නිසා මවක වී ,ගේ දොර වැඩ හොදින් උගෙන ,පොත පතින් කෙසේ වෙතත් ලෝකයෙන් දැනුම ගෙන ,අත්තම්මා කල වයසට එලැඹ නාඹර ලදක් වූ දිනක ,සුරාවේ ගැලුනේ වුවත් ,දාමරික වුවේ වුවත් ,අත්තම්මාට මහත් සේ දරු සෙනෙහස් පෑ ,කිරි අත්තා ලොව අන් සියලු පියවරු සේම ,අත්තම්මා දීග තල දීමට කටයුතු කර ඇත .

ඒ අනුව සිංහල මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ද ලැබූ බොදු ගොවි කුලයේම නාඹර නිලමේ කෙනෙක් අත්තම්මා වෙනුවෙන් කිරි අත්තා සොයා ආ බවත් ,කිරි අත්තාගේ බසට වඩා අන් බසක් නම් නැති නිසා ,අත්තම්මා කළු බණ්ඩාර  නිලමේ තුමා හා පතිකුලයට එළඹී බවත් ,ඈ රසවත් කතා දිග අරිමින් මට කියන්නේ ,අත්තම්මාගේ මගුල ගැන මා අසු විටකය .

සිනා පාමින් නැවත නැවත සිහිකර ඈ කියන්නේ ,මගුල ජයෙන් ජයටම පැවැත්වූ බවය . රබන් ගසා ගම දෙවනත් කල බවය . හත් දා මගුල් කෑ බවය.කිරි අත්තාගේ ආසිරි මැද ,අක්කර 5 තරම් ගොඩ ,මඩ ඉඩම්ද ,තව කනකර බඩුද ලබා ඇය ,බක්කි කරත්තයෙන් ,තම ස්වාමියද සමඟ ,තුන්දෙනියේ වෙල් ඉපනැලි පහුකරමින් , පල්ලෙවෙල ග්‍රාමයට ආ බව ඕ කියද්දී මමද මහත් සේ කුල්මත් වෙමි .

අද මෙසේ වියපත් වුවත් ,අත්තම්මා ,නළල්පට ,මාල හත දමා ,උඩරට ඔසරිය ඇඳ මනාලිය සේ ,එදින කෙසේ නම් සිටින්නට ඇතිද ...මගේ සිතුවිලි එසේ දුර දිව යයි ..

අත්තම්මා තව තව දොඩමලු වෙයි ..කතාවේ ඉතිරියට මගේ සිනාව නම් නවත්වා ගත නොහැකි වන්නේය .ඒ නම් අත්තම්මාගේ ,නෑ සනුහරෙන් තෑගී ලැබුන මහන මැෂිමේ කතාවටය ..දෑවැද්ද ලෙස ගොඩ මඩ ඉඩම් ,කනකර අබරණ ලද ඈ තෑගි ලෙස ,ඇගේ ප්‍රභූ මාමා කෙනෙකුගෙන් මහන මැෂිමක් තෑගී ලබා ඇත.තුන්දෙනියේ අත්තම්මගේ නිවස පිහිටි කදු ගැටයේ සිට පහළටත් ,එතැන් සිට වෙල් ඉපනැලි මතිනුත් , පල්ලෙවෙලදී රාජ ඇල වේල්ල මතිනුත් ,පල්ලෙවෙල අත්තම්මගේ අලුත් ගෙදර දක්වාම ,ඒ මහන මැෂිම ,ඉලන්දාරින් කීප පලක් විසින් ,අතරමඟ වැටෙමින්ද ඔසවාගෙන ආ බව ඕ කියද්දී ,කෙසේ නම් මා සිනා මැඩ සිටින්නද ??

මා සිනාසෙන විට ,ඔලොක්කු කරන අත්තම්මා මද වෙලවකින්ම මද සිනා දක්වා ..

''අනේ ඇත්තට තව බක්කියක් තිබුනේ නෑ නෙව .''.යැයි කියයි ...අපි දෙදන එක්ව සිනාසෙන්නෙමු

තමා පතිනිය වූ නව නිවස දක්වාම කිරි ඇත්තා බක්කිය පසු පසින් පයින්ම ආ බව කියන අත්තම්මා සංවේදී වෙයි ..

''අප්පේ උන්දැගේ හයි හත්තිය ''
''මග ගෙවාගෙන පයින්ම ආව .''. අත්තම්මා කියයි...

ඉතිරිය මතුවට ...





1 comment:

  1. මේ කතාව කියවනකොට මතක් වුණේ විජයසිරි මිහිඳුකුලසූරියගේ "පියහසර" කතා පොත! එකේ නං තියෙන්නේ ඒ මහත්මයාගේ පියාගේ අතීත කතාව. අත්තම්මා අද ජීවත් ව හිටියා නං මේ ලිපිය ගැන ආඩම්බර වෙන්න තිබුණා.

    ReplyDelete