Search This Blog

Thursday, October 17, 2013

මං පොඩි කාලේ

මේ දවස්වල නුවරට පායනවා . එකම සුදු වලාකුලක්වත් නැති නිල්ම නිල් අහස. කහම කහ පාට ලස්සන අව්ව. මේ අහසයි අව්වයි දකින හැම වෙලේම මගේ හිත දුවන්නෙම පොඩි කාලෙට  , මොකද මේ නුවර අහස යට හරිම ලස්සනට මගේ පොඩි කාලේ ගෙවුන හින්දා .
ඉතින් මගේ ජීවිතේ ලස්සනම ඒ පොඩි කලේ ගැන මෙහෙම සටහනක් තියන්න හිතුවා .

මම පහ වසරට යනකන් ගියේ ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විදුහලට . එක වසරේ ඉදලා දහතුන වසරට ශ්‍රේණි තියන ගම්පොල හොදම බාලිකා  විදුහල වුනත් ඊට වඩා  විශේෂ වුනේ අපේ ඉස්කෝලේ පිහිටීම . ඇත්තටම ලංකාවේ එකම විදුහල වෙන්න ඇති මේ පිහිටීම තියන . අහන කෙනෙක්ට පුදුමත් හිතෙන මේ පිහිටීමට අනුව 1-3 ශ්‍රේණි තිබ්බේ නගරේ මෙහා කොනේ , 4-6-7-8-9 ශ්‍රේණි නගරේ මැද .10-13 නගරේ මැදම වෙනත් තැනක . 5 ශ්‍රේණිය තිබ්බේ  බීටියස් කියල කටවචනෙන් හදුන්වපු කන්දක් උඩ .

1-3 ශ්‍රේණි තිබ්බ පුංචි ඉස්කෝලේ තිබ්බේ අපේ ගෙදරින් මීටර් 300 වගේ දුරකින් නිසා මම ඉස්කෝලෙට ගියේ පයින් . උදේට අම්මා වැඩට යනකොට ගිහිල්ල දානවා .හවසට පල්ලෙහා නැන්දා කියල ආදර නමින් අමතන නැන්දත් එක්ක ගෙදර එනවා . නැන්දා කරන මේ ලොකු  උදව්වට, අම්මයි අප්පච්චියි හිතේ සන්තෝසෙටත් එක්ක පොඩි මුදලක්, නැන්දට හැම සතියෙම අන්තිමට දුන්නා .එහෙම උදේට අම්මා මාව ගිහිල්ලා අරලුවම මම බෑග් එක පන්තියේ තියලා ආපහු දුවගෙන එන්නේ ගේට්ටුවේ  එල්ලිලා අම්මා බස් එකට නැගල යන හැටි බලන්න . අම්මා බස් එකට නගින නැවතුම තිබුනේ පුංචි ඉස්කෝලෙට කෙලින්ම ඉස්සරහ . මම බෑග් එක තියල එන පමාවට ආපු බස්  එකක් අම්මව  අරගෙන ගිහින් තිබුනේ නැත්තම් අනිත් හැම වෙලේම අම්ම යනකන්ම මම ගේට්ටුවේ පැද්දි පැද්දි අත වනමින් බලන් හිටියේ අම්ම දිහා .

එක වසරේදී බෝල බෝල අකුරු ලියපු හැටි , එක දෙක කියල ගණන් කරපු හැටි ඇරෙන්න වෙන විශේෂ මතකෙකට එන්නෙ  මගේ පලවෙනි ගුරුතුමී වෙන ජයන්ති මැඩම් හා ඔෂින් කියලා නමක් තිබ්බ යාළුවා .හැම පොඩි ළමයෙක්ගේම හිතේ ඉන්න මල් මල් සාරි අදින ,කොන්ඩේ බදින ආදරණීය ගුරුතුමියක් තමා ජයන්ති මැඩමුත් . අපි හැමෝම ආදරෙන් බල ගත්තා .අකුරු ගණන් කියල දුන්නා . එක වසරේදී අපි හැමෝගෙම කොන්ඩේ  කොටට කපල තිබ්බට මගේ ඔෂින් කියන යාළුවාට නම් දිග කොණ්ඩ කරල් දෙකක් තිබ්බ , ඒවගේම එයාගේ නමත් ජපන් . එහෙම උනේ එයාගේ ජපන් සම්භවයක් නිසා නම් නෙවයි ඒ කාලේ වගේම අදත් ජනප්‍රිය ඔෂින් නාට්‍යය නිසා .

