Search This Blog

Thursday, October 31, 2013

ජීවක පදට්ඨ කතා 9

පෙර දින ගුරු මෑණියගේ මහත් වූ සිත් තැවුල්ද සිහියේ තබා ගෙන සිසුහු මහත් වූ ඉගනීමෙහි ඇලුණු සිතින්  බරිතව , පසු දින රෝගීන් විචාරීම ඇරඹුහ . එහිදී ''මොහොසම් ''' නම් වූ සිංහල ජාතික නොවන රෝගියෙකු ඇතුලත්ව සිටිනු සිසුහු  දක්නා ලදහ .හෙතම නම් මධ්‍යතන තාරුණ්‍යයේ පසු වන්නා වු ,මානව වැඩුන ආරෝහ පරිනාහයෙන්ද  , එළලු පැහැ දේහයෙන්ද  යුතු වුවෙ කි  .

කුඩා කල සිට මනසේ සමබරතාව බිදෙන රෝගියකින් පෙළෙන්නා ලද වූ මෙම රෝගී  තෙම මෙවර රෝගී ආශ්‍රමයට පැමිණ ඇත්තේ , එකී රෝගයට ලබා ගන්නා ඖෂධ කල්ක දිගු කාලීනව භාවිතා කිරීමෙන් ඇති වන සංකූලතා රෝගයක් හේතුවෙනි .එකී සංකූලතාවට යටත් වූ රෝගී තෙම සිහි මඳ  ගතියකින්ද ,විටින් විට නන් දොඩන ගතියකින් මෙන්ම ,දරදඩු හැසිරීම් දක්වන ගතියකින්ද පෙළුණේය .

රෝගියාගේ පවුලේ වුයේ  ඔහුත් , ඔහුගේ මෑණියනුත් පමණකි . එසේ හෙයින්  , මොහොසම් රෝගී තෙමට උවැටන් කරනු පිණිස , පුරුෂ අවතේව කරුවකු සොයා ගන්නට එම මෑණියන්ට නොහැකිවිණි  . එසේ වතදු කෙතරම් වැඩි උස් මහත් වුවත් ඔත්පලව සිටින රෝගී පුතු තනි නොකිරීමට ඉටා ගෙන , දාරක ප්‍රේමයෙන් බරිතව එම මෑණි තොමෝ , තම පුතු අසල සිට උවැටන් කිරීමට , රෝගී ආශ්‍රමයේ නීති වලින් පරිබාහිර වී විශේෂ අවසරයක් ලබා දෙන මෙන් ,පුතුගේ රෝගී තත්වය පහදා දෙමින් හිරන්‍ය ගයාවර්ණි ජීවක තුමියගෙන් අයැද සිටියාය .

ජීවක තුමිය මෙවන් රෝගීන් හමුවේ උණුවන සිත් ඇත්තී බැවින් , එම මෑණියගේ බස් අසා  සිද්ධිය වටහා ගෙන මහත් කුළුණෙන් යුතුව වහ වහා අවසර ලබා දුන්නාය . එම මෑණි තොමෝද ලද අවසරයෙන් මහත් සේ ප්‍රමෝදව ජීවක තුමිය කෙරේ අපමණ තුති දෙමින් ,පුතුට උවැටන්  කරනු පිණිස, පුරුෂ  රෝගී අංශයේ සැත්තාවක් පමණ වූ රෝගීන්ද ඒ හාම සමාන  අවතේව කරුවන්ද ,අතරම චකිතයෙන් තොරව රදුනාය .

ස්ත්‍රියක් වුවේන්  , පහසුකම් මද වුවද ,එවන් දේ මත්තෙහි කිසිදු තැකීමක් නොකරම , පුතුට මනා කොට රස අහර ලබා දෙමින්ද , නහවා , සෝදා පිරිසිඳු කරමින්ද , විටක හිස කෙස් පවා පීරමින්ද මහත් වූ සෙනේහයෙන් යුතුව පුතු අසලම, දිවා රෑ, තෙහෙට්ටු කාන්සි කිසිත් නොතකමින්ම රැදුනාය .එම දසුන් නෙත් මානයේ රැදෙන්නෙකුට නම් ''මවකගේ අප්‍රමාණ දරු සෙනෙහස නම් මෙය නොවන්නේදැයි ''මවක් නම් කෙතරම් ශ්‍රේෂ්ඨ වන්නේදැයි ''නිතැතෙන්ම සිතෙනු ඒකාන්තය .

