Search This Blog

Thursday, November 21, 2013

රන් තැඹිලි -පළමු කොටස

ඔබ රන් තැඹිලි ගසක් දැක තිබේද ??නැතුවා වන්නට ඇති .දියත් මදත් ඉතා රසැති ,තෙල් සිදීමටද ,බෙහෙතටද ගන්නා ,නිතර දකින තැඹිලි ගෙඩියට වඩා තද පැහැයක් ගන්නා ඵල හට දරන  රන් තැඹිලි ගසක් අප ගෙවත්තේ නම් තිබෙයි .

පොල් කඩන ගාමිණි පැමිණි විටක ,වත්තේ පොල් ගස් වලින් පොල් කඩා අවසන ,රන් තැඹිලි ගසෙන් තැඹිලිද කඩවා ගන්නටද  අපි අමතක නොකරමු .එතරම් ඵල නොදරන මෙහි ,කදිමට පැසී තිබෙන තැඹිලි වල්ලක් වේ නම් ,ගාමිණී සීරුවෙන් බලා තැඹිලි ගෙඩි අප වෙත බා දෙයි .ගස පාමුලම සිට ගාමිණීද සමඟ අපි කෑදර කමින් පැණිම පැණි රස තැඹිලි වතුර බී ,ඇති වන තරම් මදද කන්නෙමු . වතුර බීමට වන කෑදරය මහත් වූ විට ,කටින් පිටට වැටෙන වතුර ඇඳ සිටින ඇදුමේ ගලා යයි .

මේ රන් තැඹිලි වතුරද ,මදද හාම සමානව ,මෙම ගස හා බැඳී තිබෙන එය ආ ගමනද ඉතා රසවත්ය .එය මෙතැන් සිට මම ,ඔබට කියන්නෙමි .ඔබ එය මාත් සමඟ රස විදින්න .


රන් තැඹිලි ගස අපේ වත්තට පැමිණ ,දැනට අවුරුදු 75කි .ආහ්  ඔබ පුදුම වෙනවාද ?? එසේ නොවන්න. එය සත්‍යයකි .හරියටම 75ක් .මා මේ ගණන් හිලව් කියුවේ අරුමයකින් නම් නොවේ .දැනට මිය පරලොව ගොස් සිටින අත්තම්මාගේ වයස හා ගණන් බලාය මා එසේ කීවේ .රන් තැඹිලි ගස වත්තට ආයේ අත්තම්මා දීග ආ දිනයේය .

මගේ අත්තම්මා නම් රත්නායක මුදියන්සේලාගේ හීන් මැණිකේ වන්නිය  .ඇයගේ උපන්ගම තුන්දෙණිය නම් කුඩා ගමකි .තෙවැනි දරුවා ලැබීමෙන් වසරක ඇවෑමෙන් අත්තම්මාගේ අම්මා,එනම් මගේ කිරි අම්මා , මිය පරලොව ගොස් ඇත .ඒ වියෝවෙන් හද පෑරුණු කිරි අත්තා ,බීමතටත්  ,දාමරික ක්‍රියාවන් වලටත් යොමු වූ බවත්   ,ඒ සියල්ල හමුවේ පවුලේම බර ,එවකට හෝඩියේ පන්තියේ ඉගැනුම් ලැබූ තම කර මත පැටවුණු බවත්  ,අත්තම්මා මතකය අවදි කර දස දහස් වර මට කියා ඇත .

ඒ මහත් කරදර නිසා ,තමාට  අකුරට යන මඟ හෝඩියේ පන්තියෙන්ම නවතා දමන්නට සිදු වූ බවත් ,අකුරින් තොරව අඳ ලොවක  තනි වූ බවත් ,අත්තම්මා දුක්බරව මා හා දොඩමලු වෙයි .එනමුත් එම අඳ ලෝකයට පත් නොහෙන සේ ,නැගණිය වූ පොඩි මැණිකාටත් ,මළනුවන් වූ බණ්ඩාටත් දෙවැනි මෑණිය වී මං සලසා දුන් බව ඇය කියන්නේ ආඩම්බරයෙනි .එසේම ඇගේ පුතුන් සය දෙනාත් , එකම දුවත් හොදින් උගත් කල ඇගේ හිස මල් පිපුණ බවත් .මුණුපුරු ,මිනිපිරියන් තව තවත් ඉහලට උගත් කල ඒ හිස මල් ගොන්නක්ම වූ බවත් ඇය කියන්නේ සොම්නසිනි .ඇගේ අකුරු නැති ලොව අපේ අකුරින් එළිය වූ බව ඇය කියන විට අපිද සොම්නස් සුසුම් හෙලන්නෙමු .

දරුවන් නොලබාම ,කුඩා වයසින්ම ,තම නැගණිය හා මලනුවන් නිසා මවක වී ,ගේ දොර වැඩ හොදින් උගෙන ,පොත පතින් කෙසේ වෙතත් ලෝකයෙන් දැනුම ගෙන ,අත්තම්මා කල වයසට එලැඹ නාඹර ලදක් වූ දිනක ,සුරාවේ ගැලුනේ වුවත් ,දාමරික වුවේ වුවත් ,අත්තම්මාට මහත් සේ දරු සෙනෙහස් පෑ ,කිරි අත්තා ලොව අන් සියලු පියවරු සේම ,අත්තම්මා දීග තල දීමට කටයුතු කර ඇත .

ඒ අනුව සිංහල මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ද ලැබූ බොදු ගොවි කුලයේම නාඹර නිලමේ කෙනෙක් අත්තම්මා වෙනුවෙන් කිරි අත්තා සොයා ආ බවත් ,කිරි අත්තාගේ බසට වඩා අන් බසක් නම් නැති නිසා ,අත්තම්මා කළු බණ්ඩාර  නිලමේ තුමා හා පතිකුලයට එළඹී බවත් ,ඈ රසවත් කතා දිග අරිමින් මට කියන්නේ ,අත්තම්මාගේ මගුල ගැන මා අසු විටකය .

සිනා පාමින් නැවත නැවත සිහිකර ඈ කියන්නේ ,මගුල ජයෙන් ජයටම පැවැත්වූ බවය . රබන් ගසා ගම දෙවනත් කල බවය . හත් දා මගුල් කෑ බවය.කිරි අත්තාගේ ආසිරි මැද ,අක්කර 5 තරම් ගොඩ ,මඩ ඉඩම්ද ,තව කනකර බඩුද ලබා ඇය ,බක්කි කරත්තයෙන් ,තම ස්වාමියද සමඟ ,තුන්දෙනියේ වෙල් ඉපනැලි පහුකරමින් , පල්ලෙවෙල ග්‍රාමයට ආ බව ඕ කියද්දී මමද මහත් සේ කුල්මත් වෙමි .

අද මෙසේ වියපත් වුවත් ,අත්තම්මා ,නළල්පට ,මාල හත දමා ,උඩරට ඔසරිය ඇඳ මනාලිය සේ ,එදින කෙසේ නම් සිටින්නට ඇතිද ...මගේ සිතුවිලි එසේ දුර දිව යයි ..

අත්තම්මා තව තව දොඩමලු වෙයි ..කතාවේ ඉතිරියට මගේ සිනාව නම් නවත්වා ගත නොහැකි වන්නේය .ඒ නම් අත්තම්මාගේ ,නෑ සනුහරෙන් තෑගී ලැබුන මහන මැෂිමේ කතාවටය ..දෑවැද්ද ලෙස ගොඩ මඩ ඉඩම් ,කනකර අබරණ ලද ඈ තෑගි ලෙස ,ඇගේ ප්‍රභූ මාමා කෙනෙකුගෙන් මහන මැෂිමක් තෑගී ලබා ඇත.තුන්දෙනියේ අත්තම්මගේ නිවස පිහිටි කදු ගැටයේ සිට පහළටත් ,එතැන් සිට වෙල් ඉපනැලි මතිනුත් , පල්ලෙවෙලදී රාජ ඇල වේල්ල මතිනුත් ,පල්ලෙවෙල අත්තම්මගේ අලුත් ගෙදර දක්වාම ,ඒ මහන මැෂිම ,ඉලන්දාරින් කීප පලක් විසින් ,අතරමඟ වැටෙමින්ද ඔසවාගෙන ආ බව ඕ කියද්දී ,කෙසේ නම් මා සිනා මැඩ සිටින්නද ??

මා සිනාසෙන විට ,ඔලොක්කු කරන අත්තම්මා මද වෙලවකින්ම මද සිනා දක්වා ..

''අනේ ඇත්තට තව බක්කියක් තිබුනේ නෑ නෙව .''.යැයි කියයි ...අපි දෙදන එක්ව සිනාසෙන්නෙමු

තමා පතිනිය වූ නව නිවස දක්වාම කිරි ඇත්තා බක්කිය පසු පසින් පයින්ම ආ බව කියන අත්තම්මා සංවේදී වෙයි ..

''අප්පේ උන්දැගේ හයි හත්තිය ''
''මග ගෙවාගෙන පයින්ම ආව .''. අත්තම්මා කියයි...

ඉතිරිය මතුවට ...





Wednesday, November 20, 2013

මං ආසම සින්දු

කම්මැලි කමට ටීවී බලනකොට අමුතුම සින්දුවක් මම දැක්කා ..
මිස් කෝල් එකක් තරමට ...

අනේ අපොයි කියලා හිතුනලු මට ඉතින්


එතකොට මම ආසම සින්දුවක් මතක් වෙලා මෙහෙම ලියන්න හිතුනා .. නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් මේක ...

දේදුනු පායා පාට වැටෙනවා 
ජීවන අහස් තලේ 
ආදර පවනේ සුසුම් කුසුම් වැල් 
මා යන මගට හැලේ 

දෑසට දෑසක් හමුවුණු දවසේ 
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ 
සිතිවිලි දහසක් එක්තැන් වුයේ 
පැතුම් ලොවට මගේ , ඇයි නුඹ ආයේ 

මා කැඳවන බොරු ඉඟියක් දැනුනා 
ආදර විමනේ රන් දොර අරුනා 
පොපියන හදකින් ආසා හිතුනා 
පිටුපා යන්නට බැරි බව හැඟුනා 

උල්පත සැදුනේ සිසිල උනන්නයි 
මල් කෙනී මැවුනේ රොන් වැහෙන්නයි 
මී වද බැඳුණේ පැණි සුරකින්නයි 
හද මැවුනේ ආදරේ කරන්නයි 

මල් බර තුරු අග සෙවන සදනවා 
කුරුළු ගීත ආසිරි ගී වෙනවා 
තනිවම ගිය මඟ ඔබ හා යනවා 
පෙමට අරුණු හද ඔබට පුදනවා 


වැඩිය අරුමෝසම් නැතුව ආදරේට ,ආදරෙන් ලියපු සින්දුවක් .. කොච්චර හෙව්වත් ලිව්වේ කවුද කියලා හොයා ගන්න බැරි උනා මට .. දන්නා කෙනෙක් ඉන්නවනම් දන්වන ලෙසටත් ආදරෙන් ඉල්ලනවා මම ..




Tuesday, November 19, 2013

ලොකු අයගේ කතා 2(Adults only part 2)

දෙයක් දෙනකොට , ඉල්ලුමට අනුව සැපයුම කියනවලු .ඉතින් ලොකු අයගේ කතා 1 කොටස ලිව්වට පස්සේ , දවසක් තුල වැඩිම page views, එක මොහොතක වැඩිම page views ගානත් වාර්තා වුන නිසා , අදත් ඒ වගේම පොඩි ලොකු අයගේ කතා ටිකක් කියන්න මම හිතුවා . 

අහ් පළවෙනි කොටස කියවලා , ගොඩක් දෙනෙක් ,ලස්සනනයි , good old days , තව ලියන්න වගේ දේවල් කියලා මාව දිරිමත් කළා . හැබැයි ඒ අතරේ කීප දෙනෙක් ,මොනවද ඔය ලියන කතා කියලත් කිව්වා  .. 

ස්වර්ණ පුස්තක සම්මානේ ලැබුන පොතක් වන පොදු පුරුෂයාටත්(2009) , හොඳ ගොඩක් මැද , එක්තරා සංවිධානාත්මක කල්ලියකින් මඩ ප්‍රහාර එල්ල උනා කියල ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක  මහත්මිය කියලා තියනවා දැක්කා මම පත්තරේ . ''ලියනකොට ගල් , මුල් දෙකම ලැබෙනවා ,මම නිදහස් රචකයෙක් , මම ලියන්නේ හැමදේම බලාපොරොත්තුවෙන් , හැමෝටම ස්තුතියි ''කියලා ඇය කියලා තිබ්බා , මාත් ඒ දේම කියන්නේ හිතේ අමනාපෙන් නම් නෙවයි ...

ඒ සියලු දෙනාටම ලඟදි දවසක, CNN එකට  වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහත්තයා කියපු දේත් මතක් කරලා දෙන්න කැමතියි මම ,එතුමාගේ අංග චලනයත් සමඟම  . Sri Lanka is a country with vibrant democracy.. In a country with a vibrant democracy we encourage divergent opinions,, I think  you should respect that !!!

ලොකු කතා 3.. ඇඟ = BODY  or ???

මේ සිද්ධිය උනේ මෙඩිසින් 1 මීගමුවෙදි  කරන කාලේ, අපේ එක්තරා විසාකාවකට .. රෝගීන් යම් යම් සිරුරේ කොටස් වලට සැබෑ වචන වලට වඩා වෙනස් වචනත් භාවිතා කරන බව දැනගෙන නොසිටීම නිසා වෙච්චි ඇබැද්දියක් !!

ඔන්න මේ විසාකාවට history එක ගන්න , යම් බෙහෙතක් අසාත්මික වීම නිසා රෝහල් ගත කෙරුණු අවුරුදු 18 පමණ වන තරුණ පුරුෂ රෝගියෙක් භාර උනා ..

ඉතින් මේ විසාකාවත් allergy ගැන ලස්සන හිස්ට්‍රියක් ගන්න හිතාගෙන , මේ තරුණ රෝගියා හොයා ගෙන ගියා..

ගිහිල්ලා , 3 වෙනි වසර වෛද්‍ය සිසුවෙක් , මම ඉගන ගන්න කෙනෙක් , මට අසනීප තත්වේ ගැන විස්තර ටිකක් දන ගන්න පුලුවන්ද ?? කියලා අවසර එහෙමත් අරගෙන .. ඔන්න කතාව පටන් ගත්තා ලෙඩත් එක්ක ..
 ඉතින් මේ තරුණ ලෙඩත් , එච්චර අමාරුවක් තිබ්බ නැති නිසා , ''හා හා මිස් '' ඕනේ දෙයක් අහන්න කියලා ''
පෙරලා සතුටු සිතින් උත්තර දුන්නා  ..

(පොඩි කොලු ගැටයෙක් වෙච්චි මේ රෝගියාගේ , කොන්ඩේ නම් කපල තිබ්බේ මහා විසුක දස්සන විදිහකටලු ,  එකේ පැත්තක් හරියට ඊයේ ගඩොල් ලොරියක් බෑවා වගේ පාටක් ලු ..බෙල්ලත් , අතෙත් එක එක වයි වාරන්න කම්බි කෑලි , නූල් කෑලි මහා තොගයක් සිලිං බිලිං ගගා එල්ලිලා තිබ්බලු , ලෙඩාගේ තනියට ඇඳ ළඟම, ලෙඩාගේ හොඳ බොක්කක් කියන්න පුළුවන් , ගොඩක් දේවල් අතින්  අංග සම වෙන කොලු ගැටයෙකුත් හිටියලු )

ඔන්න හිස්ට්‍රිය ගන්න අර විසාකාව මෙහෙම ඇහුවා 
''දැන් ඔයා මේ අවේ මොන අසනීපෙ නිසාද  ??

''allergic එකක් මිස් '' ලෙඩා කිව්වා 

මොනවටද allergic වුනේ ?? විසාකාව අහනවා 

''මේ මේ යාලුවෙක් දුන්න බෙහෙතක් '' ඒ පාර ලෙඩා ටිකක් ආදී මදි කරමින් කියනවා 

අහ් යාලුවෙක් දුන්න බෙහෙතක්ද ?? යාළුවා බෙහෙත් ගැන දන්න කෙනෙක්ද ??
 
 වෛද්‍ය උපදෙස් මත ලබා ගත් බෙහෙතක් ආසාත්මික වෙන්න ඇති කියලා හිතා ගෙන හිටිය ,විසාකාව ගොඩාක් පුදුම වෙලා ,කුතුහලෙන් ඇහුවා ලෙඩාගෙන් 

''නෑ නෑ මිස් එයා නම් එහෙම දන්නේ නෑ ''. ඒ පාර ලෙඩා කියනවා 

''ඉතින් ඔයා හරි වැඩක් නේ කරලා තියෙන්නේ ?? එහෙම බෙහෙත් හිතුනු හිතුනු විදිහට බොන්න හොඳ නෑ නේද ??''
තවත් පුදුම වෙච්චි විසාකාව ඇහුවා 

 ''ඒක නම් ඇත්ත තමා මිස් , යාළුවා දුන්න නිසා බිව්වේ ,''
''එයත් බීල තියනව , එයාට නම් ගොඩක් හොඳයි කියල කිව්වා , ඉතින් මටත් හිතුන බීල බලන්න ''
ඒ පාර ලෙඩා හිත ටිකක් රිදිලා වගේ කිව්වා.

''හරි හරි  දැන් ඔය බෙහෙත මොන අසනීපෙටෙද ඔයා ගත්තේ ??'' ලෙඩාගේ හිත හදන ගමන්ම විසාකාව කිව්වා ..

ඒ පාර ඔච්චර වෙලා හොඳට කතා කර කර හිටිය ලෙඩා , ටිකක් මුකුළු හිනාවක් දාගෙන ... එහෙ මෙහෙ බලන්න ගත්තා .. ලෙඩා ළඟ හිටිය යාලුවගේත් මාර කොමලයක් !!!

'මොකද්ද මේ වෙනස කියලා හිතලා ,මේ මුකුළු ඇල්ලුවේ නැති විසාකාව ටිකක් දැඩි බැල්මක් මූණට අර ගත්තා 

ඒක දැකලා , මුකුළු නවත්තල ආදී මදි කරන ලෙඩා මෙහෙම කිව්වා 

''මේ මේ  මිස් ,
 මේ මේ ඒක මේ ඇඟට හොඳ බෙහෙතක් ,  

ඇඟට හොදයි ?? diclofenac වද්ද??  කියලා හිතන ගමන් , 

ඒ කියන්නේ නිකන් වේදනාව නැති වෙන බෙහෙතක්ද ?? කියල විසාකාව ඇහුවා 

 ''අය්යෝ මිස් මොනවද මේ කියන්නේ ?? තේරිලා නෑ වගේ ''කියලා හිතලා ලෙඩා තව ටිකක් තේරෙන්න කියන්න හිතා ගෙන මෙහෙම කිව්වා  

''නෑ මිස් යාළුවා කිව්වා ඇඟට හොදයි , ෆුල් පවර් කියලා "

විසාකාව කල්පනා කරන්න පටන් ගද්දිම , සර් ඇවිත් ward round පටන් ගත්තා කියලා යාලුවෝ කතා කරපු නිසාත්  , තවත් රැඳී රැඳී ඉන්න බැරි නිසාත් , ගත්ත හිස්ට්‍රිය මඟ නවත්තලා , ලෙඩාටත් , ලෙඩාගේ යාලුවටත් ස්තුති කරලා විසාකාව පිටත් වෙලා ගියා ..

පහුවදා ඇවිත් බලද්දී ලෙඩා ගෙදර ගිහින් 

(ගොඩක් කල් මොකද්ද මේ බෙහෙත කියලා හිත හිත හිටිය විසාකාවට , sexuality ගැන කියල දෙන පීරිස් සර් , අපේ සිංහල මිනිස්සු , පුරුෂ ඇඟ , ගැහැණු ඇඟ වශයෙන් ලිංගේන්ද්‍රිය සඳහා භාවිතා කරන බව කිව්වම , ලෙඩාගේ කතාව තේරිලා නළලේ අත ගහ ගත්තලු ... බෙහෙතත් මතක් උනාලු ...)


ඉතුරු කතා පස්සේ .. අද කතා දෙකක් ලියන්න හිටියත් , පලවෙනි එකම දිග වැඩි වුන නිසා තව ලියන්න බෑ හිතුනා ...






ජීවක පදට්ඨ කතා 13

බුත්සරණිය මෙසේ ,තම ඉදිරි නායකත්ව ධුර කාලය පිළිබඳව ,තැති ගත් සිතින් ,තම යෙහෙලියන් දෙදනා හා වාචල්‍ය වත්ම , ඔවුනට දැන ගැනීමට ලැබුනේ නම්, ස්ත්‍රී අංශයේ වත්මන් නායක අනන්ජය පත්තු අනුභාවයේ නායකත්ව  තනතුරට  පත්වීමට නියමිත නීල  සුරනියද ,අනන්ජය පත්තු සේම ,ඉරු දින සන්ධ්‍යාවේ ස්ථාන මාරුවීම් ලබා ගැන්මට දැඩි සිතින් පසු වන බවය . එපුවත් සැලවුණු සැනයේම  සියල්ලන්ගේ සිත් බිඳී ගියා සේ වුවේය ''එසේ  නම් ඇයත් ඔවුන් හා සමගම අප අසාධාරණයේ හෙලයි '' දැන් නම් අපෙගේ එකම පැතුම වන්නේ අප වීර පුරුෂයන් තිදෙනා පමණකි'' ඔවුහු එක්ව සිතූහ .

ශනි දින උදවිය .සූර්ය රාජයා ,සිරිත් පරිද්දෙන්ම ගාරම ග්‍රාමය එකළු කලේ විය  .එනමුදු පෙර දින සාම කතා ඇති කොටගෙන ස්ථාන මාරුවීමේ නැකත් දසා ඉරුදින නොහෙන සේ ,අනෙකුත්  දවසකට වන සේ  සදා ගෙන එන්හම්යි කියා ,මහත් බස් කියා ගිය ,රුවනාක් ,අය බණ්ඩාර ,කෝණ චින්තන ත්‍රිත්වය ,බුත්සරණි , කුමරන්තනි ,දීලාමනි ආදී පිරිස් හමුවේ

''අනන්ජය පත්තුගේ  මනස  විචල්‍ය කිරීම නම්, පර්වතයකින් පට්ටාවක් ගන්නා සේම අසීරුය , අපි ඔහු හමුවේ අපොහොසත් වීමු '' යැයි කියූ කල්හි එසැනින් ඔවුන්ගේ වත කමල අඳුරුව ,තැතිගැන්මක සෙයක් ඇඳි ගියේය .
එසේ හෙයින් ශනි දිනය  ,මේ සියල්ල හමුවේම බිදුණු සිතින්ම,කිසිත් කර කියා ගැනීමට නොහැකිව ස්ත්‍රී අංශයේ සිසුහු ගෙවා දැමුහ .

ඉරු දිනට දිනකර නැග ආවෙහි .
''එසේ නම් අද දින සන්ධ්‍යාවේ නොවේද ,ස්ථාන මාරුව ලබා ගත යුත්තේ ??'' සිය්යල්ලෝම එක්ව කතිකා කරන්නට වුහ .
''අප කියන   බසට ඔවුහු එකඟ නොවෙති '' එනමුදු අපට ස්ථාන මාරුවීම ලබා ගැනීමද  කල හැක්කක් නොවන්නේ නොවේද ??" තව තවත් ඔවුහු දොඩමලු වුහ .
''ඔවුන් කුමක්  කීවත් ,කුමන කර්මයක් කලත් අපි ස්ථාන මාරුව ලබා නොගෙන ඉඳිමු ''එයයි අපහට කල හැකි එකම දෙය '' කතිකාව අවසන දැඩි සිතින් සියල්ලෝම   ඉටා ගත්තෝය ..