එක වසරෙන් සමත් වෙලා ප්‍රගති වාර්තාවේ A ගොඩක් අරන් දෙක වසරට ගියා . දෙක වසර තමා  මගේ දඟ පටන් ගත්ත කලේ . එහෙම වුණේ ඇත්තටම පලවෙනි වාරේම අපිට ගුරුතුමියක් හිටපු නැති නිසා . අපිට කැමති විදිහට සෙල්ලම් කරන්නත් දඟ කරන්නත් පුලුවන්  උනාට පුංචි ඉස්කෝලේ විදුහල්පතිනිය වුනු සමරකෝන් මැඩම් නම් අපේ දඟ අඩු ක‍රන්න පුළුවන් හැම උත්සහයම ගත්තා . පුළු පුළුවං හැම වෙලේම පන්තියට ඇවිත් අපිට ඉගැන්නුවා , අත්වැඩ  විදිහට කළු ලෑල්ල මකන කොට්ට හදන්න කියල දුන්නා . පාසල් වත්තේ මල් හදන්නත් අපිව යොමු කරා. සුදු ගවුම පුරාවට වතුර හලාගෙන බරට බරේ මල් බාල්දි උස්සගෙන ගිහින් වතුර දාපු හැටි මට තාම මතක් වෙනවා . මල් වත්ත ලස්සන වෙනකොට මගේ සපත්තු නම් මඩ වලින් වැහෙන්නේ ඒවා සුදු ක‍රන්න ගත්ත අම්මගේ මහන්සිය ඇසිල්ලකින් සුනු විසුනු කරමින් . ඒවගේම ඒවගේ මඩ  ගෑවෙයි කියල මම තැකීමක් කරෙත් නෑ .

සමරක්කොන් මැඩම් කාර්ය බහුල වෙලා පන්තියෙන් යනකොට ඉතින් අපිට අපේම රාජ්‍යයක් ලැබෙනවා , හදල හදල එකතු වෙච්චි කළු ලෑලි මකන වලින් යුද්ධ  කරන්න පටන් ගන්නවා . එහෙමත් නැත්තම් හොරෙන්ම පිට්ටනියට දුවනවා අල්ලන සෙල්ලමට . මම හිතන්නේ මට ඒ කලේ ADHD (Attention Deficit Hyper activity  Disorder) සුළු ප්‍රමාණයකින් හරි තිබ්බා කියලයි . මොකද මම ඒ තරමටම දඟයි . කොච්ච්ච්ර දඟද කියනවනම් එක දවසක් ගෙදර එනකොට මගේ ටයි එකත් නෑ . ඒකාලේ අපේ ටයි එක  තිබ්බේ පොඩි හැට්ට කටුවකින් රඳවන විදිහට . ඉතින් සෙල්ලම්  කරලා කරලා ගෙදර එනකොට ටයි එක මඟ වැටිලා . ගෙදර එනකන්ම ටයි එක නැති බවවත් මම දන්නේ නෑ .මම ඒ කලේ නරක ළමයෙක් කියල අම්ම කිව්වට  අම්ම ඉතින් මට හැමදාමත් ආදරේ හින්දා   ලස්සන ටයි එකක් පස්සේ දවසේ අරන් දුන්නා .

