Search This Blog

Friday, November 15, 2013

මම ආසම කවි ...

ඊයේ කවි ටිකක් , නිසදැස් ටිකක්  ලිව්වට පස්සේ යාලුවෝ හැමෝගෙන්ම උණුසුම් ප්‍රතිචාර ලැබුනා ... ඇත්තටම ඒවා හරිම ලස්සන කවි නිසා හැමෝම ආස වෙලා .. හොඳ දේ කවදත් පවතිනවා නේ .. ඉතින් අදත් මම හිතුව පොඩි කාලේ අසාවෙන් කියවපු කවි පෙළක් ඔයාලත් එක්ක බෙදා ගන්න ..මේක මල් බස් කියන කවි පන්තිය ,, කුමාරතුංග මුණිදාස ශුරීන්ගේ ..

මට මේ කවිය කියල දුන්නේ අම්මා ..කුමාරොදය කියන පොතෙන් (දැන් ඒ පොත මන් ළඟ නෑ , නැති වෙලා ඒක )..ලස්සන උනත් ,සුවද නැති කිණිහිරියා මලක් වගේ ..ගුණ සුවඳ නැති ළමයෙක් වෙන්නේ නැතුව රුවත් ගුණත් දෙකම තියන රෝස මලක් වෙන්න කියල අම්මා කිව්වා ..එතකොට මම අහනවා ''ඉතින් අම්මේ මම නෙලුම් නේ ''කියලා .. අම්මා එතකොට කියනවා ''ඔව් ඔව් ඔයා  මගේ නෙලුම් මල නේ .. මඩ වගුරෙන් උඩට ඇවිත් ලෝකෙටම සුවඳ දෙන්න ඕනේ ''   ''හරී '' ලෝකෙට සුවඳ දෙන නෙලුම් මලක් වෙන්න හිතාගෙන අම්මත් එක්ක මල් බස් සද්දෙට කියනවා ..

1.ගස අගනා -අර රඳනා
   මලට මනා -බොහොම හිනා

මල් පිපෙන ගස් නම් අගනේය , ගස ලස්සන වන්නේ මල නිසා බැවින් මල ඉතා සතුටු වෙයි

2.ගස වතුසුදු -වී පිරිසිඳු
 පොහොය නැතිඳු -සිල් ගත් බඳු

වතුසුදු ගස සුදු පැහැ මලින් පිරී ඇත , අද පොහෝ දින නොවුවත් සිල් ගත්  සෙයකි .

3.දහස් දලා -ගස විමලා
මහන වෙලා -සිටින තුලා

දහස් පෙතියා මල් ගොන්නකි , මහන වූ සෙයක් පෙනේ

4.මල කිණිහිරි -රුවිනි සසිරි
 නැත නැණ සිරි -දරුවෙකු සරි

කිණිහිරියා මල් නම් ඉතා ලස්සනය , එනමුදු සුවඳ නැත . එය සැබවින්ම නුවණ නැති දරුවෙකු හා සමානය .

5.මහ පුදුමෙකි -මලෙක මලකි
නැහැ එහි සකි -සමනළයෙකි

(මෙතැන් සිට ඇරඹෙන්නේ මිතුරන් දෙදෙනෙකුගේ සංවාදයකි )
පළමු මිතුරා -මහා පුදුමයකි , මේ මලක් මත මලක් නොවේද ?
දෙවන මිතුරා -නැත නැත මිතුර ඒ සමනළයෙකි

6.මලක් මෙහෙම -කෙදිරි ගෑම
නෑසිමි මම -කලෙක කිසිම

(මිතුරා අමතා , අනික් මිතුරා මෙසේ කියයි , ඔවුන් දෙදෙනාට මලකින් ඇසෙන රුන් රුන් ශබ්දයක් ඇසේ )

යහළු මලක් මෙසේ කෙදිරි ගෑම මීට පෙර මම නම් අසා නැත


7.ළඟ පාසල -නිසා මෙමල
 මතුරා තොල -උගනී බල

(මිතුරා මෙසේ පිළිතුරු දෙයි)
යහළු බලන්න ළඟ ඇත්තේ පාසල නොවේද ? ඒ නිසා මේ මල එහි ළමෝ කියනා දේ අසා එබස් තොල් මතුරා හොදින් උගනි ..

8.
මී මැස්සා -එහි බැස්සා
මල උස්සා -බල ගස්සා

(මිතුරන් දෙදෙනා තවත් ලංවී මල දෙස හොදින් බලති )

අහෝ මල තුල ශබ්ද කරන්නේ මී මස්සෙකි , මලට බලය දෙන්නේ මී මැස්සාය ..


9. සිනාව සරු -ගුණැති  නපුරු
දනන් අයුරු -මෙමල් කපුරු

මග තොටදී මූණට ඉතා හොදින් සිනාසුනද , සිතෙන් නපුරු ගුණ ඇත්තෝ නම් , ලස්සන මුත් අප්‍රිය ගන්ධයක් ඇති කපුරු මල් වැනිය ..

9 නැණ ගුණ දම් -රුව පැතුම්
ඇති අය නම් -රෝස කුසුම්

සුවඳ මෙන්ම රූපයද ඇති ළමෝ නම් රෝස කුසුම් වැනිය ..



ප.ලි   මෙහි තේරුම් මගේ අදහස් වේ .. යම් වැරද්දක් වේ නම් වහා නිවැරදි කරන්නට  දන්වා සිටින්න .... මෙහි වද මල පිළිබඳවද කවියක් තිබුන මුත් එය මගේ මතකයෙන් ගිලිහි ගොසිනි ..අමතක වූ පද මතක් කර දුන් අම්මාට තුති ,,

2 comments:

  1. අගනා ව්‍යායාමයකි..කුඩා කල ඇසුවාට පසු මේ වැනි කවි මා හට අසන්ට ලැබුනේ නැත.. තේරුම බෝ දුරට නිවැරදිය.. ඔබගේ අඩවියේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්නේ නම් එය කමෙන්ට් කරන අයට මහත් වූ සැනසිමකි..

    ReplyDelete
  2. ස්තුතියි ඔබට ..කමෙන්ට් කිරීමේදී ඔබ යම් අපහසුතාවකට , පත් වුයේ නම් මගේ කණගාටුව ප්‍රකාශ කරමි .. අදාල වෙනස් කම් සොයා බලා ඉක්මනින් සකස් කරන බවද දන්වා සිටිමි ..

    ReplyDelete