කාලය ගතව ඒ සිරුරත කිළිපොලන ,ඉරු දින සන්ධ්‍යාව උදා වුවේය .රෑ වැඩ මුරය බලා පිටත් වනු වස් , නිතරම එක්ව චාරිකාවේ යෙදෙන ,චල පියදස්සනි ,තඹරිනි,බුත්සරණි යන තිදෙනා , හිරු බැස ගොස්,ගාරම කඳු වැටිය ගොම්මන් අඳුරෙන් වැසි යන ඇසිල්ලේ ,වියලි කෝෂ මගින් දැල්වෙන හුළු අතු හා සමාන පන්දම්ද ,දුර සිට ඇමතිය හැකි කුඩා කථන වල ඇති පන්දම්ද දල්වාගෙන , පයට පෑගී ගියහොත් සත්මසකින් වත් සෝදා ගන්ධය ඉවත් කල නොහෙන ගාරම සංකේත බඳු වූ සුනඛ වසුරු මඟ අරිමින් ,දැන් දැන් අපි ගිය වහා කුමක් වෙයි සිතමින්ම ,ගාරම කන්ද බැස ආවෝ , මඟ ගමන් ගනිමින් ,'ගාරම නම් අපිය',කියන්නට මෙන් අවලම් ගමනින් චාරිකා කරන තුන්සක් රියද ,දෙසක් රියද මඟ අරින්නට උත්සහස දැරුවෝය .

කදු වැටිය බැස අඩක් දුර ආ තැන , එක් සිසුවියකගේ , දුර සිට ඇමතිය හැකි කුඩා කථනය නද දෙන්නට විය ,
එකෙනෙහිම තවත් එකියකගේ කථනයද නද දෙන්ට වුවේය ...

'අහෝ මේ නම් සුභ ලකුණක් නොවන්නේය '' යමක් නම් හදිසියකි '' කියමින්ම , කථනය ගෙන මේ කවුරුන්ද අමතන්නේ , බැලු කල දිස් වුයේ අය බණ්ඩාර සහ කෝණ චින්තන දෙදන මෙසේ අමතා සිටින වගය ..

ඇමතුමට පිළිතුරු දෙන ඇසිල්ලේ ,චල පිය්දස්සනිට අය බණ්ඩාර මෙසේ කියනු අසින ..

තොප දැන් නම් කොතැන සිටීද?? එන මඟ වන්නේද??

''එසේය අප තිදෙනා කදු වැටිය බැස එන මඟය සිටින්නේ , කිමෙක්ද ?? යම් කරදරයක් වත් වී ඇත්ද ??

''තොප වහ පැමිණෙව , කරදරය නම් තොපට පෙනෙනු ඇති  ''යැයි එබසට පිළිතුරු බඳිමින් අය බණ්ඩාර කීය.
 එතනින් කතාව අවසන් වුයෙන් , විසම වූ නෙතින් බලන චල පියදස්සනියට , තමාටද එබඳුම පුවත් කෝණ චින්තන සැල කර බව කියන බුතසරණිය නෙත ගැටුනාය  .

ඔවුන්ගේ බසින් , හා හැසිරීමෙන් යමක් නම් නොනොසි දෙයක් නම් මග මගම ඒ යයි සිතා , තේරුම් ගත් තඹරිනියද , විස්මිත වුවාය ..

ඉදින් අවසන වහ වහා රෝගී ආශ්‍රමය දෙසට තිදෙනාම එක්ව පා ඉක්මන් කලෝය .

ඉතිරිය මතුවට

ප.ලි - මේ දිනවල අවසන් වසර විභාගයට මුහුණ දෙන , ආදරණීය , 20 කණ්ඩායමේ අක්කලා , අයියලාට , මගේ සුභ පැතුම් ... ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා .. ජයෙන් ජය !!

Monday, November 18, 2013

ලොකු අයගේ කතා (Adults only)

මෙහි අන්තර්ගතය වඩාත් සුදුසු වැඩිහියන්ටය ,එබැවින් අවුරුදු 21 ට අඩු පිරිස් කියවීමෙන් වලකින්න .

මම දැනට මෙඩිසින් කරන්න අරන් අවුරුදු 4 ක් , ෆයිනල් යන්ට බොහෝම ලං වෙලා තියෙන්නේ , මේ කාලේ පුරාවට වෙච්චි adults only කතා ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා ,මොකද ඒ ඔක්කොම ටිකක් හිනාවට බර නිසා , ඇත්තටම මේවා එච්චරම ලොකු වැඩිහිටියන්ගේ කතාත් නෙවෙයි .අපි ඉතින් අහිංසක ළමයි නේ ...

ලොකු කතා 1- පීරිස් සර් සහ Human Sexuality lecture series

ඔන්න අපිට සෙකන්ඩ් ඉයර් එකේ රිප්‍රොඩක්ටිව් මොඩියුල් එකට ,Human sexuality කියල lecture series එකක් තිබ්බා .ඒක භාර වෙලා තිබ්බේ පීරිස් සර්ට (MBBS,MD,MRCP Psychiatry).ටයිම් ටේබල් එකට අනුව එක ලෙක්චර් එකක් පැය දෙකක් , දවස් 3. Video clip  කියලත් සමහර තැන් වල සටහන් වෙලා තිබ්බා.කට්ටියම ටයිම් ටේබල් බලලා , මේ මොකද(සාමාන්‍ය ලෙක්චර් එකක් විනාඩි 45) කියලා හිතලත් ,ආහ් හරි හරි මේ ඔය සීනියර්ස්ලා කිව්ව රාජකීය ලෙක්චර්ස් ටික නේද කියලා තේරුම් ගන්නවා , අපිට ඒ වෙනකොට කනින් කොනින් ඇහිලා තිබ්බා , ''ලොකුම දේත්'' ප්‍රසිද්ධියේම බලලා ලොකු ළමයි වෙන දිනේකුත් එනවා කියලා සෙකන්ඩ් ඉයර් එකේ ..

ඔන්න ඒ දිනේ උදා වුනා . මාත් ඉතින් මගේ යාළුවා නිමේෂත් එක්ක ලෙක්චර් හෝල් එකට ආවා . අපොයි අපි දැක්ක දේ , මුළු හෝල් එකම පිරිලා ,මුළු බැච් එකම දැනටම ඇවිත් , අනේ ඉතින් වෙනදට භාගයක් වත් පුටු හිස් නේ , අපිත් ඉතින් වෙනද වෙලාවටමයි අවේ , මොකද ඉතින් අපේ තැන නැති වෙන්නේ නෑනේ කවදාවත් , දැන් හරි වැඩේ , ඉඩත් නෑ වගේ , එත් බලල බලල අපි දෙන්න පිටි පස්සේ පෝලිමට ටිකක් ලගින් වාඩි උනා .

 වාඩි වෙලා වට පිට බැලුවා , අනේ අනේ වෙනද හොස්ටල් වලට වෙලා ඉන්න පුරුෂ පාර්ශවේ අයට තමා මේ අලුත් උනන්දුව ඇති වෙලා තියෙන්නේ .අපි දෙන්නා මූනින් මූණ බලා ගන්නවා .
කොහොමද කට්ටියගේ උනන්දුව , අපි දෙන්නා එකටම හිතුවා ..

ඔන්න සර් ආවා , සර් ආව ගමනුත් attendance වලට ප්‍රශංසා කරලා ලෙක්චර් එක පටන් ගත්තා . මුලින්ම introduction එක , වෙනද විදිහටම theory .Print කරලා note එක හම්බවෙන බව දැන දැනත් , ලෙක්චර් එකේදී ලිව්වේ නැත්තම් අවුල් කියල හිතෙන ස්ත්‍රී පාර්ශවේ බහුතරයයි , පුරුෂ පාර්ශවේ ඉතා සුලුතරයයි හෝ ගැවිල්ලේ ලියන්න පටන් ගත්තා වෙනද වගේම..

දැන් නම් බෝරින්ද මන්දා , අර අලුත් උනන්දුව ආපු අයට හතෙනවා , තාම Theory ..අයියෝ ....

පැය භාගයක් විතර ගියාට  පස්සේ  normal  human sexual response එක ගැන සර් කියන්න පටන් ගත්තා  , අහ් දැන් නම් කට්ටියට  සතුටුයි .  හරි බරි ගැහිලා අහගෙන ඉන්නවා , මීක් නෑ .

Desire , Excitement , Plateau ,Orgasm ,Resolution .. response එකේ stages  ටික සවිස්තරව කියනවා සර්. ඒ අස්සේ සර් අමුතු අමුතු සිංහල වචනත් දාල ,කියපු කතා නම් වැඩිහිටියන්ට පමණක් තේරෙන විහිලු කියල මටත් ,නිමේෂටත් තේරුනේ , අපේ පුරුෂ පාර්ශවය ''හක හක '' ගාලා හිනා වෙනකොට . ඒ කාලේ හරිම පොඩි ළමයි වුනු අපි දෙන්නට ඒ ගොඩක් දේවල් තේරෙන්නේ නැතුව මූණින් මූණ බලා ගත්තා ,

හැබැයි අවුලක් නෑ , අපේ ළඟ හිටිය බොහොමයක් ගෑනු ළමයින්ටත් ඒවා තේරිලා නැතුව අපි වගේම වට පිට බලනවා ...අපිට සතුටුයි .අපි odd man out නෙවෙයි ..එත් අපි දෙන්නට plateau phase එකේ  coordinated rhythmical muscular activity ගැන  සර් සදහන් කරලා ,කැඩිච්ච ඇඳක් නිසා , ''කිරි කිරි '' සද්දෙන් පීඩා විදමින් sexual dysfunction තත්වයට පත් වුනු   යුවලකට ,Then I  asked them to use a mattress on the floor instead ..කියද්දී එක නම් තේරිලා හිනා ගියාලු ....

ඉතින් විහිලු , theory මැද පැයක් ගත වෙලා , දෙවැනි පැය උදා වුනා , වෙනදට පුටු වල නිදියන අය කොහේ ගියාද නෑ .. ඈනුම් අරින අය ?? අනේ ඉතින් .

Now I 'll  show you some video clips කියලා ,සර් කියද්දී  හැමෝම ඉතින් තව තව සූදානම් වුනා ..

ඔන්න video clip එක පටන් ගත්තා ..

ඒක දැකපු බ්‍රාහ්මණ තුමෙක් මෙහෙම ලිව්වලු ..

''ඉදින් එහි දිස් වුයේ සුකුමල වුත් , නග්න වුත් විලාසිනියකගේ දේහයකි , ඕ අසල සයනෙහි වුයේ නග්න වූ සිරුරෙන්ම කල් ගෙවන හැඩි දැඩි යෞවනයෙකි .රතියෙන් මඩනා ලද හෙතෙම , නග්න විලාසිනිය තමා වෙතට ඇද ගෙන ,ඇගේ මුව කමල චුම්භනය කළේය , ඉදින් නොනැවතී  එම නාරි දේහයේ රස සොයමින් පිරුණු පයෝධරයන්ද චුම්බනය කරමින් ,වසා රොද දක්වාම ඔහුගේ මුව මෙහෙය වීය . එම චුම්භනයන් හමුවේ ප්‍රමුදිත වෙමින් විලාසිනියද , රතියෙන් මත්ව දැවී අළු වන සෙයක් දනවා සිටියාය ''

මේ video එක යන අස්සේ ස්ත්‍රී පාර්ශවයේ බහුතරක් ගේ මූණු නම් ලැජ්ජාවේ බැරුව බිමටම නැමුනලු , ලැජ්ජාව උපරිම වෙච්චි කීප දෙනෙක් හොරෙන්ම නැගිටලා හෝල් එකෙන් එලියට ගියාලු .. ඔය film වල පොඩි පොඩි scenes ඇර මෙහම අමුවෙන් දැකල තිබ්බ අපි දෙන්නත් පුදුමෙනුත් පුදුම වෙලා  හිටියලු .. මට වැලමිටෙන් අනින නිමේෂා මගේ සටහන් පොතේ කොනක මෙහෙම ලිව්වාලු 

s  dis norml respons ?? :O :O

මාත් ඒක බලලා :O  කියල ලිව්වාලු  ..

මේ ඔක්කොම අස්සේ පුරුෂ පර්ශවේට නම් කිසි ගානක් නැතුව ඉන්නවා අපි දැක්කලු ,අපි දෙන්නගේ පුදුමේ තව වැඩි වුනාලු .. කොහොමහරි අන්තිම වෙනකන්ම , අර sex , මේ sex , අර position එක , මේ position එක  ඔය වගේ ගොඩක් දේවල් බලලා , වැස්සක් වැහැල පෑවුව වගේ ලෙක්චර් එක ඉවර වෙලා , අපි එක පිම්මේ  පැනලා දිව්වලු  ...

පස්සේ දවසක අපේ හොඳම පුරුෂ පාර්ශවේ යාලුවොන්ගෙන් , මේක ගැන අහද්දී එයාල නම් කිව්වේ , 7
වසරේ ඉදන් p***  බලපු අපිට ඕවත් දේවල්ද කියලලු
එකම වාසිය වෙනදට පුංචි තිරේ බලපු දේවල් ,ලොකුවට පෙනුන එකයි , කන පිරෙන්න සද්දේ ඇහිච්ච එකයි කියද්දී , අම්මෝ අපේ කොල්ලෝ කියලා අපි හිතුවලු .....

ලොකු කතා 2- Sexual  history taking

ඔන්න දෙකන් පාස් වෙලා 3ට ආපු අපි හැමෝටම , මුලින්ම තිබ්බේ HISTORY TAKING  , එහෙම නැත්තම් සායනික ඉතිහාසය ලබා ගැනීම ඉගන ගන්න එක . ඇත්තටම ඒක ලේසි දෙයක් නෙවයි . ඒකට හොඳ දැනුමක් වගේම , communication skills ඕනේ ..History taking is an art  කියල කියන්නේ ඒක නිසා ..

Introduction ,Presenting complaint , History of presenting complaint වගේ කොටස් ඔක්කොම පහළොවක් විතර තියනවා සම්පූර්ණ කරන්න . අන්තිම හරියේ තියනවා sexual history කියලා කොටසක් .. ඉතින් මෙන්න මේ කොටස සම්පූර්ණ කර ගන්න නම් ගොඩක් ළමයි අදි මදි කරනවා වගේම , බොහොමයක් වෙලාවට ඒ කොටස හෙමින්ම මඟ අරින එක තමා කරන්නේ ..අවශ්‍යම උනොත් ඇරෙන්න ..

ඉතින් මේක හැමදාම කරන්න බෑ ෆයිනල් එකේදී අමාරු වෙයි කියලා , මෙඩිසින් 2 කරන කාලේ අපේ කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා හරියට sexual history එක ගන්න හැටි කතා වුනා ..

''අනේ ඇත්තටම කොහොමද ඕව ගැන patients ලාගෙන් අහන්නේ ''එක ළමයෙක් කිව්වා .

ඔව් අනේ මාත් දන්නේ නෑ , ලජ්ජත් හිතෙනවා  තව ළමයෙක් හු මිටි තිබ්බා

ඒක අහල එක ළමයෙක් මෙහෙම කිව්වලු
''මට නම් ඕවගේ ගානක් නෑ , sexual history එක තමා මම හොඳටම ගන්නේ ''

අහ් මොකද්ද අනේ කිව්වේ ??
ඔයාට හොදට ගන්න පුලුවන්ද?? ගොඩාක් පුදුම වෙච්චි ළමයෙක් ඇහුවලු ..

''ඕකට විශේෂ වචන සෙට් එකක් තියනව , මේ නිකන් කියන ඒවා ''
''ඒවා දාල ඇහුවම හිස්ට්‍රිය නිකන්ම අතේ '' අර මුලින් ලොකු කතා කියපු ළමයා ආපහු කිව්වා

''අනේ ඇත්තද ?? අනේ අපිටත් ඒ වචන කියල දෙන්නකෝ ''
එතකොට අපිටත් හොඳට history ගන්න පුළුවන් .. අර ළමයා කිව්වලු

''අපෝ අපෝ ඒක කරන්ඩ බෑ , ඒවා අත්දැකීමෙන් හොයා ගන්ඩ ඕනේ '' ඒ පාර තව ලොකු කතාවක් කිව්ව ඒ ළමයා ..

අප්පෝ මොකද්ද අනේ, කියන්නකෝ අගේ නොකර ''අපිත් ආසයිනේ ඉගන ගන්න ''  කියල තව ළමයෙක්  කිව්වා

''මේ මේ එහෙම කතා කරන්ඩ එපා , මට බෑ ඉතින් කියල දෙන්න ''කිව්වා  අර ළමයා

''අහ් එහෙනම් මෙයාට අත්දැකීම් ඇති , අපි යමු අනේ යන්න ''කියල  ළමයි කීප දෙනකේ තරහ වෙලා යන්න ගියා ..එතනින් ඒ කතාව ඉවර වුනා

පස්සේ වෙලාවක මේ හොඳට history ගන්න පුළුවන් ඒ ළමයා කොච්චර හොඳට එක හිස්ට්‍රියක් ගත්තද කියනවනම් , එක රෝගියෙක්ගේ දුර්වලතාවකට ,ඒ ළමයා එක බෙහෙතක් ගැන කියලා , ඒ රෝගියා වහාම නෝනට කෝල් කරල හොඳ දොස්තර මහත්තයෙක් හොඳ බෙහෙතක් දුන්නා කියල කිව්වලු ..අපිත් එක්ක ඒ ගැන කියල ඒ ළමයා සතුටු උනාලු ..අපිත් sildenafil නේ කියලා සතුටු උනාලු ..ලෙඩා නම් ඒකට කිව්වේ දිවියද , කොටියද කියල වචනයක් ලු .....
ඔය අස්සේ ''මොනවද අනේ ඒ වචන ??''කියල අයෙත් අර ඉගන ගන්න ආස ළමයි ඇහුවත් ,
''ඒවා කියන්ඩ බෑ ''කියලා ඇස් හීනි කරලා හිනා වෙලා ඒ ළමයා යන්ඩ ගියාලු ..


ඉතුරු කතා පස්සේ ...












Friday, November 15, 2013

මම ආසම කවි ...

ඊයේ කවි ටිකක් , නිසදැස් ටිකක්  ලිව්වට පස්සේ යාලුවෝ හැමෝගෙන්ම උණුසුම් ප්‍රතිචාර ලැබුනා ... ඇත්තටම ඒවා හරිම ලස්සන කවි නිසා හැමෝම ආස වෙලා .. හොඳ දේ කවදත් පවතිනවා නේ .. ඉතින් අදත් මම හිතුව පොඩි කාලේ අසාවෙන් කියවපු කවි පෙළක් ඔයාලත් එක්ක බෙදා ගන්න ..මේක මල් බස් කියන කවි පන්තිය ,, කුමාරතුංග මුණිදාස ශුරීන්ගේ ..

මට මේ කවිය කියල දුන්නේ අම්මා ..කුමාරොදය කියන පොතෙන් (දැන් ඒ පොත මන් ළඟ නෑ , නැති වෙලා ඒක )..ලස්සන උනත් ,සුවද නැති කිණිහිරියා මලක් වගේ ..ගුණ සුවඳ නැති ළමයෙක් වෙන්නේ නැතුව රුවත් ගුණත් දෙකම තියන රෝස මලක් වෙන්න කියල අම්මා කිව්වා ..එතකොට මම අහනවා ''ඉතින් අම්මේ මම නෙලුම් නේ ''කියලා .. අම්මා එතකොට කියනවා ''ඔව් ඔව් ඔයා  මගේ නෙලුම් මල නේ .. මඩ වගුරෙන් උඩට ඇවිත් ලෝකෙටම සුවඳ දෙන්න ඕනේ ''   ''හරී '' ලෝකෙට සුවඳ දෙන නෙලුම් මලක් වෙන්න හිතාගෙන අම්මත් එක්ක මල් බස් සද්දෙට කියනවා ..

1.ගස අගනා -අර රඳනා
   මලට මනා -බොහොම හිනා

මල් පිපෙන ගස් නම් අගනේය , ගස ලස්සන වන්නේ මල නිසා බැවින් මල ඉතා සතුටු වෙයි

2.ගස වතුසුදු -වී පිරිසිඳු
 පොහොය නැතිඳු -සිල් ගත් බඳු

වතුසුදු ගස සුදු පැහැ මලින් පිරී ඇත , අද පොහෝ දින නොවුවත් සිල් ගත්  සෙයකි .

3.දහස් දලා -ගස විමලා
මහන වෙලා -සිටින තුලා

දහස් පෙතියා මල් ගොන්නකි , මහන වූ සෙයක් පෙනේ

4.මල කිණිහිරි -රුවිනි සසිරි
 නැත නැණ සිරි -දරුවෙකු සරි

කිණිහිරියා මල් නම් ඉතා ලස්සනය , එනමුදු සුවඳ නැත . එය සැබවින්ම නුවණ නැති දරුවෙකු හා සමානය .

5.මහ පුදුමෙකි -මලෙක මලකි
නැහැ එහි සකි -සමනළයෙකි

(මෙතැන් සිට ඇරඹෙන්නේ මිතුරන් දෙදෙනෙකුගේ සංවාදයකි )
පළමු මිතුරා -මහා පුදුමයකි , මේ මලක් මත මලක් නොවේද ?
දෙවන මිතුරා -නැත නැත මිතුර ඒ සමනළයෙකි

6.මලක් මෙහෙම -කෙදිරි ගෑම
නෑසිමි මම -කලෙක කිසිම

(මිතුරා අමතා , අනික් මිතුරා මෙසේ කියයි , ඔවුන් දෙදෙනාට මලකින් ඇසෙන රුන් රුන් ශබ්දයක් ඇසේ )

යහළු මලක් මෙසේ කෙදිරි ගෑම මීට පෙර මම නම් අසා නැත


7.ළඟ පාසල -නිසා මෙමල
 මතුරා තොල -උගනී බල

(මිතුරා මෙසේ පිළිතුරු දෙයි)
යහළු බලන්න ළඟ ඇත්තේ පාසල නොවේද ? ඒ නිසා මේ මල එහි ළමෝ කියනා දේ අසා එබස් තොල් මතුරා හොදින් උගනි ..

8.
මී මැස්සා -එහි බැස්සා
මල උස්සා -බල ගස්සා

(මිතුරන් දෙදෙනා තවත් ලංවී මල දෙස හොදින් බලති )

අහෝ මල තුල ශබ්ද කරන්නේ මී මස්සෙකි , මලට බලය දෙන්නේ මී මැස්සාය ..


9. සිනාව සරු -ගුණැති  නපුරු
දනන් අයුරු -මෙමල් කපුරු

මග තොටදී මූණට ඉතා හොදින් සිනාසුනද , සිතෙන් නපුරු ගුණ ඇත්තෝ නම් , ලස්සන මුත් අප්‍රිය ගන්ධයක් ඇති කපුරු මල් වැනිය ..

9 නැණ ගුණ දම් -රුව පැතුම්
ඇති අය නම් -රෝස කුසුම්

සුවඳ මෙන්ම රූපයද ඇති ළමෝ නම් රෝස කුසුම් වැනිය ..



ප.ලි   මෙහි තේරුම් මගේ අදහස් වේ .. යම් වැරද්දක් වේ නම් වහා නිවැරදි කරන්නට  දන්වා සිටින්න .... මෙහි වද මල පිළිබඳවද කවියක් තිබුන මුත් එය මගේ මතකයෙන් ගිලිහි ගොසිනි ..අමතක වූ පද මතක් කර දුන් අම්මාට තුති ,,

කවියට , නිසදැසට කැමති අයට ...