එසේ වතුදු මහත් ලෙස රෝගාතුරව සිටින මහොසම් පුතු නම් මවගේ අපමණ කැප කිරීම හමුවේ වුවත් සිහි මද ගතියෙන්ම නිසොල්මනේ , දෙනෙත් මහත් කොට විදා ගෙන වැතිර සිටියේය . මවගේ අපමණ සෙනෙහෙබර වදන් හමුවේ පුතුගේ මුව ගොළු විය .  අත පය සෙලවීම මෙන්ම හුස්ම ගැනීමද  මොහොසම් තෙමට අසීරු කටයුතු වුවේය  එය දුටු කෙනෙකුගේ නෙතඟ කදුලක් නම් නිතැතින්ම නැගෙනු ඇත්තේය .

අනු අංක පිළිවෙලින් ගත් කල මෙම රෝගියා භාර වුයේ කණ්ඩායමේ බෝ පැළයක් වන් වූද ඉතා ඉක්මනින්ම ලජ්ජාශීලී වන්නා වුද  බුත්සරණි ජීවක සිසුවියටය .ඇය මොහොසම් රෝගී තෙමගේ තත්වයත් , එකී මවගේ තත්ත්වයත් මනා කොට අවබෝධ කරගෙන , ඉතාමත් හිත මිතුරුව අදාළ තතු විස්තර අසා දැනගෙන , තරමක් අසීරු වුවත් රෝගියාද මනා කොට පරික්ෂා කලාය .පසු දිනක ජීවක ගුරු මෑණි තොමෝ නම් මෙම රෝගියා පිළිබඳව නම් ඒකාන්තයෙන්ම විමසනු ඇතැයි සිතා අදාළ පොත පතද වන පොත් කලාය .

ඉතිරිය මතුවට

ප.ලි - Patient had Neuroleptic malignant syndrome.



Tuesday, October 29, 2013

ඇට මැස්සා (The Gadfly ) මගේ ඇසින් ..

වසර ගණනාවක් පුලමින්ද , මහත් අසාවෙන්ද ඇටමැස්සා පොත කියවීමෙහි වස් මම බලා සිටියෙමි .කාලය ගෙවී ගොස් අවසන එම පොත  කියවන්නට මා හට ඉඩ ප්‍රස්ථාව ලැබුනේ මීට දිනකට පෙරය ..පොත අතට ගත් සැනින් මහත් කෑදර කමින් , පොතේ පිටු පස වන හදුන්වා දීම් කෙටි වැකි පෙළත් ,මුල් පිටුවල වන කතෘ ගේ සටහන් පෙළත් කියෙව්වෙමි .

ඇට මැස්සා වූ කලි ඊ එල් . වොයිනික් නම් අයිරිෂ් ජාතික ලේඛිකාව අතින් 1895දී ලියවුනු කෘතියකි .එය ශ්‍රී ලාංකික පාඨකයින් වෙත පිදෙන්නේ , සුගතපාල  ද සිල්වා මහතාගේ අසහාය පරිවර්තනයක් ලෙසිනි .

ඇට මැස්සා තුල ගැබ්ව ඇත්තේ , එක් කලකදී එක්සත් ඉතාලියක් වෙනුවන් යෞවන ඉතාලි සංගමය ගෙනයන විමුක්ති සටනත් , තවත් කලක එම සංවිධානයම අතු රිකිලි ලා වැඩි අරමුණු සහ ඉලක්ක වලට නවතාවයක් දෙමින් රටේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක්ව ,ජේසු නිකායිකයින්ට එරෙහිව ගෙනයන සටනත්ය.
සරල අදහසින් පොත පිළිබඳව එසේ හදුන්වා දිය හැකි වුවත් පොතේ පිටු අතර ගැඹුරෙන්ම දිව යන්නේ , සදාතනික වන මනහර ප්‍රේම කතාවක් ,පියෙකුගේ සහ පුතෙකුගේ වන දැඩි බැදීමක් ,හා කණ්ඩායම් සාමාජිකයන් අතර වන අව්‍යාජ බැදීමක්  යන මේ සියල්ලය .එසේම පොත පුරාම දේව සංකල්පය මහත්සේ හෙළ දකිමින් අදේව ධර්මය ඉස්මතු කරන බවද දැකිය හැක .

පොතේ බස් වහර මන බඳින සුළුය , සරල නොවන මුත් එතරම් සංකීර්ණද නොවෙන එය පොතේ තේමාවට මනාව ගැලපේ .කතාව කියවගෙන යාම වෙහෙසකර නොකරයි .කියවා අවසන් කරන තෙක් පොත බිම තැබීමටද  ඉඩ නොදේ .