දෙවෙනි වාරේ ආපු   අලුත් ගුරුතුමී හින්දා අපේ දඟ වැඩ වලට තිත වැටුනා  . ඒ ගුරුතුමී අනික් ළමයින්ට අලුත් උනාට මට නම් අලුත් උනේ නෑ . මොකද ඒ මගේ නැන්දා  නිසා . දැරණියගල කියන ගමේ දුෂ්කර කාල සීමාව ඉවර කරලා නැන්දා අලුත් පත්වීම අරන්  ආවේ අපේ පන්තියට .
නැන්දා ආපු දවස් වල මට කියල විශේෂ සලකිල්ලක් පෙන්නුවේ නෑ ,හැබැයි එයා දඟ කරන ළමයි ලඟින් මාව වෙන්කරලා මදුවන්ති කියන ලස්සනට අකුරු ලියන්න ප්‍රසිද්ධ පන්තියේ හොඳම ළමයා ලඟට දැම්මා . මදුවන්තිගේ අකුරු ලස්සනයි කියලා අහලා තිබ්බට මම ඒවා දැකලා තිබ්බේ නෑ . එයා ළඟට ගිය මුල්ම දවසේ ඒ ලස්සන අකුරු මම දැක්කම, ළමයෙක්ට එච්චර ලස්සනට ලියන්න පුලුවන්ද කියලා හිතුනා . ඒවා ඒ තරමට රවුම් . සිංහල කියවන පොතේ තිබ්බ ''අමර '' සල් මල'' වගේ රවුම් අකුරු වගේමයි . ඉතින් මටත් ඕනේ උනා  ඒ ලස්සන අකුරු ලියන්න . පුදුමවෙච්චි මම මදුවන්තිගෙන් ඇහුව කොහමද ඒවා ලියන්නේ කියලා . එයා මහදන්මුත්තියක් වගේ මට කිව්වේ ඒකට හොඳට  පැන්සලේ තුඩ උල්වට තියෙන්න ඕනේ කියලා . එහෙම කියල ''කෝ පෙන්නන්න ඔයාගේ පැන්සල ''එයා  මට කිව්වා. මගේ පැන්සල අතට ගත්තු එයාගේ මූනේ ඇදුනේ හිනාවක් . ''අපෝ මේකේ තුඩ උල් නෑ .''එකනේ රවුමට අකුරු ලියන්න බැරි'' එයා මට කිව්වා . ඇත්තටම මගේ පන්සලේ තුඩ හොදටම මොට වෙලයි  තිබුනේ ඒ වෙලාවේ . ''කෝ දෙන්න මම උල් කරලා දෙන්න  '' මදුවන්ති ආදරයෙන් ඉදිරිපත් උනා . ''කටර් වලින් හරියටම තුඩ එන්නේ නෑ ''එහෙම කියලා එයා පැන්සල් පෙට්ටියෙන් බ්ලේඩ් එකක් අරන් සීරුවෙන් පැන්සල උල් කරන දිහා මම බලාගෙන හිටියේ හරිම අසාවෙන් . එයා උල් කරලා දුන්න පන්සලෙන් රවුම් අකුරු ලියන්න පුළුවන් තරම් මම උත්සහ කළා . මුලදී මුලදී ඒ තරම් රවුම් හැඩයක් ඒ අකුරු වලට නොතිබ්බට දිගටම මදුවන්ති ළඟම ඉදන් මුළු දෙක වසර පුරාම හොද ළමයෙක් වෙලා උත්සහ කරපු නිසා මගෙත් අකුරු ලස්සන උනේ අදට උනත් ලස්සන අකුරු වලට මාව ප්‍රසිද්ධ කරමින්. ඉතින් දෙවෙනි වසරෙදි අයෙත් දඟ ක‍රන්න බැරි උනාට  හරිම ලස්සනට ගතවුනේ ඔන්න ඔය විදිහට .