 1.බුලු ගස

දැන් වැටේ
දැන් වැටේ  බුලු ගස
සිතේ -කළුවරේ
මැදි කරගෙන පුතු
ගුලි වීමු පැදුරේ
මැරුණොත් මැරුණාවේ ඔක්කොම එකට

කුණාටුව නැවතුණු  අලුයම
බැස බලමි මිදුලට
වැටුණු පොල්ගස් දෙකක් සුළඟට
රැඳී ඇත බුළු ගසේ අතු අතර
වලක්වා අපේ පැල
දෑතෙන් දරා සිටිනු වැනි පොල්ගස්
රැයක් පහන් වනතුරු
උස මහත තාත්තා කෙනකු සේ

සම්මානනීය කවියර  මහගම සේකර
ජයතිලක කම්මැල්ලවීර ශුරීන්ගේ   සාහිත්‍ය දේශනය කෙටි කතාවෙන්  උපුටා ගතිමි .

2.ලස්සන කෙල්ලෙක් දැකලා

වට දිලිසෙන යස ඉසුරට  ඇස   බැඳුණි
රට වට මුහුදින් එපිටට ලොව    පෙනුණි
මට වැඩි යම් සුවිසල් සෙවණට ලොබිනි
පිටුපා යනු රිසි නම් පව් නැත         ළදුණි

සම්මානනීය කවියර මහගම සේකර
ජයතිලක කම්මැල්ලවීර ශුරීන්ගේ   සාහිත්‍ය දේශනය කෙටි කතාවෙන්  උපුටා ගතිමි .
(දැන් කාලේ කොල්ලෝ නම් මෙහෙම කියයිද ??)

3.මව් පදවිය

බෑවුමක් නැති විසල් කන්දක පාද තබමින් ගියා සේ            විය
නොදන්නා මුත් පිහිනනා සැටි සයුරු තරණය කළා සේ      විය
ගසා ගෙන ගිය කුණාටුවකින් පොළොවටම පැමිණියා සේ  විය
දරුව :උඹ ලොව පැමිණි දිනයෙහි යළිත් මා ඉපදුනා සේ     විය

ගර්භනී භාවයත්, මව් පදවියත් , මවකගේ ඇසින් දක්නා ලෙසට රචිතව ඇති මෙම විශිෂ්ඨතම කවිය මොනිකා රුවන්පතිරණ කිවිදියගේය .. මෙම කවිය මා සිතේ තදින්ම සනිටුහන් වුයේ ප්‍රසව හා නාරිවේදය අධ්‍යයන කාල සීමාවේ මා ලද අත්දැකීම් නිසාය ..ප්‍රසුතියට ආසන්න මොහොතේ, වේදනාවෙන් කෑ ගසා සිටින මව් වරුන්ද , වෙර වීර්යයෙන් ඉවසා සිටින මව් වරුන්ද දුටුවෙමි .. කෑ ගසා සිටියත් , ඉවසා සිටියත්  තම දරුවා උපන් වහාම ,හෙද මණ්ඩලය විසින් ලය මත හොවන ලේ කැටි බිලිඳා දෝතින්ම බදා ගන්නට ඒ සියලු මව්වරුම නිරායාසයෙන් පෙලඹුනහ, එසේම තම දෙකලවා අතරින් ගලා යන රුධිරයද ,සියලු වේදනාද අමතකව ඔවුන්ගේ වත කමලෙහි සිනා රැල්ලක් ඇඳී යනුද ,සතුටු කඳුළු වැගිරෙනුද දුටුවෙමි  ....

උපුටා ගැනීම ඔබෙ යෙහෙළිය ,ඇය ගැහැණිය කෘතියෙනි


4.විශ්ව විද්‍යාල සිසුවියකට එහි ඇතුලත් වෙද්දී අක්කා කෙනෙකු දුන් උපදෙස 

අතින් පොත් බරක් ගෙන වතින් සොම්නසක් ගෙන 
නගේ පටු දොරටුවෙන් නුඹේ දෙපා නැගිය යුතු 
දෙපා දිග හරින්නට ඉඩක් නැති කුටිය තුල 
කුරා කුහුඹින් සමග කලක් දිවි ගෙවිය යුතු 
ගතට නොලැබෙයි අහර හදට නොදැනයි සිහිල 
එලිය බිඳ වතුර බිඳ පතා නුඹ හැඩිය යුතු 
කෝටියක් සතර දැන යලි ලොවට වඩින නුඹ 
නගේ ගැහැනියක් මිස ළදැරියක් නොවිය යුතු 
නවාතැන එදා නුඹ පෙලා සිර කළ  ලෙසම 
පා තබන ලොවම නුඹ පෙලන වග සිතිය යුතු ...

මොනිකා රුවන්පතිරණ කිවිදිය
උපුටා ගැනීම ඔබෙ යෙහෙළිය ,ඇය ගැහැණිය කෘතියෙනි 
විශ්ව විද්‍යාල සිසුවියකට එහි ඇතුලත් වෙද්දී අක්කා කෙනෙකු දුන් උපදෙස 
(හොස්ටල් ලැබෙනකන් අපේ ගොඩක් අයත් හිටියේ මේ විදිහට මම හිතන්නේ , රාගම පොඩි කාමර වල ...)


Wednesday, November 13, 2013

ජීවක පදට්ඨ කතා 12

දවල් වැඩමුරයන් , රෑ වැඩමුරයන් ,රෝගීන් විචාරීම , ඖෂධ වට්ටෝරු , පරීක්ෂණ පත් ඉරු , ඇඳ ඉහපත් , උරණ බස් ,පෙම් බස් ආදී සියල්ල සමග බැදී කායවේද භෞතවේදයේ දෙමස් පුහුණු කාලයෙන් මසක් ඇවෑමෙන් , ස්ත්‍රී අංශයේ ජීවක සිසුන් පුරුෂ අංශයටත් , පුරුෂ අංශයේ සිසුන් ස්ත්‍රී අංශයටත් ස්ථාන මාරු වීම් ලබා ගත යුතු ඒ තීරණාත්මක සති අන්තය එළඹියේය . මෙකී මහත් වූ සති අන්තයටම  , එක් රෝගී ශාලාවකට මසකට එක් අවස්ථාවක් බැගින් උදාවන සති අන්ත රෑ වැඩ මුරයද යෙදී තිබුනේ වුවේන් , ජීවක සිසුන් හට ස්ථාන මාරුව හැර ශනි දින සහ ඉරු දින සවස සයේ කණිසම සිට මැදියම් රෑ දොළස කණිසම තෙක් රාත්‍රී ඉගැන්නුම්  වැඩද  යෙදී තිබුනේ  විය .

එසේ හෙයින් ගම්දොර ගොස් මාපියන් බැහ දැකීමට නොහැකිව සෝ සුසුම් ලන්නට වුයේ ,අනෙකුත් සති අන්ත වලදී මිටින්හල සියොත්හු සේ ගම් දොර බලා පියා විදහන  , මැටිහක්ක ග්‍රාමයෙන් පැමිණි චල පියදස්සනී සහ , සෙන්කඩගලින් පැමිණි තඹරිනී හැර ,ඉගැන්නුමෙන් නිදහස් වුවත් ගම්දොර බලා පා නොතබා , කොලු කුරුට්ටන් හා පුරුෂ නේවසිකාගරයේම රැදී තුටු වන්නා වූ වෙල්ලස්සෙන් පැමිණි බටුවන්දර හෝ තෝලම්ගමුවෙන් පැමිණි කෝණ චින්තන ආදීන් නම් නොවීය ..

එතෙකින් මෙතෙකින් හෝ කෙසේ වතදු සියල්ලෝම සති අන්තය ගාරම කඳු මුදුනේම රැදී සිට ,සති අන්ත රෑ ඉගැන්නුම් මුරයට සහභාගී වීමට ඉටා  ගත්හ .. මේ අතොරක ස්ත්‍රී අංශයේ නායක අනන්ජය පත්තු සහ පුරුෂ අංශයේ නායක රුවානක් අතර , සති අන්තයේ කුමන නම් වේලාවක ස්ථාන මාරු ලබා ගන්නේදැයි සති අන්තයට පෙර සිකුරු දින ,ද්වන්ධ කතිකාවක් ඇති විය ..

හඬ අවදි කරන ,මහත් තේජස් ඇති අනන්ජය පත්තු නායක තෙම මෙසේ කීය
''දැන් එළඹ ඇත්තේ ස්ථාන මාරු වීමේ කාලය නොවන්නේද ?? මම  ඇතුළු මගේ සගයෝ  නම් ඉරු දින සවස් භාගයේ ස්ථාන මාරු ලබා ගැනීමට කැමැත්තේ වෙමු ''

ඒ අසා නැණැති රුවනාක් නායක නොනවත්වාම ආවේශ වූ කලෙක මෙන් මෙබස්  දොඩමළු විය

''අහෝ තොප මේ පවසන්නේ කුමක්ද ??
''ඉරු දින ගයාවර්නී ගුරු මෑණියෝ රෝගීන් විචාරන්නේ පුරුෂ අංශයේය ''
''අප ඉරු දින සන්ධ්‍යාවේ ස්ථාන මාරු ලබා ස්ත්‍රී අංශය කරා පත් වන්නේ නම් සඳු දින නැවත ස්ත්‍රී අංශයේ රෝගීන් විචාරන ගුරැ මෑණියෝ අප හමුවේ වන්නීය ''
අහෝ අහෝ සති අන්තය නම් රෝගීන් පිරී ඉතිරී යයි .. එබැවින් අප හට සියලු රෝගීන් විචාරීමට නොහැකිව ගුරු මෑණියන්ගෙන් උරණ බස් අසන්නට සිදු වනු ඇති ''
ඇරත් එවිට තොප ඇතුළු සගයින්ට දින දෙකක්ම ගුරු මෑණි හමු නොවෙන්නේය , එය මහත් අසාධාරණයකි ''

ඒ අසන අනන්ජය පත්තු මෙසේ කියන්නට විය

'' එය එසේ විය හැක්ක , එනමුදු තොප ගණිත මිණිත කර්ම දන්නවා නොවේද ?? බලව දින ගැන ,මස ඉකුත් වී ස්ථාන මාරු විය යුත්තේ ඉරු දින සන්ධ්‍යාවේ නොවේද කියා ''

'' ගණිත මිණිත නම් කොතෙකුත්ය , මා මෙහි පවසන්නේ සාධාරණ , අසාධාරණ බවය "
''මා හට තනි තීරණයක් ගත නොහැක්ක , මගේ සගයන්ටද මේ පුවත් දනවා , බස් කතිකා කොට අවසන තොපට පිළිතුරු එවන්නෙම් '' කියා රුවනාක් සගයන් සොයා පිට වී ගියේය ..

සගයන් අතොරට පැමිණි රුවනාක් නායක තෙම ,සිදු වන්නට යන ඇබැද්දිය සවිස්තරව කියන කල්හි සියල්ලන්ගේම මුව විවරව, දෑස් පුළුල්ව  බිරාන්ත වුවෝය .. ගුරු මෑණියන්ගෙන් උරණ බස් අසන්නට වේ යැයි පීඩිත වුවෝය ..

පුරුෂ අංශයේ මහත් බල උසුලන , චල පියදස්සනී , තඹරිනි, බුත්සරනී යන ත්‍රිත්වය එක හඬින් මහත් සේ ප්‍රකෝපව මෙසේ කීහ

''අහෝ එසේ නම් ඔවුන් ගේ සූදානම ප්‍රයෝග කොට , අපහට ,රෝගීන් වැසි වසින මෙම සති අන්ත වැඩ මුරයේ ඉරු දින සිට  දින දෙකක්ම ගුරු මෑණිය  ලබා දෙන්නටය ''
''එය නම් මහත් අසීරුය , කෙසේ හෝ මෙය වළහා ශනි දින සන්ද්‍යාවේ හෝ අඟහරු දිනට ස්ථාන මාරුව යොදා ගත යුතුය ''

''එසේය එසේය '' අපිද තොප හා එකඟ වන්නෙමු '' ,
රුවනාක් , කෝණ චින්තන , අය බණ්ඩාර තොප තිදෙනා අප කණ්ඩායමේ පුරුෂ රත්න නොවන්නේද ??
තොප වහා ගොස් අනන්ජය පත්තු ඇතුළු කණ්ඩායමට මෙය දනවා සුදුස්ස ඉටු කොට ගත යුතුය ..''

නිතරම එක්වම ඇගෑලී  සිටින කුමරන්තිනී , හා දීලාමනි කීවෝය ..

''එසේය ,, යමක් කොට මෙය සාධාරණ තත්ත්වයකට ගෙන ආ යුතුය '',
''එසේ නම් යමවු සගයිනි '' කියා රුවනාක් , අය බණ්ඩාර , හා කෝණ චින්තන හා එක්ව පිටත් වුහ ..

මේ අතරේ රුවනාක්ගේ මසක නායකත්ව ධුර කාලය අවසන්ව ,, නායක තත්වයට උසස් වන බුත්සරණිය .. තම අති ජාත මිතුරියන් වන චල පියදස්සනි , හා තඹරිනි සමග දැන් දැන් කුමක් වේදැයි සසල බස් තෙපලන්නට වුනි ....

ඉතිරිය මතුවට .....

Tuesday, November 12, 2013

නැට්ටුවෝ

වෙස්තට්ටුව අපූරුවට රිදී පාට                   දිලිසෙනවා
හැඩ දමාපු බෝපත් කොළ බෙර සද්දෙට සෙලවෙනවා
රතුත් සුදුත් රියන් හයක් බඳ වට කැරකී              යනවා
උඩරට අපේ නැට්ටුවාගේ මාලක්කම         කැරකෙනවා

ඒ කලේ රජවරුන්ට සෙත් පතන්න නැටුම්    කළා
රජුට පමණි අන්හට නැත වස් වදීවි බියෙන්    බලා
රජුට ඉහල සිරි දළදා හිමි යන මඟ එකලු       කළා
පෙරහැර යන පාර දෙපස ජන හදවත රිද්ම    කළා

චෝගම් චෝගම් ලස්සන පාට පාට             බඹරේ
නගර දනවු හැමතැනකම කැරකෙනවා      බඹරේ
අනේ අපොයි නැට්ටුවෝද වාගේම ඒ         බඹරේ
කැරකෙනවා කැරකෙනවා නවතින් නෑ     බඹරේ

ජන සමුළුවේ   නැට්ටුවෝ
තරුණයන්ට   නැට්ටුවෝ
හැමතැනකම   නැට්ටුවෝ
පැකර්ටත්       නැට්ටුවෝ

අහෝ ඛේදයකි .. ඉරකි තිතකි .....!

Monday, November 11, 2013

සුභ උපන්දිනයක් පුංචි අයියාට

අද මගේ ආදරණීය පුංචි අයියගේ උපන් දිනේ .. ඉතින් මාත් එක්ක මම උපන් දා ඉදන්ම සහෝදරයෙකුටත් වඩා හොදම යාලුවෙක් වගේ පුංචි අයියා මගේ ළඟ ඉන්නේ .

පොඩිම කාලේ අපි සෙල්ලම් කලේ එකට .. මට තනි කාමරයක් ලැබෙනකන්ම හිටියෙත් එකම කාමරේ ..එක වසරේ ඉදන් (මට කවර දාගන්න පුළුවන් වෙනකන් )මගේ පොත් වලට ලස්සන කවර දාලා ස්ටිකර් අලවලා නම් ලියලා දුන්නෙත් පුංචි අයියා , ඒ විතරක්ද අත්වැඩ හදල දෙන්න .. ඇගයීම් වලට  දෙන පොත් වල පිට කවර හදල දෙන්න පුංචි  අයියා නම්ම ගන්න මට තිබ්බේ ''අනේ සුදු පුංචි අයියනේ '' කියලා ආදරෙන් කියන්න විතරයි ..මුලින් ටිකක් ''බෑ බෑ ඔයා තනියම කරගන්න ඔයාගේ වැඩ ''කියලා අදි මදි කරලා අන්තිමට මම'' අනේ අනේ'' කියනකොට  ''හා හා ගේනවා ඉතින් ''කියලා ඔක්කොම කරලා දෙන්නේ  පුංචි අයියා මට හරිම  ආදරෙන් ..

පුංචි අයියට මගේ ආදරේ වැඩි උනාම ''පුංචා '' වෙනවා .. පුංචි අයියගේ ආදරේ වැඩි උනාම මම ''බබා'' වෙනවා , තව ආදරේ වැඩි වුනොත් කලාතුරකින් ''පැට්ටෝ ''  වෙනවා ..තරහ ගිහාම ''නෙලුම් , ඕයි '' වෙන්නත් ඒ විදිහටම තමා .. එහෙම තරහ යන්නේ ඉතින් මම එයාගේ computer එක ඇද්දොත් හරි එයාගේ pen drives  ගත්තොත් හරි තමා ..ඒත් ඉතින් එයා ''ආය ඇද්දොත් ඉතින් දන්නවනේ password දැම්මා chapter close  '' කියනවා .. මාත් ඉතින් ''අනේ නෑ ආය අදින්නේ නෑ sorry ''කියනවා .. එත් අපි දෙන්නම දන්නවා ඒක වෙන්නත් නෑ password දාන්නෙත් නෑ කියලා ..

මම පාවිච්චි කරපු phone 4ම අරන් දුන්නෙත් පුංචි අයියා .. ඒ ඔක්කොටොම හිලව් වෙන්න ලොකු අයියා ලැප් එකක්  අරගන්න සල්ලි දුන්නම , කොළඹ ඉදන් ලැප් එක ගෙනාවෙත් පුංචි අයියා .ගණන් කරන්න බැරි තරම් ඇදුම් .. සෙරෙප්පු .. උපන්දිනේට teddy  bears. and  cards .තව කොච්චර දේද ..

එකට ඉදන් ෆිල්ම් බලන්නෙත් , සින්දු අහන්නෙත් , games ගහන්නෙත් අපි දෙන්නා .(මේ ගොඩක් වෙලාවට ලොකු අයියාද සිටි , කතාවට දෙන්නා යැයි ලීවෙමි .. ලොකුද ආදරයෙන් මතක් කරමි ) මේ හැම විනෝදයක්ම එක්ක ගෙදර වැඩ කරන්නෙත් අපි .. ආදරෙන් , හිනාවෙන් , කතාවෙන්

පුංචි අයියා ළඟ රස  කතා ගොඩයි .. හිනාව නම් නැති වෙන්නේ නෑ ඒ  කතා වලට .. මම විතරක් නෙවෙයි අම්මාත් හරිම කැදරයි පුංචි අයියා හීන් සීරුවේ කියන මේ විහිලු අහන්න .. අපි ඔක්කොම ඉතින් එකටම හිනා වෙලා සතුටු වෙනවා ..එතකොට එයා අම්මගේ ඇඟේ එලෙනවා  පූසෙක් වගේ ..  අම්මගේ හුරතලා පුංචා

හරි දැන් ඇති ...වැඩිය කතා කියවන්නේ නැති පුංචි අයියා නම් කියන්නේ අදහස් ප්‍රකාශ කරන්න එක වචනයක් හොදටෝම ඇති කියලා ,, පච ගොඩක් ඕනේ නෑ කියලා ..

මම ඉතින් ලියන්න ආස නිසා මෙහෙම ටිකක් දිගට ලිව්වා , පුංචි අයියා කියන දේ කෙසේ වෙතත්
..ඉතින් දැන් සුභ පතන වෙලාව ..
මගේ ආදරණීය පුංචි අයියාට සුභම සුභ උපන්දිනයක් .. ඔබට සදා ජය ..

සොයුරු දම් නම් අරුම        බැම්මකි
කහ වනින් වත් මැන  නොහැක්කකි
පුංචි අයියා නුඹත්                අහසකි
මා දිවියේ ලද  මහත්          ධනයකි




කාලය ගත වුනත් එකම බැම්මෙන් බැදී සදා ......













දොරේ ගලන සොයුරු පෙමින් ...

ජීවක පදට්ඨ කතා 11

හිරන්‍ය ගයාවර්ණි ජීවක ගුරු මෑණිය යටතේ වූ දෙමස් පුහුණු කාලයෙන් , මසක් ගත වන්නට ආසක්ත වන ඇසිල්ලේ , ගුරු මෑණියට අනු වූ ඒ කුළුණු බර ජීවක ගුරු පියා , පුරුෂ අංශයේ රෝගීන් විචාරන්නට යෙදෙන්නා  වූ එක්තරා පැහැබර දිනක , සිතේ බිය සංකා නැතුවා වූ ජීවක සිසුන් , තම තමාට වෙන් වූ රෝගීන් විචරන්නා වූ අතොර මොහොතක විරාමයක් ලැබ ,එකිනෙකා හා එක්ව බිගු ගොමුවක් සියුම් නද දෙන්නා හා සේම ආගිය කතා කතිකා කරන්නට වුහ .

සිසුන් අතොර නිතර ආගිය කතාවේ දක්ස අය බණ්ඩාර තෙම දෙතොල් මතුරා කතා අරඹා සිටියේය ..

''යහළු තොප දන්නේද පෙර දින ස්ත්‍රී අංශයේ රෝගී විචාරන කල්හි අපේ බටුවන්දරට සිදුව ඇති කෙලියක් ??''

''අහ් කිමෙක්ද කිමෙක්ද ?? අපි නොදන්නෙමු , වහා වහා කියා සිටුව ''.  අය බණ්ඩාර තෙමගේ බසින් ප්‍රමුදිත වන සෙසු ජීවක සිසු කැල මහත් කුහුල් දනවා , දෑස් දල්වා අසා සිටිත් .

''කෙලිය නම් මෙසේය ..'' සෙසු ජීවක සිසු බන්දුන්ගේ ප්‍රමුදිත බසින් තවත් ප්‍රමුදිතව අය බණ්ඩාර කතාවට පිරුම් ගනියි ..

''අපගේ ගුරු මෑණි තොමෝ රෝගීන් විචාරන අතරක .. සුපුරුදු ලෙසින්ම , එක්‌ හර්ද රෝගියෙකු පිළිබඳ තතු විමසා තිබෙනවා .. එකී රෝගියා භාරව සිට තිබෙන්නේ බටුවන්දරටයි '' අය බණ්ඩාරගේ දෑස සිහින්ව බර වන ඇසිල්ලේ

''ඉතින්  ඉතින් '' සිසු බන්ධුන් හු මිටි තබත්

''ඉතින් ගුරු මෑණි තොමෝ එම රෝගියාට ලබා දෙන ඖෂධ වට්ටෝරුව මතකයෙන් කියා සිටින ලෙසට බටු වන්දරට අණ කොට තිබෙනවා ''

''ඔහු ඉතින් එතරම් දිගු වට්ටෝරුව නිවැරදිව කියා සිටියාද  ?? ''කුහුලින්  මඩනා ලද , ඖෂධ පසළොසක් තරම් වූ එම වට්ටෝරුව සිහි ගන්වා ගන්නා සිසුන් විපිළිසර වෙත් .

''ඔහු එම වට්ටෝරුවෙන් බොහෝ ඖෂධ පවසා සිට තිබෙනවා .. එනමුත් අතර මඟදී යම් යම් ඖෂධ නම් මඟ ඇරී  ඇති වගයි ආරංචිය ..''

''අහෝ අහෝ එසේද .. ඉතින්  '' අතොරක් නැතුවම තතු දැන ගැනීමට, දුක් මුසු මුත් ,කෙළතොළු වන්නා වූ සිසුන් අසත් .