කතාව ආරම්භ වන්නේ ආතර් නම් 19 හැවරිදි කොලු ගැටයෙකු හා මොන්ටිනෙල්ලි නම් බිෂොප් වරයකු අතර සංවාදයකිනි .කොලු ගැටයාගේ ඉගනීම් කටයුතු , පවුලේ ඇති නොයෙක් ප්‍රශ්න ආදිය පිලිබඳ බිෂොප් වරයා පැය ගණනාවක්ම කතා කර සිටි . ඒ අතරම ඔහු කටයුතු කරන රහස් සංවිධානය පිලිබඳ තතු දැන ගෙන පුන පුනා පරිස්සම් වන්නැයි කොලු ගැටයාගෙන් අයැද සිටි .
කාලය ගෙවී යයි .කුඩා කල සිටම දැන සිටි මුත් තුරුණු වියට පත් වීමත් සමග බැදීම් දුරස් වී තිබු ජෙම්මා නම් ආතර් ගේ කුඩා කල මිතුරිය ,ඔහුට සංගමය හරහා නැවත මුණ ගැසේ ..ඔවුන්ගේ නිහඬ ප්‍රේමය සංවිධානයේ කටයුතු සමඟ නිරායාසයෙන්ම දළු ලා වැඩේ .

ශාන්තව තිබු සියල්ල උඩු යටි කුරු වන්නේ ආතර් හිර බාරයට පත් වීමෙනි .සිරබත් වූ කාලයේදී මහා පාවා දීමක් කල බවට ආතර් පිලිබඳ කට කතා පැතිරෙන්නේ කණ්ඩායම් නායක බොල්ලා සිර බාරයට ගැනීමත් , ආතර් නිදහස් වීමත් සමගය . නිදහස ලබා පැමිණෙන ආතර්ට පෙරමග හමුවන්නේ ,ලෝකයම අවිස්වාස කලත් , තමාව විස්වාස කරන අචල පෙම්වතියක්ද  නැති නම් ඔවුන් සේම වියරු ඇතුල් පහර දෙන බොලද පෙම්වතියක්ද ?? කතාව ගලා ගෙන යයි ... එදිනම ඔහුට දැන ගන්නට ලැබෙන්නේ තමා හද පතුලෙන්ම ගරු කරන මොන්ටිනෙල්ලි බිෂොප් තුමා වෙනුවෙන් තව දුරටත් දණ නමා පිදිය යුතු බවද , නැති නම් පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් නොවටින බවද ??? කතාව ගලාගෙන යයි ..

සියල්ල හමුවේ ආතර් තෝරා ගන්නේ ජීවිතයෙන් පලා ගොස් නව ආරම්භයක් ලබා ගැනීමටය ..
සිය දිවි හානි කරගත් බවට ඒත්තු ගන්වා ඔහු රටින් පලා ගොස් , වසර දහතුනකට පසුව ඇටමැස්සා ලෙසින් යලි ඉපිද තම මුල් රැඳුනු දේශයටම පැමිණ නිමා නොකළ යුතුකම් දේශය වෙනුවන් ඉටු කිරීම අරඹයි .

ඇට මැස්සා විරුපීය , කුදය , නොන්ඩිය .කලක් තමා ළඟම රැදී උන් අතරම රැඳුනත් ඔවුනට මේ සිටින්නේ අපේම ආතර් නොවේද කියා  හදුනා නොගන්නට තරම් වසර දහතුනක දිගු කාලය මහත් වෙනස් කම් රැසක් ආතර්ට ගෙන දී ඇත . කතාව ගලා ගෙන යයි ....

ජෙම්මා, ඇටමැස්සා නම් මේ තමාගේ අහිමි වූ ප්‍රේමවන්තයාමදැයි දැන ගැනීමට ඉඩ සොයයි .. මොන්ටිනෙල්ලි කාදිනල් කෙනෙකුව ජන ප්‍රසාදය දිනා සිටියත් ඇටමැස්සා තුලින් ආතර් දකී ...ඇටමැස්සා නම් දගින් දිගටම ඉතාලිය වෙනුවෙන් සටන් කරයි . ප්‍රේමය ඔහුට නොපෙනේ .....කතාව ගලා ගෙන යයි ....