ඉතින් මම දෙකෙන් තුනට සමත් උනා . අකුරු ගණන් එහෙම ඒ වෙනකොට දැනගෙන හිටියට වෙලාව කියන්න නම් පුළුවන්කමක් තිබ්බේ නෑ . මාව ලෑස්ති කරලා අම්ම අදින අතරේ පරක්කු වෙලාද  බලන්න අම්ම මට වෙලාව බලාගෙන එන්න කියනවා . ඉක්මනට සාලෙට දුවන මම ඔරලෝසු  මුහුණේ පොඩි කට්ටත් , ලොකු කට්ටත් තියන තැන මතක තියාගෙන ඇවිත්, අම්මට එක හුස්මට කියනවා . අම්මා හිනා වෙලා වෙලාව හදාගෙන තව වෙලා තියනව කියල හෙමින් අඳිනවා .
ඔහොම ඉතින් කාලේ යද්දී හරියටම වෙලාව බලන්න  කියල දෙන ගණන් පාඩම පටන් ගත්තා . ඒකට  උපකාරකයක් විදිහට හැමෝම කටු කරකවන්න පුළුවන් ඔරලෝසුවක් හදගෙන්න එන්න පන්ති භාර ගුරුතුමී වෙන මංගලිකා මැඩම් අපිට උපදෙස් දුන්නා . මට ගෙදර ගිහින් අලුතෙන් ඔරලෝසුවක් හදන්න ඕන උනේ නෑ . මොකද මල්පියලි පොත් ප්‍රදර්ශනේකින් අප්පච්චි අරන් දුන්න ලස්සන ලී ඔරලෝසුවක් මගේ ළඟ තිබ්බ නිසා . ඉතින් ඒකත් ලෑස්ති කරලා  සතුටු සිතින් නින්දට ගියේ පහුවදාට හරියටම පාඩම ඉගනගන්න හිතාගෙන . ඔන්න පාඩම පටන් ගත්තා , හොමෝම ඔරලෝසු අරගෙන , මාත් බෑග් එකට අත දැම්මේ ලස්සනම ඔරලෝසුව පන්තියට පෙන්නන්න .අපොයි  බෑග් එකේ ඔරලෝසුව නෑ , කෝ කෝ මම තව සැරයක් හොඳට  බැලුවා . ඒත්  නෑ . එතකොට මට මතක් උනා ඒක මම වෙනම බෑග් එකක දැම්ම බව ලේසියෙන් අරන් එන්න . 'මට ඒක ගන්න බැරි උනානේ අද උදේ කලබලේට'. ඒක තාම මේසේ උඩ ඇති ''මගේ හිත කිව්වා . .'' දැන් කොහොමද මම වෙලාව බලන්නේ ''මට දුක හිතුන.