''හාහ්  හා හ්  හා හ්   ''සිසුන්ගේ දුක් මුසු මූණු දක්නා අය  බණ්ඩාර මහත් හඩින් සිනාසී මෙසේ කියන්නට විය '' තොප කෙලිය දන්නේ නම් මෙසේ දුක් බස් නොකියනු ඇති ''
''අපේ බටුවන්දර තමාට අමතකව ගිය ඖෂධ ඒ අසල බැංකුව මත පෙරලා තිබු ඇඳ ඉහපතෙන් හොරැහින් වහ වහා බලාගෙන , තම මතකයෙන් මෙන් කියවා තිබෙනවා '' ගුරු මෑණියත්  එය නොදැක්කා හා සේම අසා සිට තිබෙනවා '' හාහ් හාහ් හාහ් හඃ ''

''අහ්  මෙය නම් සබැවක්ද ?? හාහ් හාහ් හාහ් '' සිසු පිරිසද දසන් පාමින් සිනා සි සිටියහ ..
''අපුරුයි එසේ නම් ඔහු යහතින් බේරී ගොස් තිබෙනවා ''  එක් සිසුවෙක් කියා සිටිත්ම ..

''එසේ ඔහු යහතින් බේරී ගියත් .. ඉන් මත්තෙහි අසු පැනයට නම් පිළිතුරු දී නැති'' සිනා මඩන හඩින් අය බණ්ඩාර කියා සිටුයේය ..

''එසේ නම් ගුරු මෑණිය දැන ගන්නට ඇති බටුවන්දරගේ  ක්‍රියාව ''
එය නම් ඇය උරණ කරවන්නට ඇති ඒකාන්තයෙන්ම  ''තවත් සිසුවෙක් වහා කියා සිටුයේය

'ඒකාන්තයෙන්ම  ' ,, අපි කෙසේ නම් ගුරු මෑණිය ප්‍රයෝග කරන්නද??'' තවකෙකු දොඩමලු වුවේය .

''එසේය එසේය '' ''ඇය මහා නැණතිය '' සිසුහු එක්ව හඬ නැගුහ

 ''තොප සිතන දෙයක් සිදුවී නැත්තේය , ගුරු මෑණිය උරණ වීද නැත්තේය ''

''කිමෙක්ද  , ඇය උරණ වී නැතිද , එය නම් මහා පුදුමයකි ' සිසීහු මහත් විපිළිසර වී අසත් ''
''අවසානයේ ගුරු මෑණියෝ , නායක අනන්ජය පත්තු , අමතා තවත් පැනයක් අසා තිබෙනවා '' අය බණ්ඩාර කියන්නට විය ..

''එසේද ඉතින් ඉතින් , ඔහු නම් පිළිතුරු දෙන්නට ඇති ?'' සිසුහු විමසුම් දෑස දැල්වුහ ..

''ඔහුටද එම පැනයට පිළිතුරු දීමට හැකි නොවී තිබෙනවා
''එනමුත් ගුරු මෑණියෝ නම් සිනා සිසි  අනන්ජය පත්තු දෙස බලමින් .. තව තවත් වන පොත් කලයුතු බවත් පසු දින නිසි පිළිතුරු නොදෙන්නේ නම් ඉහල මහලේ සඳලු තලයේ සිට පොළොවට දමන්නා මෙන් දඩුවමක් නියම කරන බව පවසා තිබෙනවා''

''මෙය නම් මහත් අරුමයකි , පෙර දින අප හමුවේ නම් මහත් සේ ඇය උරණ බස් කීවා නොවේද ? සිසුන් කුහුලින් අසත්

''එසේය ගුරුමෑණි නම් පෙර දින අප හමුවේ වුවා වුවත් මෙදින නම්  උරණ වී නැත්තේය ,එයද  අව්ව වැස්ස ඇති විටක දේදුනු නගින්නා හා සේම මහත් අරුමයකි ..'' අය බණ්ඩාර කියත්

''මෙය නම් අපේ ස්ත්‍රී අංශයේ නායක අනන්ජය පත්තුගේ සහ පිරිසගේ මහත් බලයක් විය හැකි නොවේද ? සිසුහු කිහ .

''එසේය එයද විය හැක්කේය ,, එසේ වතුදු මගේ නම් අදහස වන්නේ ගුරු මෑණිය හා ප්‍රයෝග කිරීම නම් නුවණට හුරු නැති බවය '' තවත් මසක් ඇය හා අප පුහුණු විය යුතු නොවේද ?? '' අයෙක් කියන්නට විය

''මාසයත් කල්පයක් හා සමානය ''
නිරුදක කතරක ගමන් ගන්නා හා සේම පීඩිතය '' තවත් සිසුවෙක් මන්දෝත්සහිව කියත්

''දෙමසක් නම් පීඩිත බව සැබෑය , එසේ නමුත් එය රන් හා සමාන ඉගැන්නුම් ගත හැකි කාලයකි ''

 ''අපි තවත් සොඳ සැටි වනපොත් කරමු ''
එවිට නිරුදක කතරේ වුවත් ගැඹුරු ජල දහර මත වන්නා වූ ඊතණ පඳුරු හමු වනු ඇති , පුරුෂ අංශයේ නායක රුවනාක් තෙම  උද්යෝගී වී කියන්නට වන ඇසිල්ලේ

''එසේය එසේය ''
''අපි හොඳින් වන පොත් කරමු , මේ මසත් ගෙවුනා මෙන් , එන මසද ගෙවී යනු ඇති ''
සිසුන් සැවොම ඔහුගේ බසට එකග වුහ ..


ඉතිරිය මතුවට

ප.ලි  - බන්ධුන් - පිරිස / මිත්‍රයෝ
          කෙළතොළු -කට දෙපසින් කෙල බේරෙන


Friday, November 8, 2013

තෑගි

දන්නවද මේ මොනවද කියලා .. මේ තියෙන්නේ කටර් . පැන්සල් උල්කරන ඒවා ..මිකී මවුස් . මිනි මවුස් , ස්ලීපින් බියුටි , තව පූ බෙයාර් එහෙම ඉන්න දැක්කම ආසා හිතෙන ලස්සන පාට කටර් ..

මේවා මගේ නම් නෙමෙයි .. හැබැයි මේවා ගත්තේ මායි අම්මයි අප්පච්චියි ... අවුරුදු 38 ක්ම ළමයින්ට විද්‍යාවයි ගණිතයයි උගන්නලා , අපේ අම්මා ඊයේ පැන්ෂන් ගත්තා .. ඉතින් එහෙම යනකොට අම්මට ඕනේ උනා , අම්මගේ අන්තිම ගෝලයන්ට පොඩි මතක සටහනක් දෙන්න .. අන්න ඒකට තමා මේවා ගත්තේ

කටර් දෙන්න ඕනේ කියලා තීරණය කලෙත් අම්මා .
ඒ එයා ඉස්කෝලේ යන කලේ වෙච්චි සිද්ධියක් නිසා .
අම්මා 10 වසරේ ඉගන ගන්නකොට , එයාගේ පන්ති භාර ගුරු තුමී ගොඩාක් ආදරෙන් ඉදලා විශ්‍රාම අරන් යනකොට ළමයි හැමෝටම ලස්සන කටර් එකක් දුන්නලු . කොළ . නිල ,කහ  පාට රවුම් කටර් වුනු ඒවගේ උඩ ලස්සන කුකුලේක්ගේ රූපයක් තිබ්බලු . අඬ අඬා ළමයි ඒවා අරන් ඒ ගුරුතුමිට දණ නමල එක පොරේට වැන්දලු .. අම්මා ඒ කටර් එක අවුරුදු ගානක්ම ආදරෙන් තියාගෙන හිටියලු ඒ ආදරණීය ගුරුතුමිගේ මතකත් එක්ක ..ඉතින් එහෙම හිතල අද අම්මත් විශ්‍රාම ගන්නකොට , එදා ඒ ගුරුතුමී හිටපු තැන ඉඳල අම්මා තීරණය කළා ලස්සන පාට කටර් ටිකක් අන්තිම ගෝල බාලයන්ට ආදරෙන් දෙන්න .
දැන් ඉතින් ලෝකෙත් වෙනස් වෙලා නිසා කුකුලෝ කෙසේ වෙතත් වෙන ලස්සන රූප ගොඩක් තියන කටර්
ලේසියෙන්ම නුවරින් අපි අම්මා වෙනුවෙන්ම හොයා ගත්තා ..

කටර් එකත් එක්ක ලස්සන ඔවදනකුත් ලියල දෙන්න ඕනේ කිව්වා අම්මා ඊ ළඟට .. අම්මා එහෙම කිව්ව ගමන් මාත් ඉතින් මේ දවස් වල කවි , කතා ලියන කික් එකෙන් ඉන්න නිසා , අම්මා ලියනවා වගේ හිතාගෙන කවි කීපයක් ලිව්වා .... අම්මා ඉතින් හැමදාම මගේ කවි වලට ආස නිසා ඒවාට කැමති උනා එක පාරින්ම ..කවි කියවලා පුංචි අයියා නම් පොඩි වෙනස් කම් කීපයක් කළා .. ඔයාලත් බලන්නකෝ අපි දෙන්නගෙම කවිය .

පෙරී මතින් පෙනකැටි වන්     වලාකුළු
උදා ලහිරු කැන් පතිතව තරු        වදුලු
එළියට දෑස් ඇර දහසක් මල්      කැකුළු
යන්නේ පාසලට කරමින් මඟ      එකළු

සිනා පොකුරු විහිදා සැම         උදසනේ
ආයු බෝ වඩා නීති ආසිරි         දෙමිනේ
ඇරඹු පන්තියේ වැඩ සිත් සන්තොසිනේ
නොඅඩුව ගලා යයි හෝරා හය  මතිනේ

අරමුණ දැනුම දීමට විය  හැම         දිනක
දෑතට කුසලතාවද පුබුදුවා              නෙක
පුන් කලයක් විලසින් නොහැලෙන උදක
තැනුමට විය රැජිණක් වන්        දියණියක

ඉගනුම දිවිය ජය ගන්නට සුරැකි      මඟයි
ඒ මඟ කටු කොහොල් බාධාවන්   එමටයි
දැඩි අධිඨන සැමදා  ඉදිරිය         පෙන්වයි
මඟ කෙලවර සුවදැති කුසුමක්    නිසැකයි

ඊට පස්සේ ලස්සනට ප්‍රින්ට් කරලා කටර් එක්ක ළමයින්ට දුන්නා අම්මා ඊයේ .. එදා අම්මා වැන්දා වගේ අම්මගේ ගෝලයෝ ටිකත් අඬ අඬා වැන්දා කියලා අම්මා කිව්වා .. කොච්චර උනත් අඬන්නේ නම් නෑ කියලා මට කියලා ගිය අම්මට , ළමයි හැමෝම එකතු වෙලා හදපු ලොකු මල් මාලයක් දාලා .. අම්මා තෑගි එපා කියලා ළමයින්ට කියලා තිබ්බ නිසා එක ළමයාගෙන් එක ගානේ දාලා ලස්සනට හදපු කවි පොත් දෙකක් දෙනකොට නම් අම්මට කඳුළු නවත්ත ගන්න බැරි උනාලු .. අම්මා ඒ කවි පොත් දෙකත් ආදරෙන් අරගෙන ඔන්න ඔය විදිහට අවුරුදු 38 ගුරු සේවේ ඉවර කරලා හිතේ සතුටත් , දුකත් දෙකම අරන් ගෙදර ආවා ..

හැබැයි ඉතින් දැන් මට හොඳයි , දවල්ට අම්මා මගේ ළඟ ....

Wednesday, November 6, 2013

අම්මාට.....

පුරා වසර 38 ක් ගුරු සේවයේ රැඳී සිට , අද දින විශ්‍රාම සුවයට පිවිසෙන අම්මාට ආදරයෙනි

අඩසියවසක් වන් කාලයක්             පුරාවට
දහසකුත් තරමින් සිසු කැකුළු වට     කොට
නැණැති සිප් කිරි ගුණදමින් කැටි       කොට
නොවළහා බෙදා දුනි ගුරු පඬුරු  තුරුකොට

බැදී මිතුදම් බැම්මෙන්                     නිබඳවම
සෙසු මිතුරු ගුරුමිතුරු කැලද හා        සමඟම  
කෙලි කවට බසින් වී නිතර           දොඩමළුව
මතක සැමරුම් රැසක් රැඳී කලක්      ගෙනාවුව

පැමිණ නම් යා          යුතුය
නොපැමිණ යාද නොහැකිය
මළවුන්ගේ අවුරුදු දා පොතේ
පිටු අතර රැදුනා          නෙතේ

පිවිසුනත් අද සිට          ඉතින්
විශ්‍රාම සුවයට               ගතින්
මතකයන් ගෙන        දෝතින්
සිටිනු  සැමදා තුරුණුව සිතින්

Monday, November 4, 2013

ජීවක පදට්ඨ කතා 10

සූර්යයා අහසේ නැඟ බැස ගියේය , චන්ද්‍රයා අහසේ නැඟ බැස ගියේය .එලෙසම කාලයද ගෙවී ගියේය .වන පොත් කොට සුදානම්ව සිටියද ,බුත්සරණියට ගුරු මෑණියන් හමුවේ මොහොසම් රෝගී තෙම පිළිබඳව තතු දක්වන්නට අවස්ථාවක් නම් එළබුනේ නම් නොවේ , මන්දයත් ගුරු මෑණියෝ එම රෝගී තත්වය ජීවක සිසුන්ට නම් තරම් නොවේ යැයි සිතා මඟ හැර යාමය .එසේ හෙයින් කාලය ගෙවී යන මත්තේ බුත්සරණියද නොවළහා සැනසුම් සුසුම් හෙළපියාවුය .

පෙර දිනයක ගුරු මෑණියන්ගේ බස් අසා සිත් පුබුදුවා ගත් ජීවක සිසුහු , පමාවක් නොදක්වාම පොත පතේද , රෝගීන් විචාරීමෙහිද ඇලුනා වූ නිසාවෙන් ගුරු මෑණියන් හමුවේ මනා දස්කම් දක්වන්නට භාග්‍යවත් වුහ , ඒ දැකුම් හමුවේ ගුරු මෑණියද ප්‍රමුදිතව ,ඩෙංගු නම් උණ සන්නිපාත රෝගයට ,දශම නමයක් ලුණු ඇත්තා වූ ඒ මහාර්ඝ දියරත් ,වෙනත් දියරත් , රෝගය උත්සන්න විටක රුධිරය මඳ වී මිය යා හැකි අක්මාව රැක ගැනීම වස් රුධිරයත් ,ලබා දෙන අයුරු ද , අක්මා රෝගීන් රැක බලා ගන්නා අයුරුද ගුරු පඬුරු තබා නොගෙනම සියලු සිප්  ලබා දුන්නාය.

මෙකි යහපත් කල්ක්‍රියාවෙන් සිසුන් වසන කල්හි ,චල පියදස්සනී නම් , මොණර පිලක් වන් දිගු කෙස් කලඹක්ද, මුතු ඇට වන් දත් දෙපෙලක්ද , පෘථුල වූ නළල් තලයක්ද හෙබි වූ දුටුවන් මන බඳවන  රූ සපුවක් මෙන්ම , මහා නුවනක්ද හිමි ජීවක සිසුවියට , මුත්‍රා පහ කිරීමේ අපහසුවක්ද , බඩේ රුජාවක් මෙන්ම උණ සන්නිපතයද වැළදුණු රෝගියෙකු භාර විය .

ඉදින් දිනක් ගුරු මෑණියෝ මෙම රෝගියා විචාරන අතර , රෝගියාගේ මුත්‍රා පිළිබඳ පරීක්ෂණ පත්‍රිකාව ,දක්වන්නැයි සීමාවාසික ජීවක තැනට සැල කළාය .

එබස් අසන ඕ මෙසේ කියත්

''ගුරු මෑණියනි , මුත්‍රා පරික්ෂාවට අදාල නියැදි ලබාගෙන , මම  පෙර දිනයේ විද්‍යාගාරයට ලබා දුන්නෙමි , එනමුදු වාර්තාව මෙතකුදු  සුදානම් නැත්තේය ''

''එය නම් මහත් පමාවකි , අදාළ වාර්තා නොමැතිව ඖෂධ නියම කිරීමෙන් පලක් නැත්තේය , වහා වාර්තා ලබා ගත යුතුය .'' ගුරු මෑණියෝ කියන්නට විය .

ඉන් මත්තෙහි සිසුන් දෙසට හැරී ''මේ රෝගියා නම් කාගේද ??'' සුපුරුදු පැන විමසන්නට වුවාය .

ඉදන් ගම්‍ය වන්නේ චල පියදස්සනී හැර අන් කවුරුද , ඈ දෙස තියුණු බැලුම් හෙලන ගුරු මෑණියන් හමුවේ , ඕ සිහින් හඬින් මෙසේ කියන්නට වුවාය ,

''ගුරු මෑණියනි රෝගියා නම් මාගේය ''

''එසේ නම් මෙම රෝගියාගේ වාර්තා සුදානම් දැයි , තොප වහා ගොස් , දුර සිට ඇමතිය හැකි කථනය භාවිතා කොට , විද්‍යාගාරය අමතා , තතු සොයා වහා විත් මා හට සැල කර සිටුව යැයි කීවාය ''

''එසේය ගුරු මෑණියනි '' කියා චල පිය්දස්සනී , කථනය සොයා පා නැගුවාය ,ඒ අසල නැවතී .පෙර මෙසේ අමතා පුරුදු මඳ වුවේන් , හෙද මණ්ඩලයේද සහය ඇතිව කෙසේ හෝ විද්‍යාගාරය අමතා තතු දැන ගෙන වහා නැවතත් ගුරු මෑණිය අභිමුඛයට ඇසිල්ලකින් පිය මැන්නාය .
මෙසේ කියන්නට වුවාය

''විද්‍යාගාරය වෙත එවන් මුත්‍රා නියැදියක් , පරික්ෂාවට ලැබී නැති බැව් සැලකල සිටියේය ගුරු මෑණියනි ''

ඒ බස් අසා මවිතව , ගුරු මෑණියෝ සීමාවාසික ජීවක තෙම කෙරේද සැක මුසු බැලුම් හෙලමින් මෙසේ කීවාය .
 ''එසේ නම් යම් වැරද්දක් සිදු වී ඇත්තා සේය, එය සෙවීමට නම් කල් නැත්තේය , එසේ හෙයින් නැවතත් නියැදි ලබා ගෙන පරික්ෂාවට යැවිය යුතුය .''
''දරුව මේ රෝගියා නම් භාර තොපය , එසේ නම් තොප වහ වහා රෝගියාගෙන් මුත්‍රා නියැදියක් ලබා ගෙන , අදාල පත් ඉරු සම්පූර්ණ කරගෙන , තොප අතින්ම විද්‍යා ගාරයට ගෙනගොස්, පරික්ෂාව කරන තුරු එහිම රැඳී සිට , වාර්තා ලබාගෙන හැකි ඉක්මනින් වහා පැමිණෙව  ''

එබසට අවනතව චල පියදස්සනී , හෙද මණ්ඩලයේ සහයෙන් , මුත්‍රා නියැදි ලබා ගැනීමට බෝතල් කුප්පියක්ද සොයා ගෙන , රෝගියාද පෙරටු කොට ගෙන කැසිකිලි වෙත පා නැගුවාය ..

ඉතිරිය මතුවට .....

Sunday, November 3, 2013

මනු සත් දෙරණ

මේක මගේ කතාවක්  නොවුනත් , ලංකාවේ කොන්  වල ඉන්න අපේම අහිංසක මිනිස්සු කොටසක් වෙනුවෙන් , ජනප්‍රිය වගේම Premium Entertainment Channel  කියලා හදුන්වා ගන්නා , දෙරණ මාධ්‍ය ජාලය   විසින් කරපු අපුරු යුග මෙහෙවරක් ගැන මෙහම ලියන්නේ  මගෙනුත් වෙන්න තියන වගකීමක් පොඩියට හරි ඉටුකරන්න හිතාගෙන ..මේක කියවන කෙනෙක්  හිතාවි  ඉතින් මම දෙරණට කඩේ යනවා කියලා , එහෙම හිතුවත් කමක් නෑ, මොකද   මේක නිදහස් රටක් නිසා ඕන දෙයක් ඕන කෙනෙක්ට කියන්න පුළුවන් .. එත් ඉතින් මම මේ ඇත්තටම කඩේ යන්නේ අහිංසක මිනිස්සු කොටසක් වෙනුවෙන් බවත් එයාලට කියන්න කැමතියි .

හරි කතාව මේකයි , ඔන්න වැඩිය tv බැලුවේ නැතත් සෙනසුරාදා ,(2/11/2013) දෙරණේ අපුරු ඇඩ් එකක් මම දැක්කා . ''සියල්ලට ප්‍රථම මනුස්සකම ''කියලා පටන් ගත්ත ඒ ඇඩ් එකෙන් කිව්වේ , අපේ රටේ රජරට , කුරුණෑගල , මුලතිව් , හම්බන්තොට  වගේ ප්‍රදේශ වල සීග්‍රයෙන් පැතිරෙන වකුගඩු රෝගය පිළිබඳව ,මහා දැනුවත් කිරීමේ වැඩසටහනක් , උදෑසන 10 සිට හවස 7 දක්වා අඛණ්ඩ පැය නවයක් සජීව වැඩසටහනකින් කරනවා කියලා .. ඒක දැකපු ගමන් මට මාර පුදුම හිතුනා , ''අහ්හ්  පැය  9 ක්  , ගොඩක් වෙලානේ ''...මොන channel එකක්වත් එහෙම කරලා නෑනේ කලින් .. ඇරත් ඒක film festival එකක් වත් වෙන මොන නැටුමක් වත් නෙවෙයි  දැනුවත් කිරීමේ වැඩසටහනක් .. අපිත් ඉතින් com-med වලට කොච්චරවත් ඉගන ගන්නවනේ Health Education ගැන .. අර පහුගිය විභාගෙටත් පිටු පිරෙන්න ලිව්වෙත් ඕකනේ , ඉතින් මේක නම් බලන්න ඕනේ කියල හිතා ගත්තා .

ඔන්න ඉරිදට එලිවුනා , මාත් ඉතින් කරන්ඩ කියල වැඩක් පලක් නැති හින්දා (ගෙදර අස් කිරීම වගේ  බොහෝ වැඩ තිබ්බත් ) උදේ ඉදන්ම අතටම හම්බවෙන කෑම බීම කකා මුණු පොතෙයි , utube  එකෙයි එල්ලිලා හිටියා .. වෙලාව ගිහින් .. අම්මගේ බැනුම් අස්සෙන් නැගිටලා එද්දී 12 වෙලා . ඇවිත් ඉතුරු ටිකට tv එක දැම්මා .. අහ් අර program එක .. මට මතක් වෙලා දෙරණ දැම්මා

මෙන්න ඒක යනවා ,, සබීතා පෙරේරායි , ගීතා කුමාරසිංහයි , නිවෙදිකවකුයි , නිවේදකයෙකුයි  බරටම කතාව . ඒගොල්ලෝ රජරට වකුගඩු රෝගය ගැන එක එක අදහස් කියනවා .. ආර්සනික්  කියනවා . කිවුල් වතුර කියනවා . දුක් විදින මිනිස්සු කියනවා . පරීක්ෂණ වලට සල්ලි නෑ කියනවා .. අපේ ජාතික වගකීම කියනවා .. අපි එකතු වෙලා මුදලක් රැස් කරලා ඒ අයට උදවු කරන්න ඕනේ කියනවා .

මාත් ඉතින් toxicology වලට අනුරුද්ධි මැඩම් අපිට ගොඩක් මහන්සි වෙලා උගන්නපු නිසාත් , විභාගෙට පවා ආර්සනික් ගැන ලියපු නිසාත් , එයාල කියන දේවලුත් මගේ දැනුමත් එකතු කරමින් අහගෙන ඉන්නවා .