සියල්ල අවසන ජෙම්මාට පිළිතුර ලැබෙන්නේ ලිපියකිනි

''ආදරණීය ජිම් '' ඔහු ඈ අමතයි ... ජෙම්මා මහත් සේ හඬා වැටේ ...
ඔහු මෙසේද කියයි ''මා හැම විටම ඔබ හමුවේ බුම්මා ගත් මුර්ගයෙකු ලෙස හැසිරුනේ මන්ද , පරණ කෝන්තර අමතක කරීමට සුනංගු වුයේ මන්ද ,යනු ඔයා දැන සිටියාය ..
එම වදන් ලිවීමෙන් මා ලබන සන්තෝෂය පිණිස එය ලියමි ..
ඉස්තරම් ලොවිච්චි සහිත කොට ගවුම් කොටයකින් සැරසී කොණ්ඩා කරලක් ගොතා පුංචි කැත කෙල්ලක්ව සිටි අවධියේත් මම ඔයාට ආදරය කලෙමි ..තවමත් මම ආදරය කරමි ...''
අවසාන මෙසේද ලියයි
 එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක් මි ....

එනමුදු පිළිතුරු ලිපිය ලියන්නට ජෙම්මා පමා වී ඇත ඔහු බොහෝ දුර ගොසිනි ...

අවසන කාදිනල් තුමාද තම දැඩි දේව භක්තිය මෑත් කර ආතර් සොයා පැමිණෙයි ...

ඔහුද පමා වී ඇත , ඇටමැස්සා බොහෝ දුර ඉගිලී යන්නටම ගොසිනි ..












Sunday, October 27, 2013

ජීවක පදට්ඨ කතා 8

එය නම් තෙවැනි දිනය විය . රෑ වැඩ මුරයට පසු දින විය . රෝගී ඇඳන් පිරී ඉතිරී යන දිනය මෙන්ම ගුරු මෑණිය ,පුරුෂ අංශයේ රෝගීන් විචාරන දිනයද විය . ඉදින් පුරුෂ අංශයේ රෝගීන් විචාරන , ජීවක සිසුහු  වහ වහා සූදානම් වීමට පෙර දිනයන්හි සේම පිනිබර උදසනෙන්ම රෝගී ආශ්‍රමය වෙත ආහ .

සිව් වැනි රෝගී ඇඳෙහි , අතිශය රෝගී බවක් දක්වමින් වැතිර සිටින්නේ , තුරුණු වූද , රුධිර  කැටිගැසීම පමාවන රෝගයකින් පෙළෙන්නා වුද රෝගියෙකි ..සිහි මඳ කමක් දක්වන රෝගියා දෙස බැලු බැල්මට  සැක උපදවන්නේ හිස් කබල අභ්‍යන්තරයේ වූ රුධිර වහනයක් පිළිබඳවය .  මෙම රෝගියා භාරව ඇත්තේ
අයබණ්ඩාර නම් ජීවක සිසුවෙකුටය .

අයබණ්ඩාර වූ කලි ,ගුරු මෑණියගෙන් දොස් පරොස් ඇසීමට වේයැයි මහත් සේ බිය වන්නා වුද , තම රෝගීන් පිළිබඳව මනා කොට පොත පතින් හදාරන්නා වුද ,අදාළ උපදෙස් ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් මෙන්ම පේරලන්ද නම් ජීවක පාඨශාලාවේ තම මිතුරන්ගෙන් පවා අසන්නා වුද මනා කොට වන පොත් කරන අයෙකි . ඉදන් හෙතම මේ රෝගියා සම්බන්ධවද මනා කොට හදාරා ගුරු මෑණිය පැමිණෙන තුරු සූදානම්ව සිටියේය .

ගුරු මෑණිය පැමිණෙත් , සුදුසු ජීවකර්ම කරමින් රෝග ශාලා වට යත් .. පැමිණ නතර වන්නී රුධිර  කැටි ගැසීම පමාවන රෝගයකින් පෙළෙන ඉහත කී රෝගී ඇඳ අසලය . සුපුරුදු ලෙසම ''මේ රෝගියා නම් කාගේදැයි ''අසන්නී , මදකුදු පමා නොවී සිසුන් අතරින් ගම්‍ය වන්නේ අය බණ්ඩාර තෙමය .

ගුරු මෑණිය නා නා විධ පැන විමසන්නී , අය බණ්ඩාර තෙමද පෙර වන පොත් කල නුවණින් එම සෑම පැනයටම පිළිතුරු දෙත් ..පිළිතරු වලින් සෑහෙනගුරු මෑණිය , අවසන  කිරණ වර්ගයක් යවා , හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් වේදැයි පරික්ෂා කිරීමෙහි වස් ලබාගත් කිරණ සටහන් පත අය බණ්ඩාර තෙම වෙත දක්වා එය විස්තර කරන්නට නියම කරත් .
 සටහන විස්තර කිරීමට නම් වන පොත් කල නුවණ නම් සෙත් නොදෙන්නේම නිසාවෙන් මදක් ගොළු වන සිසුවා දෙස බලා සිනා පාමින් ගුරු මෑණිය කියන්නී
''දරුවා තොප මෙයද මනා කොට හදාරා පසුව මට තතු දක්වව '' ,මත්තෙහි  ඉදිරියට පා  තබන්නීය.

