Search This Blog

Friday, November 8, 2013

තෑගි

දන්නවද මේ මොනවද කියලා .. මේ තියෙන්නේ කටර් . පැන්සල් උල්කරන ඒවා ..මිකී මවුස් . මිනි මවුස් , ස්ලීපින් බියුටි , තව පූ බෙයාර් එහෙම ඉන්න දැක්කම ආසා හිතෙන ලස්සන පාට කටර් ..

මේවා මගේ නම් නෙමෙයි .. හැබැයි මේවා ගත්තේ මායි අම්මයි අප්පච්චියි ... අවුරුදු 38 ක්ම ළමයින්ට විද්‍යාවයි ගණිතයයි උගන්නලා , අපේ අම්මා ඊයේ පැන්ෂන් ගත්තා .. ඉතින් එහෙම යනකොට අම්මට ඕනේ උනා , අම්මගේ අන්තිම ගෝලයන්ට පොඩි මතක සටහනක් දෙන්න .. අන්න ඒකට තමා මේවා ගත්තේ

කටර් දෙන්න ඕනේ කියලා තීරණය කලෙත් අම්මා .
ඒ එයා ඉස්කෝලේ යන කලේ වෙච්චි සිද්ධියක් නිසා .
අම්මා 10 වසරේ ඉගන ගන්නකොට , එයාගේ පන්ති භාර ගුරු තුමී ගොඩාක් ආදරෙන් ඉදලා විශ්‍රාම අරන් යනකොට ළමයි හැමෝටම ලස්සන කටර් එකක් දුන්නලු . කොළ . නිල ,කහ  පාට රවුම් කටර් වුනු ඒවගේ උඩ ලස්සන කුකුලේක්ගේ රූපයක් තිබ්බලු . අඬ අඬා ළමයි ඒවා අරන් ඒ ගුරුතුමිට දණ නමල එක පොරේට වැන්දලු .. අම්මා ඒ කටර් එක අවුරුදු ගානක්ම ආදරෙන් තියාගෙන හිටියලු ඒ ආදරණීය ගුරුතුමිගේ මතකත් එක්ක ..ඉතින් එහෙම හිතල අද අම්මත් විශ්‍රාම ගන්නකොට , එදා ඒ ගුරුතුමී හිටපු තැන ඉඳල අම්මා තීරණය කළා ලස්සන පාට කටර් ටිකක් අන්තිම ගෝල බාලයන්ට ආදරෙන් දෙන්න .
දැන් ඉතින් ලෝකෙත් වෙනස් වෙලා නිසා කුකුලෝ කෙසේ වෙතත් වෙන ලස්සන රූප ගොඩක් තියන කටර්
ලේසියෙන්ම නුවරින් අපි අම්මා වෙනුවෙන්ම හොයා ගත්තා ..

කටර් එකත් එක්ක ලස්සන ඔවදනකුත් ලියල දෙන්න ඕනේ කිව්වා අම්මා ඊ ළඟට .. අම්මා එහෙම කිව්ව ගමන් මාත් ඉතින් මේ දවස් වල කවි , කතා ලියන කික් එකෙන් ඉන්න නිසා , අම්මා ලියනවා වගේ හිතාගෙන කවි කීපයක් ලිව්වා .... අම්මා ඉතින් හැමදාම මගේ කවි වලට ආස නිසා ඒවාට කැමති උනා එක පාරින්ම ..කවි කියවලා පුංචි අයියා නම් පොඩි වෙනස් කම් කීපයක් කළා .. ඔයාලත් බලන්නකෝ අපි දෙන්නගෙම කවිය .

පෙරී මතින් පෙනකැටි වන්     වලාකුළු
උදා ලහිරු කැන් පතිතව තරු        වදුලු
එළියට දෑස් ඇර දහසක් මල්      කැකුළු
යන්නේ පාසලට කරමින් මඟ      එකළු

සිනා පොකුරු විහිදා සැම         උදසනේ
ආයු බෝ වඩා නීති ආසිරි         දෙමිනේ
ඇරඹු පන්තියේ වැඩ සිත් සන්තොසිනේ
නොඅඩුව ගලා යයි හෝරා හය  මතිනේ

අරමුණ දැනුම දීමට විය  හැම         දිනක
දෑතට කුසලතාවද පුබුදුවා              නෙක
පුන් කලයක් විලසින් නොහැලෙන උදක
තැනුමට විය රැජිණක් වන්        දියණියක

ඉගනුම දිවිය ජය ගන්නට සුරැකි      මඟයි
ඒ මඟ කටු කොහොල් බාධාවන්   එමටයි
දැඩි අධිඨන සැමදා  ඉදිරිය         පෙන්වයි
මඟ කෙලවර සුවදැති කුසුමක්    නිසැකයි

ඊට පස්සේ ලස්සනට ප්‍රින්ට් කරලා කටර් එක්ක ළමයින්ට දුන්නා අම්මා ඊයේ .. එදා අම්මා වැන්දා වගේ අම්මගේ ගෝලයෝ ටිකත් අඬ අඬා වැන්දා කියලා අම්මා කිව්වා .. කොච්චර උනත් අඬන්නේ නම් නෑ කියලා මට කියලා ගිය අම්මට , ළමයි හැමෝම එකතු වෙලා හදපු ලොකු මල් මාලයක් දාලා .. අම්මා තෑගි එපා කියලා ළමයින්ට කියලා තිබ්බ නිසා එක ළමයාගෙන් එක ගානේ දාලා ලස්සනට හදපු කවි පොත් දෙකක් දෙනකොට නම් අම්මට කඳුළු නවත්ත ගන්න බැරි උනාලු .. අම්මා ඒ කවි පොත් දෙකත් ආදරෙන් අරගෙන ඔන්න ඔය විදිහට අවුරුදු 38 ගුරු සේවේ ඉවර කරලා හිතේ සතුටත් , දුකත් දෙකම අරන් ගෙදර ආවා ..

හැබැයි ඉතින් දැන් මට හොඳයි , දවල්ට අම්මා මගේ ළඟ ....

No comments:

Post a Comment