ඒ අතරින්ම video එකක් පෙන්නනවා , ඒ රජරට රෝගීන් කීප දෙනෙක් .. අපි ආර්සනික් poisoning  theory වලට ඉගන ගත්ත rain drop lesions කියලා හදුන්වන , දුඹුරු පාට තිත් තිත්  ඒ රෝගීන්ගේ අල්ලේ , දෙපතුල් වල මට පේනවා , දුඹුරු පාට කොන්ඩේ එකත් හරි ,, ඇස් හොඳටම සුදු වෙලා ,, ඒ අය anaemic ,Hb 8 වත්  නැතුව ඇති .. ඇඟිලි වල නියපොතු සුදුම සුදුයි ... කකුල් ඉදිමිලා .. මුණු ඉදිමිලා .. chornic renal failure ලක්ෂණ (දිගුකාලින වකුගඩු අකර්මන්‍ය තාව )..

කොච්චර අහල , කියවලා තිබ්බත් මේ විදිහට දැකල තිබ්බේ නැති නිසා මට මගේ ගැන ලැජ්ජාවකුත් එක්ක අර රෝගීන් ගැන ගොඩක් දුක හිතෙනවා . පදවි ශ්‍රී පුර එක පවුලක 5 දෙනෙක්ම රෝගයට ගොදුරු වෙලා මියගිහින් , ඉතුරු වෙලා ඉන්න 65 හැවරිදි ශීලටත් රෝගය වැළදිලා . තව සීය කෙනෙක් අමාරුවෙන් නැගිටලා තමගේ පරීක්ෂණ වලට අනුරාධපුරේට යන්න 1500 වැය වෙනවා කියනවා .කටු මැටි ගහපු ගේක ඉන්න ඒ සීයට සල්ලි ඇතිද මට හිතෙනවා ..ඊට පස්සේ අවුරුදු 22 තරුණයෙක් '' මගේ වකුගඩු දෙකම වැඩ කරන්නේ 18% '' කියනවා ..ඒවා දකින අහන මට ගොඩක් දුක හිතෙනවා . අපි ඉන්නේ කොතනද ??
කියල හිතෙනවා ..

video එකෙන් පස්සේ හැඟුම් බර හඬකින් නිවේදිකාව , ''අපේ මේ උදාර ක්‍රියාව ඔවුන් වෙනුවෙන් අරමුදලක් පිහිට වන්න කියල ..'' අපේ දෙරණ ආයතනයෙන් ලක්ෂ 10 ප්‍රදානය කරනවා  කියල ,ලක්ෂ 10
තිරයේ දිස්වෙනකොට නිහතමානිව කියනවා .,, ඒ එක්කම දෙරණ සේවකයෝ තමන්ගේ  දිනක පඩිය අරමුදලට බැර කරනවා . එතකොට ලක්ෂ 13 තිරයේ වැටෙනවා ..
නිවේදකයා ඊට පස්සේ   ඔබටත් ඔබේ මුදල් ආධාර පහත ගිණුම් අංකයට බැර කිරීමට හෝ අපේ ආයතනයට පැමිණ ලබාදෙන්න පුළුවන් කියනවා .
ඒ එක්කම සබීතා මහත්මිය ලක්ෂයකින් දායක වෙනවා ..1000/2000/10000/ 50000 ඔය වගේ මුදලුත් ඉක්මනින්ම හිත උණු වෙන මිනිසුන් අතින් , ''මේක මාටියා ගහයිද , හොර කරයිද වගේ'' සිතුවලින් තොරවම අර අහිංසක මිනිස්සු වෙනුවෙන්ම , ඔවුන්ගේ පරික්ෂණ , dialysis machines වෙනුවෙන්ම උදාර පහන් සිතුවිලි වලින් දෙවරක් නොහිතාම අරමුදලට බැර වෙනවා ..

ඊට පස්සේ මැදිරියට  එන්නේ වෛද්‍ය පාලිත බණ්ඩාර( අනුරධපුර ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යක්ෂ ස)හ පදවි ශ්‍රී පුර රෝහලේ වෛද්‍ය  චින්තක විජේවර්ධන .. ඔවුන් මෙම රෝගය පළමුවෙන්ම හඳුනා ගන්නේ 2002
වසරේදී බවත් , දැන් රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යන බවත් කියනවා .
 මීට හේතු විය හැක්කේ භූගත ජලයේ ඇති කැල්සියම් ආසනේට් බව ඔවුන් තම පරීක්ෂණ වලින් සොයාගත් බවත් කියන අතරේ , රෝගය toxic nephropathy  එකක් බවත් , මෙහිදී interstitial nephritis තත්වයක් ඇති වන බවත් පැහැදිලි කරනවා . බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙය සුව කල නොහැකි බවත් , Dialysis එහෙම නැත්තම් රුධිර කාන්දු කරණය මගින් තාවකාලිකව ප්‍රතිකාර කල හැකි බවත් සංවේදීව කියනවා .

ඒ අතරේ අරමුදලත් තර වෙනවා

ඊළඟට මේ සම්බන්ධව මුල සිටම ක්‍රියා කරපු අචාර්ය නලින්ද සිල්වා මහතා එනවා .මෙහි පැහැදිලි හේතුව ආර්සනික් බවත් , වහාම භූගත ජලය වෙනුවට වැව් වල මතු පිට ජලය බෙදා හරින ක්‍රමයක් ස්ථාපිත කල යුතු බවත් ,කෘෂි රසායනික වලින් තොර සාම්ප්‍රදයික වගා කටයුතු ලහි ලහියේ නැවත ඇති කල යුතු බවත් , බටහිර වෛද්‍ය විද්‍යාවේ නැති වුනත් සාම්ප්‍රදායික වෙද මහතුන් සතුව මෙම රෝගය සුව කිරීමේ ක්‍රම ඇති බවත් , හැම දාම වගේ සමාජයේ බටහිර ක්‍රිස්තියානි නුතනත්වයටත් එරෙහි වෙමින් අදහස් දක්වනවා .

කාලේ ගත වෙනවා , ඕෂදී හේවා මද්දුම , ටෙනිසන් කුරේ , BNS , විමුක්ති ජයසුන්දර , සංගීත් විජේසුරිය , වගේ කලා  ලෝකේ තරුත් ඇවිත් දැනුවත් කිරීමට එකතු වෙනවා , අතරින් පතර පැය කීපයක් ඇරෙන්න මාත් දිගටම වැඩසටහන බලනව.

ලක්ෂෙ / 50000 එක එක ගානින් අර මුදල තර වෙනවා ,ඒ අතරේ අත්තම්මා කෙනෙක් මුනුබුරත් එක්ක දෙරණ මැදිරි සංකීර්නේ ලඟින් අමාරුවෙන් ඇවිදන් යන ගමන් අරමුදලට සල්ලි දෙන මහා සෙනග මැද්දෙන් ඇවිත් අතේ තිබ්බ රුපියල් දහයක් දුන්න කියලත් , මෙහෙකාර සේවේ යෙදිලා ඉන්න කාන්ති මහත්මිය 13000 දුන්නා කියලත් , සිත් උණු වෙන අපේ ලංකාවේ මිනිස්සු ගැන ආඩම්බර වෙමින් නිවේදකයා කියනව .

මේ ඔක්කොම අස්සේ මේ මාසේ 17 මහවිලච්චිය රෝහලේ නොමිලේ පැවැත්වෙන සායනෙට ඇවිත් අදාළ පරීක්ෂාවන් කර ගන්න ලෙසටත් , අදාළ ජනතාවට පුන පුනා කියනවා ..කාලෙත් ගෙවිලා 7ට ලංවෙනකොට අරමුදල ලක්ෂ 43 වෙනවා .. අපේ ගෙදරිනුත් එක්තරා මුදලක් දාන්න ගෙදර අය කතා වෙනවා ..ඒ විදිහට දවස ගෙවෙනකොට ඒ අහිංසක මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන දෙරණ ගැන ආඩම්බරෙන් කතාව ලියලා මාත් සතුටු වෙන ගමන් ඔයාල හැමෝමත් ඒ අපේම ජනතාව , වෙනුවෙන් ඔයාලගේ වගකීම ඉටුකරයි , fb එකේ වල් පල් හොයන අස්සේ මේ ගැනත් කතා කරලා දැනුවත් කරයි කියලත් මම උදක්ම හිතනවා ..

හරි එහෙනම් ඉතින් ''සියල්ලට ප්‍රථම මනුස්සකම කියල '', හිතල ඔයාලත් මොනා හරි කරන්ට ඕනේ හරිද , මේ ඉන්නෙත් අපේ මිනිස්සු ......










Saturday, November 2, 2013

අභිමානයෙන් උසස් බාලිකාවක් වූවෙමි

ලස්සනට ඉර පායලා තියන ලස්සන දවසක ,අලුත් ඉස්කෝලෙට යන්න අම්මයි මමයි පිටත් වෙනවා .ඉස්කෝලෙන් එවලා තිබුණ ලිපියට අනුව මහපු ලස්සන කොලර් එකක් , ලස්සන සාක්කු දෙකක් තියන ලස්සන සුදු රැලි ගවුම ඇඳලා , කොටට කපල තියන කොණ්ඩේ පීරලා සුදු බෝ එකක් ලස්සනට ගහල , අලුත් සපත්තු ,මේස් දාලා , අලුත් සුවඳ විසිරෙන අලුත්ම පොත් , පෑන් , සහ පොත් පිරුණු අලුත් බෑග් එක උජාරුවෙන් පිටේ එල්ලගෙන , සැබෑ වෙන හීනයක පාට අතරෙන් හරිම පොඩියට අම්මගේ අතේ එල්ලිලා ගාම්භීර මහනුවර නගරේ , ඒ අභිමානවත් අලුත් ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙනවා ..

GIRLS ' HIGH SCHOOL KANDY ඊයම් පාටින් ගේට්ටුවේ වම් පැත්තේ බිත්තියේ පුවරුවක ලස්සනට ගහල තියනවා .අභිමානය , වගේම හරිම උසස් බවකුත්  රැදුණු ඒ අකුරු දැකලා  මගේ හිත සන්තෝසෙන් පිරෙනවා  ..'' මම දැන් අලුත් ඉස්කෝලේ ''.. එක එක සතුටු සිතුවිලි මගේ හිතට ගලා ගෙන එනවා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා දකුණු පැත්තේ පහල තියන Net Ball court  එකත්  , ඊට කෙලින්ම ඉස්සරහ තියන CONSTANCE MALLET  HALL  කියල  ලොකු අකුරින් ගහල තියන ලොකු ගොඩනැගිල්ලත්  බලා ගෙන අම්මයි මායි දිගටම යනවා ..

එහෙම යනකොට තව අලුත් ළමයිත් හම්බ වෙනවා .. අම්මල තාත්තලත් එක්ක ..එයාල ඔක්කොම ලොකු අරුක්කුවක් ඇතුලෙන් යනවා . අම්මත් මාත් ඒ අයටම එකතු වෙනවා .. ආරුක්කු හැඩේට නිම කරපු ඒ මාර්ගේ යනකොට බිත්ති දෙපැත්තේ ගහල තියන වීදුරු රාමු තියන විවිධ විවිධ දැන්වීම් පුවරු මට පේනවා. එක එක සංගම් වල .. එක එක දේවල් .. ළමයින්ගේ ලස්සන නිර්මාණ .. පෝස්ටර් .. මට ඔක්කොටෝම ආස හිතෙනවා ..'' කලින් ඉස්කෝලේ මෙහම නෑ .. ඔක්කොම දේවල් එකම තැනක හරි ලස්සනයි '' ඒවා බලල මම හිතනවා ..

අරුක්කුව කෙලවර ලස්සන එලිමහනක් .. ලස්සන මල් වැටක් එක්ක ඉදිවුණු දිග සිමෙන්ති බැංකු දෙකක් පාර දෙපැත්තේ .. පාරේ දකුණු පැත්තේ විසාලෙට වැඩුණු ගස් හෙවනක ඉදිවුණු හට් එකක් අස්සේ නිලුයි සුදුයි ඉරි තියන ලොකු බස් එකක් ආඩම්බරෙන් නැවතිලා ඉන්නවා .. එකේ ඉස්සරහ ඉස්කෝලේ නම ගහල තියනවා .. මට ඒකටත් ආස හිතෙනවා .. ''හරි ෂෝක් අලුත් ඉස්කෝලෙට බස් එකකුත් තියනවා '' මට හිතෙනවා වැඩිවෙන සතුට අස්සෙන් ..

තව ඉස්සරට යනකොට් අහසට විහිදුනු ලොකු ගොඩනැගිලි පාර දෙපැත්තේ , මල් වැටවල් .. බලන්න ආස හිතෙනවා .. දකුණු පැත්තේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ ශාලාවක අලුත් ළමයි භාර ගන්නවා .. සෙනග පිරිලා .. අම්මත් , මමත් සෙනගට එකතු වෙනවා ..ශාලාවේ දොර ළඟ ගුරුතුමියක් ඉස්කෝලෙන් එවපු ලිපිය අම්මගේ අතෙන් අරන් බලල එකේ සඳහන් අංකයට අනුව , එයා ළඟ තියන ලේඛනේක මගේ නම හොයනවා ..

''නෙලුම් දසනායක හරි .. ඔයා 6-B පන්තියේ .. ''
''අර කොනේ දෙවනියට තියන මේසේ ඉන්නේ ඔයාගේ මැඩම් ''
''එතනට ගිහාම ඉතුරු වැඩ කරයි ''

මාත් , අම්මත් දිහා බලාගෙන ඒ ගුරුතුමී හිනා පුරවාගෙන කියනවා

අපි ඒ මෙසේ ලඟට යනවා . අලුත් ළමයිනුත් අම්මල . තාත්තලත් දිග පෝලිමක් එතන .. ටිකක් කලබලයි .. සද්දයි ..අපිත් පෝලිමට එකතු වෙනවා ..
මගේ ළඟම ඉස්සරහ කොණ්ඩ පොකුරු දෙකක් බැඳලා ඉන්න යාලුවෙක් ඉන්නවා .. එයා මට හිනා වෙනවා. මාත් එයාට හිනා වෙනවා .. එයා ඉන්නේ අම්මගෙත් , තාත්තගෙත් මැද්දේ ..
''ඔයාගේ නම මොකද්ද ?? ''මම අහනවා
''කෝසලා '' එයා කියනවා '' ඔයා?? ''එයා මගෙන් අහනවා
''මම නෙළුම්'' ..  මම කියනවා ..
අලුත් ඉස්කෝලේ පළවෙනි යාළුවා මට හම්බවෙනවා .. මගේ සතුට වැඩි වෙනවා .
ඒ අතරේ කෝසලාගේ  අම්මයි , තාත්තයි බර කතාවක් පටන් අරන් අපේ අම්මත් එක්ක ..

මාත් කෝසලත් , ගම , හිටපු ඉස්කෝලේ වගේ දේවලුත් කතා කර ගන්නවා ..සතුටු සිනා අපි දෙන්නගෙම මුණු වල .
ඒ අතරේ තව යාලුවෙක් අපිට එකතු වෙනවා .
කොණ්ඩේ කොටට කපල ඉන්න එයා මට වඩා ටිකක් උසයි ..
අපි දෙන්නම එයාට හිනා වෙලා කතා කරනවා ..
එයාගේ නම ප්‍රබෝදිනි  කියල කියනව ..ඔහොම මට තවත් යාලුවෙක් හම්බ වෙනවා ..

ටිකෙන් ටික පෝලිම ඉස්සරහට ගිහින් .. මෙසේ ළඟ කොණ්ඩේ කොටට කපපු මැඩම් කෙනෙක් හිනා වෙලා මගේ දිහා බලනවා ..
ඇතුලත් වීමේ ගාස්තු ගෙවන්න කොළ කීපයක් අම්මට දෙන ගමන් එයා මෙහම කියනවා
''මේ list එකේ තියන බඩු ටික ඉස්සරහා  tunnel එකට වම් පැත්තේ තියන co -operative shop එකෙන් අරන් දෙන්න ..දැන් admission fee එක ගෙවන්න ''
කැරලි කැරලි කොට කොණ්ඩේ තියන ඒ ගුරුතුමීට මට ආස හිතෙනවා .. කලින් ඉස්කෝලේ කොට කොන්ඩේ  තියන මැඩම්ලා හිටිය නැති වග මට මතක් වෙනවා ..

අම්මා අදාළ ගෙවීම් කරනවා ..ඒ අතරේ මැඩම් කියපු list එක අරන් මම බලනවා ,
Tie , School Badge,House Badge, Hand book, ඔය වගේ දේවල් එකේ තියෙනවා . අලුත් දේවල් ගොඩක් ලැබෙන්න යන නිසා ඒක කියවන අතරේ මට තව සතුටු හිතෙනවා ..
ටික වේලාවකින්ම භාර ගැනීමේ වැඩ ඉවර වෙනවා .. අපි පෝලිමෙන් ඈත් වෙලා කෝසලත් , ප්‍රබෝදනිත් ගෙවීම් කරලා එනකන් පසෙකට වෙලා ඉන්නවා ..

හැමෝම එක්ක Co -operative shop එක හොයාගෙන යනවා .. කලින් අපි ආපු ආරුක්කු මාර්ගෙන් ආපහු එලියට ආවම දකුණු පැත්තෙන් ඒක අපිට හම්බ වෙනවා ..
ඇතුලට ගිහින් අදාළ බඩු ගන්නවා .. එකේ වැඩ කරන කොට , මහත, ටිකක් තලෙළු, තොල් සායම් ගාපු , මැදි වියේ කාන්තාවක් ලහි ලහියේ බඩු දෙනවා .
''එයා නම් සැර පාටයි '' එයාගේ මුණ බලලා ,අම්මා බඩු ගන්න අතරේ මට හිතෙනවා (පස්සේ කාලේ ඉස්කෝලේ හුරු උනාම  එයාට Co -op එකේ අක්කි / ''කෝපාවති '' කියන වෙනත් නමුත්  තියන බව අපි දැන ගත්තා )

අම්මා බඩු අරන් මගේ අතට දෙනවා ..
ලංකාවේ වගේම ලෝකෙන්ම ලස්සන ටයි එක මට ලැබෙනවා ...
ඇහැට දැක්කම ආස හිතෙන හරි සෞම්‍ය පාට හතරක ඉරි පිරිච්චි ටයි එකක් ..
තද නිල් , ලා නිල් , කොළ , කහ හරි ලස්සනයි . ''ලස්සන රටාව ''මම හිතනවා .
ඒක අතට ගත්තම ලෝකෙම අභිමානය මට දැනෙනවා ..
හිත සතුටෙන් පිම්බෙනවා .අම්මා සීරුවෙන් ටයි එක මගේ කරට දාල , ගැටේ ගහල කොලර් එක හදනවා .. කරට දාගත්තම මගේ අභිමානය තව වැඩි වෙනවා ..

ටයි එක මැදින් ලස්සන School Badge එක අම්මා ගහනවා ..තණකොළ පිරුණු කොළ පාට තණ බිමක් , ඒ එක්කම නැගුනු නිල් පාට විශාල කන්දක් , ඊට පිටු පසින් රන් පාටින් බබලන ඉරත් එක්ක ලා නිල් අහස එකේ තියනවා .. ඒවත් ටයි එකේ තියන පාට . මම අඳුන ගන්නවා ..
A DEO AUXILIUM  කියල එකේ යටින් ගහලා තියනවා .. එකේ තේරුම මට නොතේරුණත් ආසාවෙන් ඒක මම කියවනවා ..

ඊට පස්සේ House Badge එක .. මම අයිති වෙලා තිබුනේ ඊට්න් (EATON ) house එකට  නිසා අහසේ ලස්සන ලා නිල් පාටින් බැබලෙන ඒ ලස්සන badge එක වම් කොලර් එකේ අම්මා ගහනවා .ඒ වෙලාවේදීම මුළු ජීවිතේටම මගේ ආසම පාට ''ලා නිල් '' කියලා මම හිතා ගන්නවා .
 කෝසලා ලස්සන කොළ පාට badge එකක් ගහගෙන එයා අයිති ලැන්ඩන්(LANGDON )  house එකට  .
ප්‍රබෝදනිට ලැබිලා තිබුනේ තද නිල් badge එකක් . එයා සැන්සම් (SANSOM )house එකේ ..කහ පාට නැත්තම් රත්තරන් පාට අනික් house එක ලෝරන්ස් (LAWRANCE ) කියල එවෙලේම අපි හොයා ගත්තා .

ලස්සන ටයි BADGE  ගහල අපි හැමෝම ලස්සනට ලෑස්ති වෙලා 6-B  පන්තියට ගියා ..පේලි පේලි ලස්සන DESK පුටු පිරිලා .. කලින් ඉස්කෝලෙට වඩා වෙනස් මේ ඩෙස්ක් වල පැත්තෙන් පොත් දාන්න පුළුවන් කොටුවකුත් තියනවා  ඒදැකලා ඒකටත් මට ආස හිතෙනව.

ටික ටික ළමයි පිරෙන ඒ ඩෙස්ක් පුටු අස්සෙන් ගිහින් , මාත් , කෝසලත් , ප්‍රබෝදනිත් වාඩි වෙනවා .. අලුත් මුණු සතුටින් පිරිලා හැම තැනම ..අම්මල , තාත්තලත්  ළමයි ළඟම  තෙරපි තෙරපි ...
ඉස්සරහ පේලියේ යුගාන්ති , දුලංජලී , පූර්ණිමා අපිත් එක්ක යාලු වෙනවා .. තව තව යාලුවෝ ගොඩක් එකතු වෙනවා .. ටික වෙලාවකින් පන්තියම පිරුණම කලබලේ වැඩි වෙනවා ..

ඒ එක්කම පන්ති භාර නන්දා බණ්ඩාර මැඩම් ඇවිත් අම්මලා , තාත්තලට එළියට ගිහින් MAIN HALL එකේ දේශනෙකට යන්න කියලා ,පරණ ඉස්කෝලේ විදිහටම ''ආයුබෝවන් ළමයි ''කියලා  හිනා පොකුරු ඉසිමින් අලුත් අපි හැමෝම  ඇගේ උණුසුම් තුරුල්ලට ගන්නවා .. අපි හැමෝමත් පමාවක් නැතුවම  ලෝකයෙන්ම උසස් , ඒ උසස් බාලිකා මව් තුරුල්ලට , අභිමානයත් , සතුටත් හිතේ පුරවගෙන , ''ආයුබෝවන් මැඩම් ''කියලා තුරුළු වෙනවා ....

















Friday, November 1, 2013

අලුත් ඉස්කෝලේට යමු

1999 අවුරුද්දේ මම හිටියේ පහ වසරේ .ළමයින්ගේ වගේම අම්මලාගේත් විභාගයක්  වන  ශිෂ්‍යත්ව විභාගේ ලියල බලාගෙන හිටියේ ප්‍රතිඵල එනකන් .පාස් උනොත් ඉතින් නුවර ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් නිසා හීනත් ගොඩයි හිතේ .

ඔන්න එකතරා දිනේක ප්‍රතිඵල ආවා . ඒකාලේ ඉතින් Internet එකේ ප්‍රතිඵල දන්නේ නෑනේ ..ඉස්කෝලෙදි ආණ්ඩුවෙන් එවන ප්‍රතිඵල ලේඛනෙන් තමා ලකුණු බලා ගන්නේ .එහෙම ඉතින් ලකුණු බලාගන්න පන්තියේ හිටපු ළමා ලපටි අපි හැමෝම හිතේ ගැස්මකුත් එක්ක  මඟ බලාගෙන හිටියේ  හරි නොඉවසිල්ලෙන්  . ටික වේලාවකින්ම අපේ පන්තිභාර සීතා කුමාරි මැඩම් ප්‍රතිඵල ලේඛනෙත් අතේ තියාගෙන  හිනා පොකුරු ගොඩක් අරන් පන්තියට ආවා ...