එසේ පා තබන ගුරු මෑණිය මධු මේහයෙන්ද , මූත්‍රා පිට කිරීමට අපහසුවෙන්ද පෙළෙන්නා වූ රෝගියෙක් අසල නැවතී ''මේ රෝගියා නම් කාගේදැයි'' අසත් , සිසුන් අතරින් ඉදිරියට පැමිණෙන්නේ , සිරුරෙන් ඉතා හුරුබුහුටි වන , එනමුදු මහත් සේ නැණැති වන දීලාමනි නම් ජීවක සිසුවියකි .

''ගුරු මෑණිය රෝගියා නම් මාගේය'' ඕ සිහින් හඬින් කියත්ම  ,
දරුව මෙම රෝගියා මධු මේහයෙන් පෙළෙන්නේ නොවේද?
 අද උදැසන රුධිර පරික්ෂාවට , අනුව මොහුගේ රුධිර සීනි මට්ටම කෙතෙක් වේද ?? ගුරු මෑණිය අසන්නීය

හිසේ සිට දෙපතුල තෙක් කෙතරම් පරික්ෂා කලද , දීලමනිය අතින් රුධිර සීනි මට්ටම කෙතෙක් වේදැයි සටහන් තබා ගැනීමට මඟ ඇරී තිබුණි , ඒ මතින් පැන හමුවේ ඕ මහත් සේ තැති ගෙන . නිරුත්තරව , සියොළඟ ප්‍රලය වන්නට වූවාය  ..

නිහඬව සිටින සිසුවිය හමුවේ ගුරු මෑණිය අසන්නී ,
''දරුව තොප අදාළ පරීක්ෂණ පත්‍රිකා පරික්ෂා කලේද ??'' කියාය .
''සමා වනු මැන ගුරු මෑණියනි , එය පරික්ෂා කිරීමට  මට නොහැකි වුනි , මහත්සේ බිය පත්ව ආයාචනා ස්වරයෙන් දීලාමනිය කියන්නට විය  .

එය අසා තරමක් කිපෙන ගුරු මෑණියෝ  ''දරුව මධුමේහ රෝගීන් සම්බන්ධව වඩාත් වැදගත් වන්නේ රුධිර සීනි මට්ටම නොවේද ??
කෙසේද තොප එවැන්නක් මඟ අරින්නේ ?? ආදී උරණ බස් පවසත් , එබස් අසන දීලාමනිය , සියොළඟ ප්‍රලය වන්නා සේම මහත් වූ බියටද පත් වෙත් ,,
''අහෝ අසරණ අපගේ දීලාමනි '' යැයි මිතුරු ජීවක සිසුන්ද තැවෙත් ..

''එසේ නම් දරුව ,මෙම රෝගියාගේ හස්තයේ වන , ඖෂධ ලබාදීම සඳහා යොදා ඇති මෙම කටුව , හස්තය මත යෙදූ දිනය වහා මට කියා සිටුවා යැයි '' උරණ ස්වරයෙන්ම ගුරු මෑණියෝ අසත් ,,

එයද කෙසේ වත් නොදන්නා දීලාමනිය තව තවත් ප්‍රලය  වත් .

නිහඬ සිසුවිය කෙරේ තවත් උරණව ,

''දරුවා තොප නම් රෝගියා පරික්ෂා කොට නැත්තා හා සමානය .. තොප රෝගීන් පිළිබඳව සියලු තතු දත යුතුය , එසේ නොවන කල්හි රෝගී ජීවිත නම් අනතුරේම හෙලන්නේ වෙයි යැයි පවසා ..''