පියවි සිහියට ඇවිත් වට පිට බලද්දී මට විතරක් නෙවේ තව කීප දෙනෙකුටත් ඔරලෝසු නැති බව දැක්කහම හිත පොඩ්ඩක් නිවුනට  ආයෙම  පත්තු වෙලා ගියේ ''ඔරලෝසු නැති අය නැගිටින්න ''කියල මැඩම් කියද්දී . ලෝකේ ලොකුම වැරැද්ද කලා වගේ හැගීමකින් හිත පෙළෙද්දී  මම හෙමින් පුටුවෙන් නැගිට්ටා . ''එකයි දෙකයි '' ඔරලෝසු නැති ළමයින් ගාන මඩම් ගනිනවා .
 ''දහ දෙනෙක් '' කොහොමද ඉතින් මම පාඩම කරන්නේ ළමයි '' මැඩම්ට තරහ ගිහින් .
''මේක කරන්න බෑ යමු හැමෝම ප්‍රින්සිපල් මැඩම් ගාවට '' තරහ උඩින්ම මැඩම් කිව්වා .
''අපොයි දෙයියනේ අද නම් ගුටි කන්න තමා  වෙන්නේ '' ,පීඩිත සිතුවිල්ලක් මගේ හිතේ අඳුනා.
 දිගඅඩි රූලකින් අතට ගහන ප්‍රින්සිපල් මැඩම් මතක් වෙලා මගේ අල්ල දිහා බැලුනේ ඉබේටම වගේ . ඇදී ඇදී අනිත් ළමයි පිටිපස්සෙන් මමත් ගියා ප්‍රින්සිපල් මැඩම් ගාවට . ලෝකෙම කැරකෙනවා වගේ මට දැනුනා . ඉස්සරහින්ම බය නැතුව යන සමරීට නම් ගානක් වත් නෑ .එයා ගොඩක් දවස් වලට මේ විදිහට ගුටි කන නිසා එයාට නම් පුරුදු ඇති මම හිතුවා .
යන යන ළමයගෙන් ප්‍රින්සිපල් මැඩම් නිදසට කරුණු අහන හැටිත් ,කොච්චර සාධාරණ හේතුවක් කිව්වත් අල්ල පුරාවට අඩි රූල් පාරක් වදින හැටිත් පෝලිමේ අගට වෙලා මම බලාගෙන හිටියේ හොදටම බයේ . ගුටිය බැගින් කළා අත අතගාමින් පන්තියට යන ළමයි දකිද්දී මම මටම චෝදනා කරගත්තේ ඔරලෝසුව අමතක කරලා ආපු  වරදට . දැන් මගේ වාරේ ,ඔලුව නමාගෙන  හෙමින් මම ඉස්සරට ගියා . ඒත් අත නම් දික් කරන්න හොදටම බය හිතුනා . ''කෝ මේ නෙළුම් නේද '' ප්‍රින්සිපල් මඩම් මගෙන් අහනවා . හෙමින් ඔලුව උස්සලා බලපු මම එතන අපේ නැන්දත් ඉන්නවා දැක්කා . ඒ පාර නම් මට බයටත් වැඩා ලැජ්ජාවකුත් අවා .
''මොකද නෙළුම් ඔරලෝසුව ගෙනාවේ නැත්තේ ''??ප්‍රින්සිපල් මැඩම් ටිකක් හිනා වෙන ගමන්ම මගෙන් අහනවා .
මුලදී හරියටම මගේ කටහඬ අවදි කර ගන්න බැරි උනත් පස්සේ හෙමින් සීරුවේ මම කිව්වේ ඒක අමතක වෙලා ගෙදර දාල ඇවිත් කියල . බහුතරයක් ගුටි කාපු අය කිව්වෙත් ඒ හේතුවමයි .
''ඇත්තටම නෙළුම් ඔයාට  තිබුන නේද ලස්සන ලී ඔරලෝසුවක්''?? ඔයා  ඒක ගේන්න එපායැ  ''ඒ පාර කතාකලේ නැන්දා  . නැන්දගේ කතාවෙන් බය ටිකක් අඩු වෙච්චි නිසා මම ඇත්තටම ඒ ලී  ඔරලෝසුව ලෑස්ති කල බවත් උදේ කලබලේට අමතකවී පැමිණි බවත් හැමෝම ඉස්සරහ සන්සුන්  විදිහට කිව්වා .
කතාව අහගෙන ඉඳල හිනා මූනකින් ප්‍රින්සිපල් මැඩම් කිව්වේ ඉගන ගන්න ළමයින්ට අමතක වෙන එක හොඳ දෙයක් නෙවයි කියලා . එහෙම කියල ආයේ  අමතක නොවෙන්න පොඩි දඩුවමක් දෙන්න අත දික් කරන්න කියල අණ නිකුත් කළා . කොච්චර හේතු කිව්වත් ගුටිය වරදින්නේ නැති බව දැනගෙන හිටපු නිසා මම අත  දික් කරා .'' චටාස් '' අඩි රූල අල්ල හරහා ගියා . ඒත් ඇත්තටම ඒක හිතුව තරම් රිදුනේ නෑ . මම හිතන්නේ කොච්ච්චර උනත් මැඩම්ට දුක හිතෙන්න ඇති , ඇරත් නැන්දත් ආවනේ මාව බේර  ගන්න අන්තිමේදී  කොහොම හරි  ගුටියකුත් කාගෙනම වෙලාවත් බලන්න ඉගන ගත්ත නිසා ආය අම්මට කටු තියන තැන නම් කියන්න ඕනේ උනේ  නෑ .