අනු පිළිවෙලට මැඩම් ප්‍රතිඵල කියෙව්වා , පාස් ළමයි , ෆේල් ළමයි හැමෝම ඒ අතරේ .. හිනා මුණු , දුක් මුහුණු පන්තිය පිරිලා ... වැඩිම ලකුණු 175 නිශානිට .. දෙවැනියට වැඩිම 169 හර්ෂනිට .. තුන්වැනියට වැඩිම 162 මට ..158.. 154...ඔය වගේ ලකුණුත් ගොඩයි ... අවම සමත් වීමේ ලකුණ වුනේ 133 වගේ මගේ මතකේ හැටියට ...අපි හැමෝටම සීතා මැඩම් උණුසුම් සිතින් සුභ පැතුවා ..ෆේල් ළමයින්ට දුක් නොවී තව හිතට ධෛර්‍යය අරගෙන මහන්සි වෙලා  ඉගනගන්න ඕනේ කියල කිව්වා..
අපේ සතුටත්, ස්තුතියත් වචනෙන් කියන්න බැරි නිසා  අපි හැමෝම මැඩම්ට දණ ගහල වැන්දා .. ඒවගේම අනික් පන්ති වල මැඩම්ලත් හොයාගෙන ගිහින් වැන්දා . ඒ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵල අපි ....

මම පාස් කියල කියන්න, තුන් වෙනියටම වැඩි මට කියන්න  ,අම්මා හිනා වෙන හැටි මව මවා සතුටු සිතින් ගෙදර ආවා ...162 මම ගෙදර ඇවිත් කියද්දීත් අම්මයි ,අප්පච්චියි ලකුණු දන්නවා .. ඒ දෙන්නා ඉස්කෝලෙට කෝල් කරලා අහගෙන .බලන්නකෝ අම්මලාගේ හදිසිය ...අම්මා නම් කිව්වේ ඒක හරිම සාධාරණ ලකුණක් කියල .. මොකද මම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලුව සම්පූර්ණයෙන්ම වරද්දලා තිබ්බ නිසා 160 ගානක් එයි කියලා සතර පත්තරේ උත්තර බලල අම්මා කලින්ම හදාගෙන හිටියේ ..
 ඒ ගානේ තිබ්බනේ භුමි තෙල් 650ml  ක මිල හොයන්න .. මට ඒක හදාගන්න විභාගේ වෙලාවේ මොන නුවණක් වත් පහල උනේ නැති උනත් ගෙදර ඇවිත් පස්සේ සතර පත්තරෙන් බලනකොට උත්තරේ දිලිසි දිලිසි ඇස් ඉස්සරහ ..දැන් ලියන විභාග වලදී උනත් ,විභාගේ මුළු පැය තුනේම කොච්චර මතක් කලත් මතක් වෙන්නේ නැති උත්තර විභාග ශාලාවෙන් බැහැල එලියට යනකොටම මතක් වෙන්නේ  මොන ග්‍රහ බලපැමෙන්ද  කියන එක මට මාර ප්‍රශ්නයක් ...අරුම පුදුම දේවල් ...

දැන් ඉතින් අලුත් ඉස්කෝලෙට යන්න ඉල්ලුම් පත්තර දාන කලේ .. කලින් අවුරුද්දේ ලකුණු අනුව පුරවලා ඉස්කෝලෙට භාර දෙන්න ඕනේ .. මගේ මාමගේ දුවලා දෙන්නා ශිෂ්‍යත්වෙන් සමත් වෙලා ගියේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට .. ඉතින් මටත් පොඩි හීනයක් තිබ්බා ඒකට යන්න ..නමුත් 162 ලකුණු නම් ඒකට මදි වේවි කියලා අම්මා කිව්වා ..හැබැයි High School එකට යන්න නම් ලකුණු ගාන හොදටම ඇති කියල අම්මා සතුටු උනා ..

ඉතින් ඔය විදිහට ඉල්ලුම් පත්‍ර දාල අලුත් ඉස්කෝල වලට ගන්න කඩඉම් ලකුණු එනකන් බලාගෙන හිටියා .. එතකොට හය වසර පලවෙනි වාරේ පටන් අරන් මම තාමත් ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ..එක්තරා සෙනසුරාදා දවසක කඩඉම් ලකුණු පිට උනා ..කඩඉම් ලකුණු දාන්නේ පත්තරේ .. ඉතින් ආරංචිය ලැබුන ගමන්ම අපේ ලොකු අයිය රුං ගාල බයිසිකලෙන් ටවුන් එකට ගියා පත්තරේ ගේන්න ..

මමත් අම්මත් ,පුංචි අයියත් (අප්පචිට වැඩකට ගිහින් )මඟ බලමින් හිටියා ලොකු පත්තරේ ගේනකන් .. මගේ හිත ගැහෙනවා ..
 ''අම්මේ මට High School යන්න පුළුවන් වෙයි නේද '' අම්මගේ අතේ එල්ලිලා මම අහනවා .. ඔව් ඔව් බලමුකෝ දැන් අයියා එයිනේ ''අම්මා කියනවා .. ඒත් ඒ උත්තරේ මට මදි
ඉතින් මම පුංචි අයියගේ ඇඟේ එල්ලෙනවා ''පුංචි අයියා මට නුවර යන්න පුළුවන් නේද '' මම අහනවා
''ඔව් පැට්ටෝ . අපි බලමු ''එයා කියනවා
ඔය අතරේ ගිය වේගෙන්ම බයිසිකලේ පැදගෙන ලොකු අයියා පාරෙන් මතු උනා ..
වේගෙන් ඇවිත් ක්රාස් ගාල වීරයා වගේ බ්රේක් කරලා බයිසිකලේ නවත්තලා .. බයිසිකලේ උඩ ඉදගෙනම හති අරින ගමන්ම මෙහෙම කිව්වා
''අම්මේ හරි මෙයාට දැන් ඉතින් ගම්පොලම තමා යන්න වෙන්නේ .. 162 ට මොකටවත් යන්න බෑ ''
''බොරු නේද ලොකු පුතේ .. පුෂ්පදානේටවත් බැරිද ??'' අම්මත් ඇස් ලොකු කරලා අහනගමන් ලොකු අයියා ලඟට කිට්ටු උනා ( මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය )
 ''අයියෝ මම මොකටද බොරු කියන්නේ ??මේ බලන්න ''කියල ලගට ගිය අම්මට එය පත්තරේ  පෙන්නුවා  ..ඒ දෙන්නා උස නිසා මට ලකුණු පෙන්නේ නෑ
පුංචි අයියත් බයිසිකලේට අඩියක් තියල පත්තරේට එබිලා ලකුණු බලා ගත්තා ..
''අනේ දැන් මොකද කරන්නේ ?? ''අම්මගේ මුණ වෙනස් ..
''ඔව් ඔව් ගම්පොල තමා දිගටම'' පුංචි අයියත් කියනවා ..එයාගේ මුණත් බර වෙලා

''අනේ බොරු'' මම කෑගහනව  ..ඇත්තද දන්නෙත් නෑ හිත යටින් මට හිතෙනවා , අම්මයි ,පුංචි අයියයි දෙන්නම කියන්නේ නැනේ .. ලොකු අයියා කිව්වත් ,
මට දුක හිතිලා මුණ ඇඹුල් වෙනවා
''ඇත්තද ලොකු අයියා ??''මම දුකෙන් අහනවා
ලොකු හිනාවක් මූණට අරන් එයා කියනවා
''නෑ නෑ යන්තම් දෙයියෝ බලලා තියෙන්නේ ''
''නුලෙන් හුචස් බාලිකාවට (උසස් බාලිකා යන්න  හුචස් ලෙස කියන ලදී ) යන්න පුළුවන් ''
මේ කියල පත්තරේ මට දෙනවා
මහනුවර උසස් බාලිකා විදුහල -161 ලස්සන අකුරින් ලියවිලා මගේ ඇස් ඉස්සරහ
''අම්මේ එක ලකුණෙන් මම බේරිලා .. මට නුවර යන්න පුළුවන් '' මම පත්තරේ  අරන් කෑගැහුවා ..
''හරි මම High School '' අයෙත් කිව්වා ..
සතුටින් හිත පිම්බිලා .. අම්මගේ , පුංචි අයියගේ මුණු වලත් හිනා පොකුරු ..

අනේ එතකොටම මට ගම්පොල බාලිකාව මතක් වෙනවා , අවුරුදු පහක ලස්සන මතක .අනේ මගේ යාලුවෝ ,, අයියෝ එයාලව දාල යන්න වෙන්නේ , නිශානි , හර්ෂනී , මැඩෝනා එහෙම නම් මාත් එක්ක යයි ඒත් අනිත් අය , එයාලව ආයෙත් හම්බ වෙන්නේ නැති වෙයි .. සතුට මැදින් මට දුක හිතෙනවා .

එත් මොනවා කරන්නද , යන්නම වෙනවනේ .. ආයෙත් එයාල හම්බ වෙයි ..අපි බලමු ..මම එහෙමත් හිතනවා .....
හරි දුකත් සතුටත් මැදින්ම දැන් ඉතින් යමු අලුත් ඉස්කෝලෙට ... හීන මවපු  නුවර ලොකු ඉස්කෝලෙට ..මම එහෙම හිතුවා ....








ප.ලි  පසු කලෙක මගේ මව ගම්පොල බාලිකා විද්‍යාලයට මාරුවක් ලබා ගෙන පැමිණියායින් පසුව බලිකාවේම රැඳුනු මගේ මිතුරියන්ගේ ගුරුතුමිය වුවාය . ඉන් මගේ මිතුරියන්ට  ,දුර සිටියත් බොහොම සමීප වන්නට මට ඉඩ ලැබුණි . ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර පවා බලමින්  කෙටි ප්‍රශ්න ආදිය නිවැරදි කොට ,ළඟම යාළුවන්ට ලකුණක් දෙකක් වැඩි කර දෙන්නටද මට හැකි වුනි ..අදට වුව මගේ මව හමුවීමට පැමිණ ඔවුහු  මගේ ගැනත් විපරම් කරති .. යාළුකම් නම්  වටින්නේ  මෙතෙක් යැයි  කාට කිව හැකිද ??  




Thursday, October 31, 2013

ජීවක පදට්ඨ කතා 9

පෙර දින ගුරු මෑණියගේ මහත් වූ සිත් තැවුල්ද සිහියේ තබා ගෙන සිසුහු මහත් වූ ඉගනීමෙහි ඇලුණු සිතින්  බරිතව , පසු දින රෝගීන් විචාරීම ඇරඹුහ . එහිදී ''මොහොසම් ''' නම් වූ සිංහල ජාතික නොවන රෝගියෙකු ඇතුලත්ව සිටිනු සිසුහු  දක්නා ලදහ .හෙතම නම් මධ්‍යතන තාරුණ්‍යයේ පසු වන්නා වු ,මානව වැඩුන ආරෝහ පරිනාහයෙන්ද  , එළලු පැහැ දේහයෙන්ද  යුතු වුවෙ කි  .

කුඩා කල සිට මනසේ සමබරතාව බිදෙන රෝගියකින් පෙළෙන්නා ලද වූ මෙම රෝගී  තෙම මෙවර රෝගී ආශ්‍රමයට පැමිණ ඇත්තේ , එකී රෝගයට ලබා ගන්නා ඖෂධ කල්ක දිගු කාලීනව භාවිතා කිරීමෙන් ඇති වන සංකූලතා රෝගයක් හේතුවෙනි .එකී සංකූලතාවට යටත් වූ රෝගී තෙම සිහි මඳ  ගතියකින්ද ,විටින් විට නන් දොඩන ගතියකින් මෙන්ම ,දරදඩු හැසිරීම් දක්වන ගතියකින්ද පෙළුණේය .

රෝගියාගේ පවුලේ වුයේ  ඔහුත් , ඔහුගේ මෑණියනුත් පමණකි . එසේ හෙයින්  , මොහොසම් රෝගී තෙමට උවැටන් කරනු පිණිස , පුරුෂ අවතේව කරුවකු සොයා ගන්නට එම මෑණියන්ට නොහැකිවිණි  . එසේ වතදු කෙතරම් වැඩි උස් මහත් වුවත් ඔත්පලව සිටින රෝගී පුතු තනි නොකිරීමට ඉටා ගෙන , දාරක ප්‍රේමයෙන් බරිතව එම මෑණි තොමෝ , තම පුතු අසල සිට උවැටන් කිරීමට , රෝගී ආශ්‍රමයේ නීති වලින් පරිබාහිර වී විශේෂ අවසරයක් ලබා දෙන මෙන් ,පුතුගේ රෝගී තත්වය පහදා දෙමින් හිරන්‍ය ගයාවර්ණි ජීවක තුමියගෙන් අයැද සිටියාය .

ජීවක තුමිය මෙවන් රෝගීන් හමුවේ උණුවන සිත් ඇත්තී බැවින් , එම මෑණියගේ බස් අසා  සිද්ධිය වටහා ගෙන මහත් කුළුණෙන් යුතුව වහ වහා අවසර ලබා දුන්නාය . එම මෑණි තොමෝද ලද අවසරයෙන් මහත් සේ ප්‍රමෝදව ජීවක තුමිය කෙරේ අපමණ තුති දෙමින් ,පුතුට උවැටන්  කරනු පිණිස, පුරුෂ  රෝගී අංශයේ සැත්තාවක් පමණ වූ රෝගීන්ද ඒ හාම සමාන  අවතේව කරුවන්ද ,අතරම චකිතයෙන් තොරව රදුනාය .

ස්ත්‍රියක් වුවේන්  , පහසුකම් මද වුවද ,එවන් දේ මත්තෙහි කිසිදු තැකීමක් නොකරම , පුතුට මනා කොට රස අහර ලබා දෙමින්ද , නහවා , සෝදා පිරිසිඳු කරමින්ද , විටක හිස කෙස් පවා පීරමින්ද මහත් වූ සෙනේහයෙන් යුතුව පුතු අසලම, දිවා රෑ, තෙහෙට්ටු කාන්සි කිසිත් නොතකමින්ම රැදුනාය .එම දසුන් නෙත් මානයේ රැදෙන්නෙකුට නම් ''මවකගේ අප්‍රමාණ දරු සෙනෙහස නම් මෙය නොවන්නේදැයි ''මවක් නම් කෙතරම් ශ්‍රේෂ්ඨ වන්නේදැයි ''නිතැතෙන්ම සිතෙනු ඒකාන්තය .

එසේ වතුදු මහත් ලෙස රෝගාතුරව සිටින මහොසම් පුතු නම් මවගේ අපමණ කැප කිරීම හමුවේ වුවත් සිහි මද ගතියෙන්ම නිසොල්මනේ , දෙනෙත් මහත් කොට විදා ගෙන වැතිර සිටියේය . මවගේ අපමණ සෙනෙහෙබර වදන් හමුවේ පුතුගේ මුව ගොළු විය .  අත පය සෙලවීම මෙන්ම හුස්ම ගැනීමද  මොහොසම් තෙමට අසීරු කටයුතු වුවේය  එය දුටු කෙනෙකුගේ නෙතඟ කදුලක් නම් නිතැතින්ම නැගෙනු ඇත්තේය .

අනු අංක පිළිවෙලින් ගත් කල මෙම රෝගියා භාර වුයේ කණ්ඩායමේ බෝ පැළයක් වන් වූද ඉතා ඉක්මනින්ම ලජ්ජාශීලී වන්නා වුද  බුත්සරණි ජීවක සිසුවියටය .ඇය මොහොසම් රෝගී තෙමගේ තත්වයත් , එකී මවගේ තත්ත්වයත් මනා කොට අවබෝධ කරගෙන , ඉතාමත් හිත මිතුරුව අදාළ තතු විස්තර අසා දැනගෙන , තරමක් අසීරු වුවත් රෝගියාද මනා කොට පරික්ෂා කලාය .පසු දිනක ජීවක ගුරු මෑණි තොමෝ නම් මෙම රෝගියා පිළිබඳව නම් ඒකාන්තයෙන්ම විමසනු ඇතැයි සිතා අදාළ පොත පතද වන පොත් කලාය .

ඉතිරිය මතුවට

ප.ලි - Patient had Neuroleptic malignant syndrome.



Tuesday, October 29, 2013

ඇට මැස්සා (The Gadfly ) මගේ ඇසින් ..

වසර ගණනාවක් පුලමින්ද , මහත් අසාවෙන්ද ඇටමැස්සා පොත කියවීමෙහි වස් මම බලා සිටියෙමි .කාලය ගෙවී ගොස් අවසන එම පොත  කියවන්නට මා හට ඉඩ ප්‍රස්ථාව ලැබුනේ මීට දිනකට පෙරය ..පොත අතට ගත් සැනින් මහත් කෑදර කමින් , පොතේ පිටු පස වන හදුන්වා දීම් කෙටි වැකි පෙළත් ,මුල් පිටුවල වන කතෘ ගේ සටහන් පෙළත් කියෙව්වෙමි .

ඇට මැස්සා වූ කලි ඊ එල් . වොයිනික් නම් අයිරිෂ් ජාතික ලේඛිකාව අතින් 1895දී ලියවුනු කෘතියකි .එය ශ්‍රී ලාංකික පාඨකයින් වෙත පිදෙන්නේ , සුගතපාල  ද සිල්වා මහතාගේ අසහාය පරිවර්තනයක් ලෙසිනි .

ඇට මැස්සා තුල ගැබ්ව ඇත්තේ , එක් කලකදී එක්සත් ඉතාලියක් වෙනුවන් යෞවන ඉතාලි සංගමය ගෙනයන විමුක්ති සටනත් , තවත් කලක එම සංවිධානයම අතු රිකිලි ලා වැඩි අරමුණු සහ ඉලක්ක වලට නවතාවයක් දෙමින් රටේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක්ව ,ජේසු නිකායිකයින්ට එරෙහිව ගෙනයන සටනත්ය.
සරල අදහසින් පොත පිළිබඳව එසේ හදුන්වා දිය හැකි වුවත් පොතේ පිටු අතර ගැඹුරෙන්ම දිව යන්නේ , සදාතනික වන මනහර ප්‍රේම කතාවක් ,පියෙකුගේ සහ පුතෙකුගේ වන දැඩි බැදීමක් ,හා කණ්ඩායම් සාමාජිකයන් අතර වන අව්‍යාජ බැදීමක්  යන මේ සියල්ලය .එසේම පොත පුරාම දේව සංකල්පය මහත්සේ හෙළ දකිමින් අදේව ධර්මය ඉස්මතු කරන බවද දැකිය හැක .

පොතේ බස් වහර මන බඳින සුළුය , සරල නොවන මුත් එතරම් සංකීර්ණද නොවෙන එය පොතේ තේමාවට මනාව ගැලපේ .කතාව කියවගෙන යාම වෙහෙසකර නොකරයි .කියවා අවසන් කරන තෙක් පොත බිම තැබීමටද  ඉඩ නොදේ .

කතාව ආරම්භ වන්නේ ආතර් නම් 19 හැවරිදි කොලු ගැටයෙකු හා මොන්ටිනෙල්ලි නම් බිෂොප් වරයකු අතර සංවාදයකිනි .කොලු ගැටයාගේ ඉගනීම් කටයුතු , පවුලේ ඇති නොයෙක් ප්‍රශ්න ආදිය පිලිබඳ බිෂොප් වරයා පැය ගණනාවක්ම කතා කර සිටි . ඒ අතරම ඔහු කටයුතු කරන රහස් සංවිධානය පිලිබඳ තතු දැන ගෙන පුන පුනා පරිස්සම් වන්නැයි කොලු ගැටයාගෙන් අයැද සිටි .
කාලය ගෙවී යයි .කුඩා කල සිටම දැන සිටි මුත් තුරුණු වියට පත් වීමත් සමග බැදීම් දුරස් වී තිබු ජෙම්මා නම් ආතර් ගේ කුඩා කල මිතුරිය ,ඔහුට සංගමය හරහා නැවත මුණ ගැසේ ..ඔවුන්ගේ නිහඬ ප්‍රේමය සංවිධානයේ කටයුතු සමඟ නිරායාසයෙන්ම දළු ලා වැඩේ .

ශාන්තව තිබු සියල්ල උඩු යටි කුරු වන්නේ ආතර් හිර බාරයට පත් වීමෙනි .සිරබත් වූ කාලයේදී මහා පාවා දීමක් කල බවට ආතර් පිලිබඳ කට කතා පැතිරෙන්නේ කණ්ඩායම් නායක බොල්ලා සිර බාරයට ගැනීමත් , ආතර් නිදහස් වීමත් සමගය . නිදහස ලබා පැමිණෙන ආතර්ට පෙරමග හමුවන්නේ ,ලෝකයම අවිස්වාස කලත් , තමාව විස්වාස කරන අචල පෙම්වතියක්ද  නැති නම් ඔවුන් සේම වියරු ඇතුල් පහර දෙන බොලද පෙම්වතියක්ද ?? කතාව ගලා ගෙන යයි ... එදිනම ඔහුට දැන ගන්නට ලැබෙන්නේ තමා හද පතුලෙන්ම ගරු කරන මොන්ටිනෙල්ලි බිෂොප් තුමා වෙනුවෙන් තව දුරටත් දණ නමා පිදිය යුතු බවද , නැති නම් පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් නොවටින බවද ??? කතාව ගලාගෙන යයි ..

සියල්ල හමුවේ ආතර් තෝරා ගන්නේ ජීවිතයෙන් පලා ගොස් නව ආරම්භයක් ලබා ගැනීමටය ..
සිය දිවි හානි කරගත් බවට ඒත්තු ගන්වා ඔහු රටින් පලා ගොස් , වසර දහතුනකට පසුව ඇටමැස්සා ලෙසින් යලි ඉපිද තම මුල් රැඳුනු දේශයටම පැමිණ නිමා නොකළ යුතුකම් දේශය වෙනුවන් ඉටු කිරීම අරඹයි .

ඇට මැස්සා විරුපීය , කුදය , නොන්ඩිය .කලක් තමා ළඟම රැදී උන් අතරම රැඳුනත් ඔවුනට මේ සිටින්නේ අපේම ආතර් නොවේද කියා  හදුනා නොගන්නට තරම් වසර දහතුනක දිගු කාලය මහත් වෙනස් කම් රැසක් ආතර්ට ගෙන දී ඇත . කතාව ගලා ගෙන යයි ....

ජෙම්මා, ඇටමැස්සා නම් මේ තමාගේ අහිමි වූ ප්‍රේමවන්තයාමදැයි දැන ගැනීමට ඉඩ සොයයි .. මොන්ටිනෙල්ලි කාදිනල් කෙනෙකුව ජන ප්‍රසාදය දිනා සිටියත් ඇටමැස්සා තුලින් ආතර් දකී ...ඇටමැස්සා නම් දගින් දිගටම ඉතාලිය වෙනුවෙන් සටන් කරයි . ප්‍රේමය ඔහුට නොපෙනේ .....කතාව ගලා ගෙන යයි ....

සියල්ල අවසන ජෙම්මාට පිළිතුර ලැබෙන්නේ ලිපියකිනි

''ආදරණීය ජිම් '' ඔහු ඈ අමතයි ... ජෙම්මා මහත් සේ හඬා වැටේ ...
ඔහු මෙසේද කියයි ''මා හැම විටම ඔබ හමුවේ බුම්මා ගත් මුර්ගයෙකු ලෙස හැසිරුනේ මන්ද , පරණ කෝන්තර අමතක කරීමට සුනංගු වුයේ මන්ද ,යනු ඔයා දැන සිටියාය ..
එම වදන් ලිවීමෙන් මා ලබන සන්තෝෂය පිණිස එය ලියමි ..
ඉස්තරම් ලොවිච්චි සහිත කොට ගවුම් කොටයකින් සැරසී කොණ්ඩා කරලක් ගොතා පුංචි කැත කෙල්ලක්ව සිටි අවධියේත් මම ඔයාට ආදරය කලෙමි ..තවමත් මම ආදරය කරමි ...''
අවසාන මෙසේද ලියයි
 එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක් මි ....