''එසේ නම් දරුවා මෙම රෝගියාගේ අධෝ මාර්ග අංගුලි පරික්ෂාවෙන් තොප ගම්‍ය කොට ගත් තතු දැන් දැන් වහා කියා සිටුව ''

එවන් පරීක්ෂාවක් නොකළ දීලාමනි ,මහත්සේ සමාව අයදිමින් තමා එම පරික්ෂාව නොකළ බව ගුරු මෑණියට කියන කල්හි , වඩ වඩාත් කිපෙන ගුරු මෑණිය කියන්නී

''දරුව සමා විය යුත්තේ මට නොව තොපටමය ''
මේ සා මසුරන් ඉගැන්නුම් ලැබිය හැකි අවස්ථා තොප විසින්ම වළහා ගනිත් .
''මෙහි අගය තොප නොදනිත් ''
''දැන් තොප වෙනුවෙන් මේ පරික්ෂාව කළ යුත්තේ මාද ?? යැයි වඩා උරණ බස් ගුරු මෑණි පවසත්ම , දීලාමනියද , සෙසු සිසුන්ද කිසිවක් නොකියාම , මුහුණු සඟවාගෙනම සිටිත් ..
''තොප වෙනුවෙන් කා දැමීමට මට කාලය නැත්තේය ''
''දැන් වහ වහා ගොස් අවැසි දේ රැගෙන විත් අධෝ මාර්ග අංගුලි පරික්ෂාව කරව ''
මින් මතු මේ සා වැරදි කල හොත් ඉගැන්නුම් ගැනීමට මෙහි නොසිට වහා තොප පිටවව් ''
කියා මේඝ ගර්ජනා මෙන් බස් කියා ගුරු මෑණිය පිටව ගියාය .

බිරාන්ත වූ සිසු පෙළ දෑස්  අදහා ගැනීමට නොහැකිව බලා සිටිත් ...දීලමනියද දිගින් දිගටම ප්‍රලය වෙත්

ඉතිරිය මතුවට ....



Saturday, October 26, 2013

පුංචි ලෝකාන්තයට ....

ඔන්න අපේ කට්ටිය විභාගේ ඉවර උන සන්තෝසෙට trip එකක් යන්න සූදානම් වෙනවා .... results එන්න කලින් යන්නත් ඕනේ කියල හැමෝම කිව්වා .. ඉතින් කාගේ කාගේත් ඉල්ලීම් උඩ හැමදාම වගේ අපේ ටානියා trip එක  organize කරන්න භාර ගත්තා .

මුලින්ම කලේ ඉතින් තැනක් හොයා ගැනීම .කිතුල්ගල , හන්තානේ , Reverstern , මීමුරේ , එක එක තැන්  (ඇත්තටම සතියක් තිස්සේ තැන් හොයල හොයල  , අන්තිමට trip එකට කලින් දවසේ තමා හරියටම යන තැන හොයා ගත්තේ  - මුලින් හිතුවේ වත් නැති Nuckles සහ පුංචි ලෝකාන්තයට-- :D  )

කොහොම හරි හොඳ AC කරපු බස් එකකුත් හොයාගෙන කට්ටියම RESULTS එන්න කලින් දවසේ , ''හෙට fail උනත් කමක් නෑ අද jolly කරලා'' කියල Trip එක යන්න යොදා ගත්තා .., ගම්පහ යාළුවොයි , නුවර යාළුවොයි 25 දෙනෙක් විතර එකතු උනා ..මේ වෙනකොට mobitel , dialogue , airtell අරවා මේවා company කාරයෝ සෑහෙන්ට හම්බ කරගෙන හිටියේ , මොකද ඉතින් අපේ කට්ටිය එකතු කරගන්න හරි ලෙසිනේ :D

ඔන්න trip එක දවස

හැමදාම වගේ ගම්පහ ඉඳල අපේ  යාළුවෝ 5.30 කෝච්චියෙන් පේරාදෙණියට අවා , නුවර යාළුවෝ වන අපි , ගම්පහ යාළුවොන්ට දවල්ට කෑමත් අරගෙන පේරාදෙණියටම  අවා ..

9ට හැමෝම බස් එකේ , ගම්පහ ඉඳල කෝච්චියේ හිටගෙන ආවත් ගම්පහ යාළුවොන්ට මහන්සි නෑලු .. වැස්ස වහින්න වගේ තිබ්බත් හිතේ බයකුත් නෑලු ..... , යාළුකමයි , හිතේ සන්තෝසයයි ඒ ඔක්කෝටෝම වඩා වටින නිසා , එහෙම වෙන්න ඇති කියල මම හිතුවා ..