තුනෙන් සමත් වෙච්චි මගේ පුංචි ඉස්කෝලේ කාලේ ඉවර උනා . 4 වසරට නගරේ මැද ඉස්කෝලෙට යන්න උන නිසා මාව පාසල් වෑන් රථයකට දැම්මා . 4 වසරේ මුල ඉඳන්ම හොඳ ළමයෙක් වෙච්චි නිසා පන්තිභාර නාලනී මැඩම් මාව පන්ති නායකයා කළා . හරි සතුටෙන් ළමයි එක්ක ගතවුණු ඒ කාලේ හොඳම සිද්ධිය තමා අපේ පාසලේ  ගුවන්විදුලි වැඩසටහන . ඒ දවස් වල කොත්මලේ fm  එකේ හැම සතියෙම පාසලක වැඩසටහනක් විකාශය කළා . ඒකට අපේ පාසලෙනුත් වැඩ සටහනක් කරන්න නියම වෙලා තිබ්බ නිසා ගුරුවරු වගේම ළමයිනුත් හරි අසාවෙන් වැඩ කළා . 4 වසරෙන් තේරවිලි වැඩසටහනක් කරන්න තමා යෝජනා උනේ . ඒක නිසා හොදට කතා කරන්න .කවි කියන්න පුළුවන් ළමයි තෝරන්න සමිතියක් තිබ්බා . මාත් වැඩසටහනට යන්න අසාවෙන් සමිතිය ඉස්සරහ ජාතික වීරයෙක් වන අනගාරික ධර්ම පාල තුමා ගැන කතාවක් කළා . මගේ කට කොහොමත් සද්ද නිසා ඒක  මට එච්චර අමාරු උනේ නෑ . හැමෝම කතාව හොදට අහගෙන හිටපු නිසා මම හිතුවා මම උඩින්ම තේරේවි කියලා . ගොඩක් ළමයි ඉතින් කවි කථා ඉදිරිපත් කළා . අන්තිමේට වැඩසටහන භාර වනිගසේකර මැඩම් තෝරගත්ත ළමයින්ගේ නම් කියවන්න පටන් ගත්තා . මුලින්ම මගේ නම කියයි කියල මම හිතුවත් එහෙම උනේ නෑ ..ලස්සනට කවි  කතා කියපු ළමයි අට දෙනෙක්ගේම නම් කියවුනා . අපොයි මම තේරිලා නෑ  වද්ද ?? මගේ හිත ගැස්සුනා ''නෙළුම් '' මගේ නම කියවුනා . මගේ හිතට සැනසුම් සුසුමක් ගලගෙන අවේ සතුට පුරවගෙන .

මාව  තෝරාගෙන තිබ්බේ වැඩසටහෙන් නිවේදක වගේම තේරවිල්ල ඉදිරිපත් කරන්නා හැටියට . අනික් ළමයි 4 බැගින් බෙදලා කණ්ඩායම් දෙකකට දැම්මා . ඒ ගොල්ලන්ට තිබ්බේ තේරවිල්ලට හරි උත්තරේ දීල කණ්ඩායමට ලකුණු අරන් දෙන්න . ඒක තේරවිලි තරගයක් . ඒ වුනාට වැඩ සටහන සජීවී එකක් නොවුන නිසා වනිගසේකර මැඩම් කණ්ඩායම් දෙකට සමාන ලකුණු එන විදිහට වැඩසටහන හදල අපිට තේරවිලි පුරුදු කළා . මට කියන්න ඕනේ ඒවත් තෙරවිලිත් ඉගැන්නුවා .'' ආයුබෝවන් , මේ පුංචි අපේ තේරවිලි '' වගේ වාක්‍යය කියමින් මම වැඩසටහන කලා .අදාල පටි ගත කිරීම් තිබ්බේ ඉස්කෝලෙම නිසා අපිට එච්චර කරදරයක් උනෙත් නෑ .
 දන්නා දන්නා නෑයෝ හැමෝටමත් කියලා . එක්තරා හැන්දෑවක අපේ ගෙදර හැමෝම එකට ඉදන් තේරවිලි වැඩසටහන ඇහුවා . ගුවන්විදුලියේ ස්පීකරෙන් මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා ඇහුනත් කට්ටියම සතුටු උනා. ලොකු අයියා නම් පිළිගත්තෙම නෑ ඒ මම කියලා . කවදත් එයා  මාව අවුස්සන හින්ද මම එයගේ කතාව  ගණන් ගත්තේ නැති උනාට ,හැම දාම වගේ මම අඬන කන්ම එයත් විහිලුව නැවැත්තුවේ  නෑ . මගේ ඇඩිල්ල අස්සෙන් ගුවන්විදුලියේ කාර්මික දෝෂයකින් ''කීක් '' ගාල සද්දයක්  එකපාරටම ආව එතකොට ලොකු අයියා කිව්වා ඒක තමා මගේ සද්දේ කියලා .මගේ ඇඩිල්ල තවත් වැඩි උනා .....