එනමුදු පිළිතුරු ලිපිය ලියන්නට ජෙම්මා පමා වී ඇත ඔහු බොහෝ දුර ගොසිනි ...

අවසන කාදිනල් තුමාද තම දැඩි දේව භක්තිය මෑත් කර ආතර් සොයා පැමිණෙයි ...

ඔහුද පමා වී ඇත , ඇටමැස්සා බොහෝ දුර ඉගිලී යන්නටම ගොසිනි ..












Sunday, October 27, 2013

ජීවක පදට්ඨ කතා 8

එය නම් තෙවැනි දිනය විය . රෑ වැඩ මුරයට පසු දින විය . රෝගී ඇඳන් පිරී ඉතිරී යන දිනය මෙන්ම ගුරු මෑණිය ,පුරුෂ අංශයේ රෝගීන් විචාරන දිනයද විය . ඉදින් පුරුෂ අංශයේ රෝගීන් විචාරන , ජීවක සිසුහු  වහ වහා සූදානම් වීමට පෙර දිනයන්හි සේම පිනිබර උදසනෙන්ම රෝගී ආශ්‍රමය වෙත ආහ .

සිව් වැනි රෝගී ඇඳෙහි , අතිශය රෝගී බවක් දක්වමින් වැතිර සිටින්නේ , තුරුණු වූද , රුධිර  කැටිගැසීම පමාවන රෝගයකින් පෙළෙන්නා වුද රෝගියෙකි ..සිහි මඳ කමක් දක්වන රෝගියා දෙස බැලු බැල්මට  සැක උපදවන්නේ හිස් කබල අභ්‍යන්තරයේ වූ රුධිර වහනයක් පිළිබඳවය .  මෙම රෝගියා භාරව ඇත්තේ
අයබණ්ඩාර නම් ජීවක සිසුවෙකුටය .

අයබණ්ඩාර වූ කලි ,ගුරු මෑණියගෙන් දොස් පරොස් ඇසීමට වේයැයි මහත් සේ බිය වන්නා වුද , තම රෝගීන් පිළිබඳව මනා කොට පොත පතින් හදාරන්නා වුද ,අදාළ උපදෙස් ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් මෙන්ම පේරලන්ද නම් ජීවක පාඨශාලාවේ තම මිතුරන්ගෙන් පවා අසන්නා වුද මනා කොට වන පොත් කරන අයෙකි . ඉදන් හෙතම මේ රෝගියා සම්බන්ධවද මනා කොට හදාරා ගුරු මෑණිය පැමිණෙන තුරු සූදානම්ව සිටියේය .

ගුරු මෑණිය පැමිණෙත් , සුදුසු ජීවකර්ම කරමින් රෝග ශාලා වට යත් .. පැමිණ නතර වන්නී රුධිර  කැටි ගැසීම පමාවන රෝගයකින් පෙළෙන ඉහත කී රෝගී ඇඳ අසලය . සුපුරුදු ලෙසම ''මේ රෝගියා නම් කාගේදැයි ''අසන්නී , මදකුදු පමා නොවී සිසුන් අතරින් ගම්‍ය වන්නේ අය බණ්ඩාර තෙමය .

ගුරු මෑණිය නා නා විධ පැන විමසන්නී , අය බණ්ඩාර තෙමද පෙර වන පොත් කල නුවණින් එම සෑම පැනයටම පිළිතුරු දෙත් ..පිළිතරු වලින් සෑහෙනගුරු මෑණිය , අවසන  කිරණ වර්ගයක් යවා , හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් වේදැයි පරික්ෂා කිරීමෙහි වස් ලබාගත් කිරණ සටහන් පත අය බණ්ඩාර තෙම වෙත දක්වා එය විස්තර කරන්නට නියම කරත් .
 සටහන විස්තර කිරීමට නම් වන පොත් කල නුවණ නම් සෙත් නොදෙන්නේම නිසාවෙන් මදක් ගොළු වන සිසුවා දෙස බලා සිනා පාමින් ගුරු මෑණිය කියන්නී
''දරුවා තොප මෙයද මනා කොට හදාරා පසුව මට තතු දක්වව '' ,මත්තෙහි  ඉදිරියට පා  තබන්නීය.

එසේ පා තබන ගුරු මෑණිය මධු මේහයෙන්ද , මූත්‍රා පිට කිරීමට අපහසුවෙන්ද පෙළෙන්නා වූ රෝගියෙක් අසල නැවතී ''මේ රෝගියා නම් කාගේදැයි'' අසත් , සිසුන් අතරින් ඉදිරියට පැමිණෙන්නේ , සිරුරෙන් ඉතා හුරුබුහුටි වන , එනමුදු මහත් සේ නැණැති වන දීලාමනි නම් ජීවක සිසුවියකි .

''ගුරු මෑණිය රෝගියා නම් මාගේය'' ඕ සිහින් හඬින් කියත්ම  ,
දරුව මෙම රෝගියා මධු මේහයෙන් පෙළෙන්නේ නොවේද?
 අද උදැසන රුධිර පරික්ෂාවට , අනුව මොහුගේ රුධිර සීනි මට්ටම කෙතෙක් වේද ?? ගුරු මෑණිය අසන්නීය

හිසේ සිට දෙපතුල තෙක් කෙතරම් පරික්ෂා කලද , දීලමනිය අතින් රුධිර සීනි මට්ටම කෙතෙක් වේදැයි සටහන් තබා ගැනීමට මඟ ඇරී තිබුණි , ඒ මතින් පැන හමුවේ ඕ මහත් සේ තැති ගෙන . නිරුත්තරව , සියොළඟ ප්‍රලය වන්නට වූවාය  ..

නිහඬව සිටින සිසුවිය හමුවේ ගුරු මෑණිය අසන්නී ,
''දරුව තොප අදාළ පරීක්ෂණ පත්‍රිකා පරික්ෂා කලේද ??'' කියාය .
''සමා වනු මැන ගුරු මෑණියනි , එය පරික්ෂා කිරීමට  මට නොහැකි වුනි , මහත්සේ බිය පත්ව ආයාචනා ස්වරයෙන් දීලාමනිය කියන්නට විය  .

එය අසා තරමක් කිපෙන ගුරු මෑණියෝ  ''දරුව මධුමේහ රෝගීන් සම්බන්ධව වඩාත් වැදගත් වන්නේ රුධිර සීනි මට්ටම නොවේද ??
කෙසේද තොප එවැන්නක් මඟ අරින්නේ ?? ආදී උරණ බස් පවසත් , එබස් අසන දීලාමනිය , සියොළඟ ප්‍රලය වන්නා සේම මහත් වූ බියටද පත් වෙත් ,,
''අහෝ අසරණ අපගේ දීලාමනි '' යැයි මිතුරු ජීවක සිසුන්ද තැවෙත් ..

''එසේ නම් දරුව ,මෙම රෝගියාගේ හස්තයේ වන , ඖෂධ ලබාදීම සඳහා යොදා ඇති මෙම කටුව , හස්තය මත යෙදූ දිනය වහා මට කියා සිටුවා යැයි '' උරණ ස්වරයෙන්ම ගුරු මෑණියෝ අසත් ,,

එයද කෙසේ වත් නොදන්නා දීලාමනිය තව තවත් ප්‍රලය  වත් .

නිහඬ සිසුවිය කෙරේ තවත් උරණව ,

''දරුවා තොප නම් රෝගියා පරික්ෂා කොට නැත්තා හා සමානය .. තොප රෝගීන් පිළිබඳව සියලු තතු දත යුතුය , එසේ නොවන කල්හි රෝගී ජීවිත නම් අනතුරේම හෙලන්නේ වෙයි යැයි පවසා ..''

''එසේ නම් දරුවා මෙම රෝගියාගේ අධෝ මාර්ග අංගුලි පරික්ෂාවෙන් තොප ගම්‍ය කොට ගත් තතු දැන් දැන් වහා කියා සිටුව ''

එවන් පරීක්ෂාවක් නොකළ දීලාමනි ,මහත්සේ සමාව අයදිමින් තමා එම පරික්ෂාව නොකළ බව ගුරු මෑණියට කියන කල්හි , වඩ වඩාත් කිපෙන ගුරු මෑණිය කියන්නී

''දරුව සමා විය යුත්තේ මට නොව තොපටමය ''
මේ සා මසුරන් ඉගැන්නුම් ලැබිය හැකි අවස්ථා තොප විසින්ම වළහා ගනිත් .
''මෙහි අගය තොප නොදනිත් ''
''දැන් තොප වෙනුවෙන් මේ පරික්ෂාව කළ යුත්තේ මාද ?? යැයි වඩා උරණ බස් ගුරු මෑණි පවසත්ම , දීලාමනියද , සෙසු සිසුන්ද කිසිවක් නොකියාම , මුහුණු සඟවාගෙනම සිටිත් ..
''තොප වෙනුවෙන් කා දැමීමට මට කාලය නැත්තේය ''
''දැන් වහ වහා ගොස් අවැසි දේ රැගෙන විත් අධෝ මාර්ග අංගුලි පරික්ෂාව කරව ''
මින් මතු මේ සා වැරදි කල හොත් ඉගැන්නුම් ගැනීමට මෙහි නොසිට වහා තොප පිටවව් ''
කියා මේඝ ගර්ජනා මෙන් බස් කියා ගුරු මෑණිය පිටව ගියාය .

බිරාන්ත වූ සිසු පෙළ දෑස්  අදහා ගැනීමට නොහැකිව බලා සිටිත් ...දීලමනියද දිගින් දිගටම ප්‍රලය වෙත්

ඉතිරිය මතුවට ....



Saturday, October 26, 2013

පුංචි ලෝකාන්තයට ....

ඔන්න අපේ කට්ටිය විභාගේ ඉවර උන සන්තෝසෙට trip එකක් යන්න සූදානම් වෙනවා .... results එන්න කලින් යන්නත් ඕනේ කියල හැමෝම කිව්වා .. ඉතින් කාගේ කාගේත් ඉල්ලීම් උඩ හැමදාම වගේ අපේ ටානියා trip එක  organize කරන්න භාර ගත්තා .

මුලින්ම කලේ ඉතින් තැනක් හොයා ගැනීම .කිතුල්ගල , හන්තානේ , Reverstern , මීමුරේ , එක එක තැන්  (ඇත්තටම සතියක් තිස්සේ තැන් හොයල හොයල  , අන්තිමට trip එකට කලින් දවසේ තමා හරියටම යන තැන හොයා ගත්තේ  - මුලින් හිතුවේ වත් නැති Nuckles සහ පුංචි ලෝකාන්තයට-- :D  )

කොහොම හරි හොඳ AC කරපු බස් එකකුත් හොයාගෙන කට්ටියම RESULTS එන්න කලින් දවසේ , ''හෙට fail උනත් කමක් නෑ අද jolly කරලා'' කියල Trip එක යන්න යොදා ගත්තා .., ගම්පහ යාළුවොයි , නුවර යාළුවොයි 25 දෙනෙක් විතර එකතු උනා ..මේ වෙනකොට mobitel , dialogue , airtell අරවා මේවා company කාරයෝ සෑහෙන්ට හම්බ කරගෙන හිටියේ , මොකද ඉතින් අපේ කට්ටිය එකතු කරගන්න හරි ලෙසිනේ :D

ඔන්න trip එක දවස

හැමදාම වගේ ගම්පහ ඉඳල අපේ  යාළුවෝ 5.30 කෝච්චියෙන් පේරාදෙණියට අවා , නුවර යාළුවෝ වන අපි , ගම්පහ යාළුවොන්ට දවල්ට කෑමත් අරගෙන පේරාදෙණියටම  අවා ..

9ට හැමෝම බස් එකේ , ගම්පහ ඉඳල කෝච්චියේ හිටගෙන ආවත් ගම්පහ යාළුවොන්ට මහන්සි නෑලු .. වැස්ස වහින්න වගේ තිබ්බත් හිතේ බයකුත් නෑලු ..... , යාළුකමයි , හිතේ සන්තෝසයයි ඒ ඔක්කෝටෝම වඩා වටින නිසා , එහෙම වෙන්න ඇති කියල මම හිතුවා ..

ඉතින් සින්දු කිය කිය trip එක යන්න පටන් ගත්තා ..සින්දු කණ්ඩායම් දෙකයි . එකක්  trip එකේ සංවිධායක තුමියගේ ශාස්ත්‍රීය ගීත කණ්ඩායම , අනික් එක අපි වගේ උච්ච'' ස'' කියන්න බැරි කට්ටියගේ ''සුරංගනී සුරංගනී '' වගේ ගීත කියන කණ්ඩායම ..තරගෙට සින්දු කියනවා ඉතින් .. ඔන්න එතකොටම අපේ සින්දු වල ලස්සනටද මන්දා වැස්ස වළාහක දෙයියෝ වැසි දිය හලන්න පටන් ගන්නවා .. ,
 ''අයියෝ වහිනවා'' .. අපේ කට්ටියගේ මූණු ඇඹුල් වෙනවා ..
'' තෙමුනත් කමක් නෑ කොහොමහරි යමු ''කියල කට්ටියම TEAM SPIRIT එක අරගෙන  සින්දු කියන අස්සෙන්ම කතා වෙනවා

ඔහොම ඉතින් ඇවිත් පැය දෙකකින් විතර අපි පුංචි ලෝකාන්තයේ ඇතුල්වීමේ දොර ළඟ ...වැස්ස ටිකක් අඩු වෙලා .. එත් අහස කලුයි ..
තොප්පි ,ජර්සි , සපත්තු දාල බෝනික්කෝ වගේ කට්ටියම ලෑස්ති වෙලා ,,,ලුණු , සිද්ධාලේප . DETOL එහෙම ගාලා කූඩලු  Precautions ගන්නවා .. වැස්සට කූඩැල්ලෝ හැමතැනම ...

ඔන්න කට්ටිය ticket ගන්න ලෑස්තිය ..
''මාර වැඩේ ''

එදා  වැස්ස නිසා ticket counter එක වහල ..

''අද මේක වහලද බන් ''
අපේ පුරුෂ පාර්ශවය කතා වෙනවා .
''අඩේ දැන් මොකද කරන්නේ ''දිගටම කතාව .
පුරුෂ පාර්ශවයේ කතාව ඇහිලා ,අපි ස්ත්‍රී පාර්ශවයත් එතෙන්ට එනවා ...
''අද වහලද counter එක ''අපි අහනවා ..

''නෑ නෑ එහෙම නෙවයි ,අද මේක කට්ටියටම නොමිලේ'' අපි හොඳ දවසක ඇවිත් තියෙන්නේ
 , මරු මරු'' කියලා පුදුමය හංගගෙන අපේ ඉස්සරහ අපිට කියනවා ..
 එත් කව්රුත් පේන්න නැති නිසා අපේ පුරුෂ පාර්ශවයේ පඬි වදන් වලට අහු නොවීම ..
''යන්න බැරිද අපිත් අහනවා ''
''නෑ නෑ  කව්රු හරි ඇති .. ඉන්න අපි  බලන්නම්
ඉතින් පුරුෂ පාර්ශවය අපේ ඉස්සරහ  ලජ්ජා වෙන්න බැරි නිසා   , පුරුෂ ධෛර්‍යය අරගෙන  එහෙට මෙහෙට දුවනවා ..
කොහොම හරි කරලා , ticket counter එකේ කට්ටිය හොයාගෙන විනාඩි 10 කින් විතර අපේ වීර පුරුෂයෝ ටික එනවා  ..ticket counter එකේ කට්ටිය වැස්ස නිසා සෙනග එන්නේ නැතිවෙයි කියල quarters එකට ගිහින්  ..

ඔන්න නොමිලේ කෙසේ වෙතත් රු 30 ගානේ ticket අරන් ,කට්ටිය ඇතුල් වෙනවා ..
වැස්ස පායලා ..
පයිනස් කැලේ මැදින් . ලඳු කැලෑ මැදින් , වැව් අද්දරින් කට්ටිය ගමනේ ..
අතර මඟදී කූඩලු ප්‍රහාර වලට ලක්වුනත්, හූ තියලා කැගහුවත් , ඒවගෙන් පසු බට වෙන්නේ නැතුව .වැස්ස පායලා තියෙන වෙලාවේ ඉක්මන් ගමනින් කඳු මුදුනට යන්න කට්ටිය අඩිය ඉක්මන් කළා ..

''සෝ '', සද්දෙට පයිනස් කැලේ මැද මහා සුළඟ  ... ටිකක් බිය ජනක අමුතු සුන්දරත්වයක් ඒ සුළගේ තියනවා ..හරියට දැනෙන්නේ මහා වැස්සක් අත ළඟ වගේ ..

පාන්දර වැස්සට තෙත් උන ගස් කොලන් වලින් වතුර බින්දු බේරෙනවා ,,, ඒවා අපේ ඇඟටත් වැටිලා අපි තෙත් වෙනවා ..දිගටම අපි යනවා ..

පැය දෙකකින් විතර අපි කඳු මුදුනට එනවා ...

මීදුම් නැතුව ලස්සනට පුංචි ලෝකන්තේ අපේ ඇස් ඉස්සරහ ... ඈතට ඈතට විහිදුනු කඳු ... කොළම කොළ පාටින් ගස් වලින් වැහිලා ...
ඈත ගලන මහවැලි ගඟ .. රිදී පාටින් දිලිසෙනවා ..
පහල ගෙවල් , ගොඩ නැගිලි ගිනි පෙට්ටි වගේ ....

මෙහෙම ලස්සන බලනකොට එක පාරටම මහා හුළඟක් එනවා ... මීදුමෙන් පහල දර්ශනය වැහෙනවා .. වැසි පොද  වැටෙනවා .. කට්ටිය කුඩ ඉහළගෙන ලෑස්ති වෙනවා .. ඒ පමාවෙන් හුළඟත් වැස්සත් මීදුමත් ඈතට ගිහින් අයෙත් පහළ දර්ශනේ පේනවා ..

හරි ලස්සනයි . හරිම ලස්සනයි .. හැමෝම එක සද්දෙට එකම සද්දෙට ...

කදු වැටි වල , පහළ නිම්න වල ලස්සන බලල , trip එකක අනිවාර්ය අංගයට හැමෝම සුදානම් වෙනවා ..

PHOTO SHOOT එක ..

මතක සටහන් විදිහට තියාගන්න , මූණු පොතේ හැමෝටම පෙන්න දාන්න , Profile pictures ,එකී මෙකි සැම දේටම :D
S 4, S 3, S 2, TIPO , X Peria .. හොඳ  හොඳ phone වලින් හැමෝම වැඩ පටන් අරන් ..
හිටගෙන . ඉඳගෙන ... අත් අල්ලාගෙන , බදාගෙන .. අන්තිමට අහසට පැනලත් photo ගන්නවා ..
කාලේ ගෙවෙනවා .පහලට බහින වෙලාව ...

ඔහොම ඉතින් ලස්සන මතක රැසකුත් අරගෙන , සතුටු සිතින් .. හෙට අපි සියල්ලෝම හර්න් දෙවියන් රකීවා කියලා , හැමෝටම හොඳ ප්‍රතිඵල ලැබෙන්න ඉල්ලමින් තවත් එක trip එකක් ලස්සනට ඉවර කරනවා ....

ප .ලි -trip එකක් ගැන බන්දු සමරසිංහ මහත්මයා ගයන ගීතයක් , අපි කියපු සින්දු ගැන අහල ලොකු අයියා මට පෙන්නුවා ,, බලන්නකෝ කට්ටිය මේ link එකෙන් ..

ටින් බෙලෙක්ක ටක්ක සද්ද හඬවලා
කබල්ම බස් එකක් සොයා
කොල්ලෝ ට්‍රිප් එකක් ගියා ....
ටින් බෙලෙක්ක




Friday, October 25, 2013

ජීවක පදට්ඨ කතා 7

දිනයට නියමිත දේශන අවසන්ව , වහා වහා නේවාසිකාගාර වෙත සිසුන් පියමන් කරන්නෝ ,කෙටි නිද්‍රවක් ලබා ගෙන , මත්තෙහි නැවත සූදානම්ව සැන්දෑ සතෙහි කණිසම වත්ම  රෑ වැඩ මුරය සඳහා නැවත රෝගී ආශ්‍රමය වෙත පැමිණීමටය .

ඉදින් සිසුහු හෝරාවක පමණ කෙටි නිද්‍රවක් ලබාගෙන අවදිව , ලහි ලහියේ ස්නාන ආදී කටයුතු කොට , නේවාසිකාගාර භෝජනාගාරයෙන් හෝ , අහර සපයන නැන්දණියලාගෙන් හෝ රසමසවුළු ලබා ගෙන වහ වහා අනුභව කොට ,සැන්දෑ අඳුර පැතිරෙත්ම , ජීවක සිසුවියන් නම් පාද චාරිකවෙන්ද , ජීවක සිසුන් නම් දෙසක් දඩු මොණර වලින්ද , රෝගී ආශ්‍රමය කරා යොදුන් තුනක් පමණ ගෙවා පැමිණෙත් ..

සිසුන් අදාළ තන්හි පැමිණ සූදානම්ව , රෑ ජාමයේ රෝග උත්සන්නව , රෝගී ආශ්‍රමයට කලබලයෙන්ම පැමිණි එකී මෙකි රෝගීන් විචාරන්නට වූහ.. ඇතුලත් කිරීම ලැබෙන තුරු දස , පසලොස් දෙනෙකු පමණ රෝගීන් ආශ්‍රම ශාලාවේ කෙලවර දිගැති බංකු මත අසහනයෙන්ම රැඳී සිටින්නටද  වුහ ..

හිස රුජාවට ලබාදෙන සුදු පැහැ කල්ක පෙති විෂ වන තෙක්ම පානය කල රෝගීන්ද , මැසී තෙල් , වල් මරණ තෙල් ආදී නොයෙක් විෂ පානය කල රෝගීන්ද , සුරාවේ මහත් සේ ගැලීමෙන් අක්මාව කුණු වන තරමට පත්වූ රෝගීන්ද , ඩෙංගු නම් උණ සන්නිපාතය වැළදුනු රෝගීන්ද මෙසේ පැමිණි රෝගීන් අතර මහත් සේ විය . හදවත් රෝගීන්ද , අංශ භාග රෝගීන්ද මේ අතර හමු නොවුයේද නොවේ ...

සිසුහු ලහි ලහියේ වෙද  නලාගෙන , දනිස් මිටි ගෙන පොත පතින්ද කියවමින් රෝගීන් විචාරන්නට වුහ , රෝගීහුද  ප්‍රසන්න මුහුණු දක්වා  තම රෝග විස්තර කීමට මැලි  නොවෙමින් ''ඉගන ගන්නා සිසුන් නොවේද '' ආදිය සිතමින් මහත් සහයක් සිසුන්ට ලබා දුන්හ ..

මෙසේ සිසුහු  රෝගීන් විචාරන අතර තුර එකිනෙකා මුණගැසී කතිකා කරන්නෝ , තමාට භාර වූ රෝගී සංඛ්‍යාවද , ඉන් විචාරූ රෝගී සංඛ්‍යාවද , නාම ලේඛනයේ දක්වා තිබුනා වුවත් ආශ්‍රමය තුල අතුරුදන්ව ඇති ආදී තතු පිලිබඳවය ...