ඉතින් සින්දු කිය කිය trip එක යන්න පටන් ගත්තා ..සින්දු කණ්ඩායම් දෙකයි . එකක්  trip එකේ සංවිධායක තුමියගේ ශාස්ත්‍රීය ගීත කණ්ඩායම , අනික් එක අපි වගේ උච්ච'' ස'' කියන්න බැරි කට්ටියගේ ''සුරංගනී සුරංගනී '' වගේ ගීත කියන කණ්ඩායම ..තරගෙට සින්දු කියනවා ඉතින් .. ඔන්න එතකොටම අපේ සින්දු වල ලස්සනටද මන්දා වැස්ස වළාහක දෙයියෝ වැසි දිය හලන්න පටන් ගන්නවා .. ,
 ''අයියෝ වහිනවා'' .. අපේ කට්ටියගේ මූණු ඇඹුල් වෙනවා ..
'' තෙමුනත් කමක් නෑ කොහොමහරි යමු ''කියල කට්ටියම TEAM SPIRIT එක අරගෙන  සින්දු කියන අස්සෙන්ම කතා වෙනවා

ඔහොම ඉතින් ඇවිත් පැය දෙකකින් විතර අපි පුංචි ලෝකාන්තයේ ඇතුල්වීමේ දොර ළඟ ...වැස්ස ටිකක් අඩු වෙලා .. එත් අහස කලුයි ..
තොප්පි ,ජර්සි , සපත්තු දාල බෝනික්කෝ වගේ කට්ටියම ලෑස්ති වෙලා ,,,ලුණු , සිද්ධාලේප . DETOL එහෙම ගාලා කූඩලු  Precautions ගන්නවා .. වැස්සට කූඩැල්ලෝ හැමතැනම ...

ඔන්න කට්ටිය ticket ගන්න ලෑස්තිය ..
''මාර වැඩේ ''

එදා  වැස්ස නිසා ticket counter එක වහල ..

''අද මේක වහලද බන් ''
අපේ පුරුෂ පාර්ශවය කතා වෙනවා .
''අඩේ දැන් මොකද කරන්නේ ''දිගටම කතාව .
පුරුෂ පාර්ශවයේ කතාව ඇහිලා ,අපි ස්ත්‍රී පාර්ශවයත් එතෙන්ට එනවා ...
''අද වහලද counter එක ''අපි අහනවා ..

''නෑ නෑ එහෙම නෙවයි ,අද මේක කට්ටියටම නොමිලේ'' අපි හොඳ දවසක ඇවිත් තියෙන්නේ
 , මරු මරු'' කියලා පුදුමය හංගගෙන අපේ ඉස්සරහ අපිට කියනවා ..
 එත් කව්රුත් පේන්න නැති නිසා අපේ පුරුෂ පාර්ශවයේ පඬි වදන් වලට අහු නොවීම ..
''යන්න බැරිද අපිත් අහනවා ''
''නෑ නෑ  කව්රු හරි ඇති .. ඉන්න අපි  බලන්නම්
ඉතින් පුරුෂ පාර්ශවය අපේ ඉස්සරහ  ලජ්ජා වෙන්න බැරි නිසා   , පුරුෂ ධෛර්‍යය අරගෙන  එහෙට මෙහෙට දුවනවා ..
කොහොම හරි කරලා , ticket counter එකේ කට්ටිය හොයාගෙන විනාඩි 10 කින් විතර අපේ වීර පුරුෂයෝ ටික එනවා  ..ticket counter එකේ කට්ටිය වැස්ස නිසා සෙනග එන්නේ නැතිවෙයි කියල quarters එකට ගිහින්  ..

ඔන්න නොමිලේ කෙසේ වෙතත් රු 30 ගානේ ticket අරන් ,කට්ටිය ඇතුල් වෙනවා ..
වැස්ස පායලා ..
පයිනස් කැලේ මැදින් . ලඳු කැලෑ මැදින් , වැව් අද්දරින් කට්ටිය ගමනේ ..
අතර මඟදී කූඩලු ප්‍රහාර වලට ලක්වුනත්, හූ තියලා කැගහුවත් , ඒවගෙන් පසු බට වෙන්නේ නැතුව .වැස්ස පායලා තියෙන වෙලාවේ ඉක්මන් ගමනින් කඳු මුදුනට යන්න කට්ටිය අඩිය ඉක්මන් කළා ..

''සෝ '', සද්දෙට පයිනස් කැලේ මැද මහා සුළඟ  ... ටිකක් බිය ජනක අමුතු සුන්දරත්වයක් ඒ සුළගේ තියනවා ..හරියට දැනෙන්නේ මහා වැස්සක් අත ළඟ වගේ ..

පාන්දර වැස්සට තෙත් උන ගස් කොලන් වලින් වතුර බින්දු බේරෙනවා ,,, ඒවා අපේ ඇඟටත් වැටිලා අපි තෙත් වෙනවා ..දිගටම අපි යනවා ..

පැය දෙකකින් විතර අපි කඳු මුදුනට එනවා ...