හතරෙන් සමත් වෙච්චි මම 5 වසරට ගියා . 5 පන්තිය තිබ්බේ මම මුලින් කිව්වා වගේ බීටියස් කියන කන්ද උඩ . බීටියස් කිව්වත් ඒක හැදිලා තිබ්බේ  B .T .S  කියන අකුරු තුනේ එකතුවෙන් . කටවච්නෙට බීටියස් වෙලා .ඇත්තටම එකේ තේරුම මම දන්නේ නෑ .කන්ද උඩ තිබ්බේ L හැඩයෙන් යුක්ත වෙච්චි එකම ගොඩනැගිල්ලත් , බුදු මැදුරත් ලංකාවේ  හඩේ  ගත්ත පොකුණත් , බර සාරෙට වැවිච්ච රොබරෝසියා රූස්ස ගස් කීපයකුත් තමා . පාසල් ගොඩනැගිල්ලට පසු පසින් කන්දේ ඉතුරු කොටස අහස උසට විහිදිලා තිබ්බා . මුළු කන්දම බැලූ බැලූ  ඇත  ගස් වලින් වැහිලා .. උනම්බුව කන්ද කියල හදුන්වපු මේ කන්ද හොදටම පෙන්නේ පාසල් මිදුල මැද ලංකා පොකුණ ළඟ හිට ගත්තහමයි . එහෙම හිටගන්න උදේ රැස්වීම වෙලාවට මගේ සිතුවිලි පන්සිල් වලට වඩා  යොමු වෙන්නේ කන්දේ ඉන්න පුළුවන් කොටි ,වලස්සු , තාපසයෝ ගැන වගේම  පැනලා ඇවිත් කැලේ හැංගිලා ඉන්න හොරු ගැන  තමා . එහෙම හොරෙක් අපි පන්සිල් ගන්න දිහා හොරෙන් ගස් අස්සෙන් බලාගෙන ඇති කියල මගේ හිත මට හැමදාම කිව්වා .
කන්දේ අනිත් බැවුමේ තිබ්බේ ගම්පොල පොදු සුසාන භුමිය . කෙනෙක්ට ඇහුනත් බය හිතෙනවා උනාට අත පොවන මානේ පාසල් වත්තෙන් කටු  කම්බි  වැටකින් විතරක් වෙන්වෙලා තිබ්බ කනත්තට බය වෙච්චි බවක් නම් මගේ මතකයේ නෑ .
ඇත්තටම පඩි 320 (මට මේ ගාන  තාමත් මතක ඒ පඩිපෙළ නගපු හැම වරෙකම පඩි ගණන් කරන සෙල්ලම කරපු නසා තමයි )තිබ්බ පඩි පෙළ නැගල පාසලට එනවට වඩා අපි හැමෝම ආස කලේ කනත්තේ  කොත් , පයිනස් ගස් මැද්දෙන් වැටිච්චි පාරේ යන්න . පාසැල ඉවර වෙලා අපි ළමයි රෑනම එක  යායට කනත්තේ පාර  දිගේ පහලට දුවනවා. එහෙම දුවනකොට ශිෂ්‍යත්වේ කියන යෝධ විභාගේ අපිට අමතක වෙනවා . අලුතින් වළදාපු සොහොන් මැදින් යන අපිට තාමත් දැල්වෙන ඉටිපන්දමක් දැක්කම පහන් සිතුවිල්ලක් එනවා . ඒ වගේම සිතුවිල්ලක් එන්නේ පාලු වෙච්චි සොහොනක් සුද්ද කරලා ඒ  ළඟ අලුත් රෝස මල් පොකුරක් තියනවා දැක්කහම .'' අද ගෙදර කට්ටිය බලන්න ඇවිත්  ''. එහෙම හිතන අපිට ඒ තනි වෙච්චි සොහොන් ගැන  සතුටක් දැනෙනවා .
ඔහොම ඉතින් පහ වසර ගෙවද්දී අපිට ශිෂ්‍යත්වෙට උගන්නන්න ගොඩක් මහන්සි උනේ සීතා  කුමාරි මැඩම් . හවසත් පැයක පන්තියක් කලේ කිසිම අය  කිරීමක් නතුවමයි . ගණන් , ආරම්භක විද්‍යාව . සිංහල මේ හැම දෙයක්ම කියල දුන්න සීතා මැඩම්ගේ , රචනා පාඩමට මගේ හිත තදින්ම බැදුනා . රචනා පාඩම උගන්නන්න මැඩම් පන්තියේ මැදට ඇවිත් ටිකක් හරි බැරි ගැහිලා අපි ඉඳ ගන්න පුංචි පුටුවක වාඩි  වෙනවා . මාතෘකාව කියලා අපි හැමෝටම හිතින් ඒකට අදාල දේවල් හිතින් මතක් කර ගන්න කියනවා . ගොඩක් වෙලාවට ඒ මාතෘකා මම කුරුල්ලෙමි , එහෙමත් නැත්තම් මම ගහක් වෙමි වගේ ඒවා වෙච්චි නිසා ඇස්  වහගෙන මේ ,මවා  ගැනීම කරන්න අපි හැමෝම උත්සහ ගත්තා . ඊට පස්සේ මැඩම්  අපි හැමෝගෙන්ම වාක්‍ය බැගින්  අහල හරි වැරදි කියලා දුන්නා .. ඇත්තටම මැඩම්ගේ මග පෙන්වීමට අනුව අපේ පාර  ශිෂ්‍යත්ව විභාගෙට තිබ්බ  මාතෘකාව වන ''මම සිංහරාජයෙක්මි '' යටතේ ලස්සන වාක්‍ය හයක් ලිව්වේ මම හරිම සතුටෙන් මැඩම්  කියපු විදිහට හිතෙන්  මවාගෙන ...