හොරා සතරක් පමණ ගතව යයි ..

රෝගී විචාරිමද අවසානයට ලං වෙයි . තෙහෙට්ටුව හා මහන්සියෙන් පිඩාවට පත්වන සිසුන් , තම සටහන් සම්පූර්ණ කරනු වස් රෝගී ශාලාවේ ඉදිරියේම ඇති තරමක් විශාල වන හෙද මණ්ඩලය භාවිතා කරන මේසය අසලට තාවකාලිකව රැස් වෙත් ..

අයෙක් පත් ඉරු මත මනාකොට සටහන් තබත් , තවකෙක් දිනයේ දේශන පිලිබඳ තම අදහස් දක්වත් , ඉන් මත්තෙහි සියල්ලෝම ළඟ ළඟම ඉදිරියේ වන විභාගය මතක්ව තැති ගනිත් .. ඒ සියල්ල සමග ආගිය තොරතුරුද කතිකා කරත් ,,, පාඨශාලාවේ සිසුන් අතර  රිකිලි ලන මඟුල් තුලා , ගුරු වරුන්ගේ ක්‍රියාවන්  ... අසහාය රජුගේ ක්‍රියාවන් ....මෙන්ම  බෝල සෙල්ලමෙන් රට ලබූ ජය .....

රාත්‍රිය ගත වෙයි , එකොලොස පසුව හෝරා භාගයක්ද ගත වෙයි , දැන් දැන් සිසුන් නින්දේ , නොනින්දේ මෙන් පසු වෙයි ,,, නායක තෙමට ''අපිට දැන් යා නොහැකිද ??'' ආදී ලෙසින් ඇවටිලි කරයි ..

''අපි සියල්ලෝ රාත්‍රී දොලොස කණිසම තෙක්ම රැදී සිටිය යුත්තේ වෙමු ..''
අප වේලාසන පිටත් වූ බව ගුරු මෑණිය දැන ගතහොත් ඈ උරණ වනු නොවනුමානය ''
ඉදින් තව වෙලාවක් රැදී සිටිමු ''
ආදී ලෙසින් නායක තෙම නුවණැති බස් කියන්නට විය .

නායක තෙමගේ බසින් දිරි ගෙන සිසුන්ද කෙසේ හෝ දොළොස කණිසම තෙක්ම රැදී සිට,  ලතින් නටුමෙහිද , පීනිමෙහිද , අංගම්පොරහිද දක්ෂ වූ , නායක තෙම , පිටව යාම සඳහා අනු ජීවක ශ්‍රේණි දරන ජීවක වරයෙකුගෙන් අත්සන ලබා පැමිණි වහාම මිටින් හල කුරුල්ලන් සේ වහ වහා නේවාසිකාගාර  වෙත පිය නැගූහ ,,,

ඉතිරිය මතු දිනයේ .....













ජීවක පදට්ඨ කතා 6

සුපුරුදු ලෙසින්ම නම් ගම්  ආදිය දක්වමින් , තමා රෝගී ස්ත්‍රිය පරීකෂාවෙන්  ගම්‍ය කොටගත් තතු අර්ශමඩ් සිසුවා දක්වන කල්හි , ගුරු මෑණියෝද මනා කොට සවන් යොමා අසා සිටිත් , අතරින් පතර සිසුන්වගෙන් එකී මෙකි පැනද විමසත් ,,, එපැන හමුවේ බසෙහි මුඛරි වන්නා වූ අර්ශමඩ් සිසු තෙම නා නා විද තතු දක්වමින් ,තතු පහදමින් බියක් සැකක් නැතිවම වාචල්‍ය වෙත් ....

අර්ශම්ඩ් සිසු තෙම කරුණු දක්වා අවසාන වත්ම , රෝගී පරික්ෂාව ඉගැන්නුම් කරනු වස් , සිසුන් අමතා ගුරු මෑණිය කියන්නී ''දරුවනි තොප අතරින් කෙනෙකු ගම්‍යව ,තොප පෙර වසර වලදී උගත් අයුරින් රෝගියා පරික්ෂා කරන අයුරු දක්වව ''
තොපගේ ක්‍රමෝපයන්හි වැරද්දක් වේ නම් මම පෙන්වා දෙන්නෙමි .. පෙර උගත් දේ මුල සිටම නැවත ඉගන්වීම නම් කාලය කා දැමීමක්ම වන්නේය ''
එබස් හමුවේ මන්දෝත්සාහි වන සිසුන් දැක සිත් තැවුල් ගන්නා ගුරු මෑණිය උරණ බසින් කියන්නී
''ඉදන් වහ වහා කව්රුන් හෝ ඉදිරිපත් වව් '', මෙය තොපගේ කාලයයි , මගේ කාලය නොවේ '' කියාය ..

කෙසේ  හෝ මොහොතක් දෙකක්  නිහඩව මන්දෝත්සාහි වූ සිසුන් අතරින් ගම්‍ය වන්නේ ,කවරදාක වුවද  මෙවන් ඉදිරිපත් වීම් සඳහා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන අභය සංඛක නම් ජීවක සිසු තෙමය ..

අභය සංඛක පෙරට පැමිණ , සිරිත් පරිදි රෝගී ඇඳෙහි දක්ෂිණ දිසාවට ගමන් කොට , රෝගී ස්ත්‍රියගෙන් මනා කොට අවසර රැගෙන හිසේ සිට පාදාන්තය දක්වා පරික්ෂා කරන්නට වන්නේය , පරික්ෂා කරන අතරම තම සොයා ගැනීම්ද  කණ්ඩායමට ඇසෙන සේ කියන්නටද වන්නේය ...

''මැය ඇඳෙහි සුවසේ හාන්සිව සිටී , නමුත් රෝගී ස්වභාවයක් පෙනේ , අතින් ඇල්ලු විට උණ ගතියක් නම් නැත්තේය , ඇසෙහි රත් පැහැය නම් මඳය , ලේ මඳ කමක් දක්වයි , නමුත් ඇස් කහ පැහැ නම් නැත්තේය ආදී ලෙසින් සිසුවා කියන්නට විය ... ගුරු මෑණියද බලා සිටින්නට විය ....

සුසුවාගේ රෝගී පරික්සුම් ක්‍රමෝපයන් බලා සිටින ගුරු මෑණියෝ ,''මේසා දුරට තොපගේ වරදක් නම් නැත්තේය , දැන් උදර පරික්ෂාව කරන අයුරු දක්වව යි කියන්නීය ...''

එබසට අවනත වන අභය සංඛක සිසු තෙම ,අනෙකුත් සිසුන්ගේද සහය ඇතිව රෝගී ඇඳ වටා වට තිර ඇද ,රෝගී කතගේ සළු  සීරුවෙන් මෑත්කර පරික්ෂා කරන්නට විය .. ගුරු මෑණියද බලා සිටින්නට විය ..

සිසු තෙම උදරයේ පෙනුම සාමාන්‍ය බවද , උදරය ඇකිලී හෝ පිම්බී නැති බවද ,බාහිරව පරික්ෂා කොට බලා සැල කරමින්  ,තම දකුණත  රෝගී කතගේ උදරය මත්තෙහි තබා , ඇගේ අක්මාව ඉදිමී ඇත්දැයි , මහත් සේ රෝගී උදරය දෙසට  නැඹුරුව පිරික්සන්නට විය ..

සිසුවා මෙසේ මහත් ආයාස ගෙන පෙරට නැඹුරුව උදරය පරික්ෂා කරනු දැක , ගුරු මෑණි තොමෝ සිනාවෙන් මුව සරසාගෙන  කියන්නෝ '' දරුව තොප පිරික්සන්නේ අක්මාව ඉදිමී ඇති බව නොවේද ?? කිමද තොප මේ නැති වූ යමක් සොයන්නා සේ මෙතරම් නැඹුරු වන්නේ ??
'' සිටුව මා තොපට නිවැරදි ක්‍රමය දක්වන්නෙම් '' කියා පෙරට විත් තතු දක්වමින් නිවැරදි ක්‍රම දක්වන්නට විය ,, ඉදින් සිසුහුද මනා කොට දෑස් විහිදා සිට සියලු ක්‍රමෝපායන් ඉගැන්නුම් ගත්හ ...

එදිනද නිමා විය  ,එනමුදු සිසුනට පිටව යන්නට ගුරු මෑණිය සන් කලේ   එදිනට රෑ වැඩමුරය යෙදී තිබෙන බැව් සිසුන් හමුවේ මතක් කර දෙමිනි

රෑ  වැඩමුරය මතු දිනයේ ......

Wednesday, October 23, 2013

අත්තම්මා



ඒ 2010 ඔක්තෝම්බර් මාසේ ... මගේ විශ්ව විද්‍යාල ජීවිතේ දෙවෙනි වසර , බොහොම ගැස්සිලි පැද්දිලි ගොඩක් මැද  ගෙවුන කාලයක් වගේම මගේ ජීවිතේට ලොකු පන්නරයකුත් ගෙනාපු කාලයක් .

දියවැඩියාව , අධික රුධිර පීඩනය යන ,රෝග දෙකෙන් වසර දහයක් විතර පීඩා විදිමින් හිටපු අත්තම්මා හදිසියේම අසනීප වෙනවා . ඊට කලිනුත් කීප සැරයක්ම අසනීප වෙලා රෝහල්  ගත කරලා ,පසුව සුවය ලබාගෙන එන්නට අත්තම්මාට  ශක්තිය තිබුනත් ,2010 වෙනකොට  අවුරුදු 89ක ආයුකාලයක් ගත කරලා තිබ්බ අත්තම්මට , හදිසියේම මේ අසනීප වුනු වෙලාවේ අසනීප  එක්ක හරි හරියට ඔට්ටු වෙන්න එච්චර ශක්තියක් නම් තිබ්බේ නෑ .

අසනීප තත්වයන් තමන්ගේ බලපරාක්‍රමය පතුරුවද්දී අත්තම්මා හෙමින් හෙමින් පරාජය බාරගන්න සූදානම් වුනා .. නමුත් අපිට අත්තම්මා පරදින හැටි බලාගෙන ඉන්න පුළුවන් වුනේ නැති නිසා වහාම රෝහල් ගත කරලා අසනීප වලට එරෙහිව නැගී සිටින්න අත්තම්මට ඕනේ ශක්තිය, බලය  ලබාදෙන්න අපි හැමෝම රෑ  දවල් දෙකේම ගොඩාක් මහන්සි වුනා ..සති එකහමාරක් ගත වුනා...අන්තිමට අත්තම්මට දෙන්න පුළුවන් ශක්තියේ උපරිම සීමාවට අවා ..ඒ අනුව ඒකාලේ එම රෝහලේම සීමාවාසික පත්වීම දරපු ලොකු අයියා අදාල වෛද්‍යවරුන් එක්ක කතා කරලා ,අත්තම්මව ගෙදර එක්කරගෙන ආවා ..

ඒ වෙනකොට අත්තම්මට අපි කවුද , ඉන්නේ කොහෙද කියන්න පුළුවන්කමක් තිබ්බේ නෑ , නැගිටින්න ඇවිදින්න ,අතක් පයක් හොලවන්නවත් පුළුවන්කමක් තිබ්බේ නෑ .. අත්තම්මා හිටියේ කෝමා තත්වයක ..

අත්තම්මට අවශ්‍ය ආහාර දියරමය ලෙස නහයට දාපු බටයකින් ( Naso Gastric tube )ලබාදෙන්නත් ,Saline  වගේ දියර වර්ග ලබාදෙන්නත් , ලොකු අයියා කටයුතු කලා .. නිතරම ළඟ ඉදිමින් ඒ සියල්ල ගැන බලන්න වෛද්‍ය ශිෂ්‍යාවක් වුනු මට විශේෂ වගකීමක් ලොකු අයියා භාර දුන්නා  . මගෙත් එක්ක හරි හරියට අත්තම්මට උවැටන් කරන්න  අම්මා , නැන්දලා , ඥාති අක්කලා , නංගිලා , මල්ලිලා ඔක්කොමත් ළඟම  හිටියා

තවත් සතියක් ගතවුණා  , සති අන්තේ එළඹුනා ..සතියක් විතර නිවාඩු දාලා හිටපු මට , 80% attendance නීතියට අනුව සදුදා යන්න සිද්ධ උනා .. Physiology tute   එකකුත් එදාටම වැටිලා ..කිසිම දෙයක් පාඩම් කරලා තිබ්බේ නැති නිසා tute එක වෙලාවේ පිලතුරු දන්නේ නැතුව හිටගෙන ඉන්න වෙයිද , එලියට දායිද , වගේ නොයෙකුත් දේවලුත් මගේ ඔලුව අස්සේ බියකරු හීන වගේ කැරකෙන්න පටන් ගත්තා ..

සදුදට එලි වුනා .. පාන්දර 4ට  බස් එකට නගින්න , 3 අවදි වෙලා ලෑස්ති වෙලා කෙලින්ම ගියේ අත්තම්මා බලන්න මහා ගෙදරට (අත්තම්මගේ මහා ගෙදර තියෙන්නේ අපේ ගෙදර ළඟම  එහා පැත්තේ )

අම්මත් . නැන්දලත් , අත්තම්ම ගාව , විදුලි බුබුලේ එළියෙන් අත්තම්ම දිහා මම බැලුවා ...

නිතරම දීප්තියෙන් දිලිසෙන ඒ අහිංසක ඇස් , අද මලානික වෙලා , කොහේදෝ ඈතට යොමුවෙලා ..
සුදු කෙහෙරැලි විසිරිලා ගිහින් ....
තොල් වල , මූනේ පාට සේදිලා ......
saline එක දිගටම ගමන් කරනවා ......

''අත්තම්මේ මම යනවා '' , අත්තම්මගේ අත අල්ලාගෙන මම කියනවා , වෙනදට ගොඩක් උණුසුමට දැනෙන ඒ අතේ මට දැනුනේ තරමක සීතලක් ....
මූණේ හිනාවක් රඳවාගෙන , ''ආ හීං දුව යන්නද??'' වෙනද වගේ අත්තම්මා මගෙන් ඇහුවේ නෑ .
මගේ හිත ගැහෙනවා , ඇහේ කදුළු නැගෙනවා ...අත්තම්මා දැන් දැන් කතා කරයි , මන් දිහා බලයි කියල හිතෙනවා ...
මගේ මුළු ඇඟම කෑ ගහල කියනවා ,, ''අය්යෝ අද රාගම  යන්න බෑ කියලා ''

මම නැමිලා , අත්තම්මගේ කකුල් අල්ලලා වදිනවා ...

''බුදුන් දැක නිවන් දැකපන් ''
පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ ''

අත්තම්මා වෙනද වගේ මට ආශීර්වාද කලේ නෑ ....
අත්තම්මගේ විසිරුන කෙහෙරැලි හදමින් ''අත්තම්මේ මට යන්න බෑ  කියලා ''  මම ඇඩුවා ...අත්තම්මා  නිසොල්මනේ .....
''ඔයා ගිහින් එන්න පුතේ .. අපි අත්තම්මව බලා ගන්නම් ''අම්මත් , නැන්දලත් මාව අස්වැසුවා ...

'' ඔව් ශීත කාලය පැමිණේවි .. හිම කැට සහිත මහා නපුරු සුළි සුළං හමාවී , ඒත් ඉන් ඔබ්බෙහි වසන්තය  එනවා සත්තමයි ,,'' ගුරු ගීතයේ දෙබසක් මට මතක් වෙනවා ... හිත තද කරගෙන ඇවිත් , මගේ ළඟම යාලුවෙක් වෙන නිමේෂත් එක්ක රාගම එන්න පිටත් වෙනවා .. අත්තම්මා  ගැන අහල එයත් මාව සනසනවා ..

7.30ට රාගම .. 8- 12.15 lectures .. 12.15-1.15.. දවල් කෑම  පැය .. 1.15 -4.15.. tutes , practicals... පාඩම් කරලා තිබ්බේ නැතත් , කොහොම කොහොම හරි යලුවොන්ගෙනුත් උදවු ඇතිව , කරදරයක් නැතුව සියල්ලටම මූණ දෙනවා .. අතර මැදින් අත්තම්මව , අම්මව මතක් වෙනවා ...කාලේ ගෙවෙනවා ...

4.15ට  වැඩ ඉවර වුන ගමන්ම බෝඩිමට  ඇවිත් , ගෙදරට call කරනවා ... එක සැරයක් .. දෙසැරයක් .. තුන්සැරයක් .... පිළිතුරක් නෑ ... මගේ හිත ගැස්සෙනවා ..''කෝ මේ ගෙදර මිනිස්සු ...'' මට කෙන්තියකුත් එනවා ... ඊට පස්සේ ලොකු අයියට කතා කරනවා ... එයාගෙනුත් නෑ පිළිතුරක්  ... දුක වැඩි වෙන මම , පුංචි අයියට , නැන්දලට ඔක්කොටෝම කතා කරනවා ...

කිසිම පිළිතුරක් නෑ .... විනාඩියෙන්  විනාඩිය ගත වෙලා 5.30ට ලං වෙනවා ...
''නෙළුම් ගෙදර අයට මොකක් හරි වැඩක් ඇති .. එයාල පස්සේ කතා කරයි .. ඔයා  දැන් ඇඟ හෝදගෙන එන්න , අපි තේ බීල පස්සේ අයෙත් කතා කරමු  ...'' මගේ room mate පියුමි කියනවා ...

''හ්ම්ම්ම් .... අනේ ඉතින් කාටහරි   කතා කරන්න බැරිද ?.... අනේ මන්දා.... ''මම දිග හුස්මක් පිට කරනවා ...

මම ඇඳට වෙලා .. අත්තම්මා ගැන , ගෙදර ගැන අම්ම ගැන හිත හිත  ඉන්නවා ...

වෙලාව 6 පහු වෙනවා ...

මගේ දුරකථනය නාද වෙනවා ... ලොකු අයියා ...

''ඇයි කතා කලේ නැත්තේ ,,, කෝ අම්මා   ,,,මම ගොඩක් සැරයක් ගත්තා ,,,, ''ගිනි කන්දකින් ලෝදිය පිටවෙනවා වගේ මම එක දිගටම කියාගෙන කියාගෙන යනවා ...''

''නෙලුම් ... ගෙදර ටිකක් කලබල ... එයා හෙමීට කියනවා ...
ඔයාටත් මේවා තේරෙනවනේ ...
අත්තම්මා වයසයි ,,
අපි හැම දෙයක්ම කලානේ අත්තම්මට .......''

වෙලාව අරගෙන හෙමින් හෙමින් ....එයා අත්තම්මා අන්තරා වුනා කියල කෙලින් කියන්නේ නැතුව මට වටෙන් ගොඩින් කියනවා .......

දුරකථනය විසන්ධි කරන මම ඉකි ගගහ අඬනවා .... අත්තම්මගේ වචන ... කරපු කියපු දේවල් නිමක් නැතුව මට මතක් වෙනවා ...
මගේ අඬන සද්දෙට බියපත් මුහුනෙනේ බලාගෙන ඉන්න පියුමි ...මගේ දුක අඩු කරන්න විවිධ දේ කිව්වත් මම ඒවා අහන්නේ නැතුවම දිගටම අඬනවා ....

වහාම මට ගෙදර යන්න හිතෙනවා ... රෑ වුනත් කමක් නෑ කියල හිතෙනවා ...

නැවතත් දුරකථනය නාද වෙනවා , කදුළු මතින්ම මම කතා කරනවා ... ''පුංචි අයියා මට ගෙදර එන්න ඕනේ ''.. මම කියනවා ... ''දැන් ඔයාට එන්න බෑනේ , දැන් රැ වෙලා ...මම හෙට එන්නම්  ඔයාව  එක්කන් යන්න ... අපි හැමෝම ඉන්නවා ඕනේ වැඩ කරන්න ... ඔයා  හෙට ආවම ඇති එයා  කියනවා..

''අම්මා කෝ ?''මම අහනවා ... අම්මට ගොඩක් දුකයි ,, ඔයා හෙට ඇවිත් අම්මට කතා කරන්න '' එයා  එහෙම කියද්දී අම්මත් ගොඩක් අඬනවා ඇති කියලා මට හිතෙනවා ..

''ඔයා එන්න ඕනේ නෑ , මම පරිස්සමින් කෝච්චියේ උදෙන්ම එන්නම් ..'' මම කියනවා ..
පුළුවන්ද ? එයා අහනවා ...
''ඔය එන එක අපරාදේ ... මම එන්නම් ...''

එහෙම කියලා මම පහුවදා උදෙන්ම කෝච්චියේ ගෙදර එනවා ...රෑ නින්දෙදි වගේම , කෝච්චියේ එන මඟ දිගටත් අත්තම්මව මතක් වෙනවා ,,, කදුළු නැගෙන ඇස් අනෙකුත් මගීන්ගෙන් හංගගන්න වෑයම් කරමින් පැය 3කින්  ගෙදරට එනවා ...

ගෙදරට යන පාර මළගෙදරක සිරිය අරන් .. සුදු කොඩි පාර දෙපැත්තේ
මහා ගෙදර වෙනස් වෙලා .. තාවකලික hut  කීපයක් ඉදිවෙලා .. පුටු .. සෙනග ,, කොඩි වැල් ..

මම කෙලින්ම යනවා අත්තම්මා බලන්න ...

සුදු සේද රෙද්දක , රෝස මල් , ඔර්කිඩ් මල් ගොන්නක් මැද , සුදු උඩුවියනක් මැද්දේ මගේ ආදරණීය අත්තම්මා සුව නින්දක ..
දෑස් වැහිලා .. තොල් නිහඬ වෙලා ...  උණුසුම් අත් සුදු අත්වැස්මකින් වැහිලා ... උඩරට ඔසරියක් ඇඳලා ... අත්තම්මා නිසොල්මනේ ....

''අනේ මගේ අත්තම්මේ .... කියල මම කෑ ගහලා ඇඩුවා ... මගේ හිත ඇකිලිලා යනවා වගේ දැනුනා ...
ආයෙත් කවදාවත්  අත්තම්මා ''හීං දුව උඹ ආවද ?''කියලා  මගෙන් අහන්නේ නෑ  කියන බියකරු සත්‍යය මට අවබෝධ වෙද්දී කදුළු ,උණු දිය උල්පත් වගේ මගේ ඇස්  දෙකන් ගලාගෙන ගියා ...

අත්තම්මා ඔයා  මට පොරොන්දු උනා නේද , මම දොස්තර කෙනෙක් වෙලා එනකන්ම ඉන්නවා කියලා ?? ඇයි ඔයා ගියේ අපිව දාලා ??
මම හිතෙන් අත්ත්මගෙන් ඇහුවා ,
''හීං දුව ලොකු අත්තා මට එන්න කිව්වා , උන්දැටත් තිනිලු ... ඇරත් මම ගොඩක් කල් හිටිය නෙව උඹල එක්කල ''
''මම උඹ දොස්තර නෝනා කෙනක් වෙනකන් විතරක් නෙවෙයි උඹේ මුළු ජීවිත කාලෙටම උඹත් එක්කම මම ඉන්නවා ... උඹ හොඳට ඉගන ගන්න ඕනේ ..
උඹට රත්නත්තරේ පිහිටයි ... දැන් ඉතින් නාඩා ඉදින් හීං දුව ''

අත්තම්මා එහෙම කියනවා මට ඇහුනා ..

2010 ඔක්තෝම්බර් 25 දින අප අතරින් වියෝ වූ අත්තම්මාගේ  තෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ආදරයෙනි ......
මගේ දුක බෙදාගනිමින් මගේ ළඟම සිටි නිමේෂා , පියුමි , සචින්තා  යන සොයුරියන්ද ආදරයෙන් සිහිපත් කරමි ...