එක වසරේ ඉදන් උගන්නපු හැම ගුරුතුමියකගේම මඟ පෙන්වීමත් එක්ක මම ශිෂ්‍යත්වේ පාස් උනා ,ඉතින් ඒක නිසා සතුටින් 1-5 කාලේ ගම්පොල බාලිකාවේ  ගතකරපු කාලෙට සමු දෙන්න උනේ නුවර ඉස්කෝලෙට යන්න ...
ඇත්තටම ලස්සන ඒ පොඩි කාලේ මතක් වෙනකොට අද මට ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා .. ගොඩක් මහන්සි වෙලා උගන්නපු  සැබෑම ගුරු දෙවියන් වන මගේ ආදරණීය ගුරු මව්වරුන්ට මගේ හද පිරි ආචාරය පිරිනමන අතරේම , එකේ ඉදන් මගේ ලගින්ම හිටපු ඔෂින්, මදුවන්ති , සඳමාලි , නිරූපා , නිමාලි , විදර්ශී . හර්ෂනී ,ජයනි .ශෂිකා , නිශානි වගේ යාළුවොත් ආදරයෙන් මතක් කරන ගමන් මගේ පොඩි කලේ ගැන පොඩිවට ලියන්න පටන් ගත්ත දිග සටහන මේ විදිහට  ඉවර කරන්නම් ...  ස්තුති ....












5 comments:

  1. This is amazing dear!! So many wonderful memories...you've had such a beautiful primary school life. My imagination soared all the way with your creative and heart-warming words. You're such a gifted writer. Definitely must keep writing. Looking forward to the next piece <3

    ReplyDelete
    Replies
    1. hey thanx hun... ha ha Seriously ya it was a such a wonderful time which I had back then.... So thought itwould be a good start... thanx again for ur always encouraging words dear means a lot ...

      Delete
    2. hii tweety u did wonderful job.... ma best wishes always trace ur footsteps...

      Delete
    3. thank you loku akki.... I'm glad that all of you enjoyed this...

      Delete
  2. Nice work! But u have missed some chapters! Make a note about the kinder garden..

    ReplyDelete