මීදුම් නැතුව ලස්සනට පුංචි ලෝකන්තේ අපේ ඇස් ඉස්සරහ ... ඈතට ඈතට විහිදුනු කඳු ... කොළම කොළ පාටින් ගස් වලින් වැහිලා ...
ඈත ගලන මහවැලි ගඟ .. රිදී පාටින් දිලිසෙනවා ..
පහල ගෙවල් , ගොඩ නැගිලි ගිනි පෙට්ටි වගේ ....

මෙහෙම ලස්සන බලනකොට එක පාරටම මහා හුළඟක් එනවා ... මීදුමෙන් පහල දර්ශනය වැහෙනවා .. වැසි පොද  වැටෙනවා .. කට්ටිය කුඩ ඉහළගෙන ලෑස්ති වෙනවා .. ඒ පමාවෙන් හුළඟත් වැස්සත් මීදුමත් ඈතට ගිහින් අයෙත් පහළ දර්ශනේ පේනවා ..

හරි ලස්සනයි . හරිම ලස්සනයි .. හැමෝම එක සද්දෙට එකම සද්දෙට ...

කදු වැටි වල , පහළ නිම්න වල ලස්සන බලල , trip එකක අනිවාර්ය අංගයට හැමෝම සුදානම් වෙනවා ..

PHOTO SHOOT එක ..

මතක සටහන් විදිහට තියාගන්න , මූණු පොතේ හැමෝටම පෙන්න දාන්න , Profile pictures ,එකී මෙකි සැම දේටම :D
S 4, S 3, S 2, TIPO , X Peria .. හොඳ  හොඳ phone වලින් හැමෝම වැඩ පටන් අරන් ..
හිටගෙන . ඉඳගෙන ... අත් අල්ලාගෙන , බදාගෙන .. අන්තිමට අහසට පැනලත් photo ගන්නවා ..
කාලේ ගෙවෙනවා .පහලට බහින වෙලාව ...

ඔහොම ඉතින් ලස්සන මතක රැසකුත් අරගෙන , සතුටු සිතින් .. හෙට අපි සියල්ලෝම හර්න් දෙවියන් රකීවා කියලා , හැමෝටම හොඳ ප්‍රතිඵල ලැබෙන්න ඉල්ලමින් තවත් එක trip එකක් ලස්සනට ඉවර කරනවා ....

ප .ලි -trip එකක් ගැන බන්දු සමරසිංහ මහත්මයා ගයන ගීතයක් , අපි කියපු සින්දු ගැන අහල ලොකු අයියා මට පෙන්නුවා ,, බලන්නකෝ කට්ටිය මේ link එකෙන් ..

ටින් බෙලෙක්ක ටක්ක සද්ද හඬවලා
කබල්ම බස් එකක් සොයා
කොල්ලෝ ට්‍රිප් එකක් ගියා ....
ටින් බෙලෙක්ක




Friday, October 25, 2013

ජීවක පදට්ඨ කතා 7

දිනයට නියමිත දේශන අවසන්ව , වහා වහා නේවාසිකාගාර වෙත සිසුන් පියමන් කරන්නෝ ,කෙටි නිද්‍රවක් ලබා ගෙන , මත්තෙහි නැවත සූදානම්ව සැන්දෑ සතෙහි කණිසම වත්ම  රෑ වැඩ මුරය සඳහා නැවත රෝගී ආශ්‍රමය වෙත පැමිණීමටය .

ඉදින් සිසුහු හෝරාවක පමණ කෙටි නිද්‍රවක් ලබාගෙන අවදිව , ලහි ලහියේ ස්නාන ආදී කටයුතු කොට , නේවාසිකාගාර භෝජනාගාරයෙන් හෝ , අහර සපයන නැන්දණියලාගෙන් හෝ රසමසවුළු ලබා ගෙන වහ වහා අනුභව කොට ,සැන්දෑ අඳුර පැතිරෙත්ම , ජීවක සිසුවියන් නම් පාද චාරිකවෙන්ද , ජීවක සිසුන් නම් දෙසක් දඩු මොණර වලින්ද , රෝගී ආශ්‍රමය කරා යොදුන් තුනක් පමණ ගෙවා පැමිණෙත් ..

සිසුන් අදාළ තන්හි පැමිණ සූදානම්ව , රෑ ජාමයේ රෝග උත්සන්නව , රෝගී ආශ්‍රමයට කලබලයෙන්ම පැමිණි එකී මෙකි රෝගීන් විචාරන්නට වූහ.. ඇතුලත් කිරීම ලැබෙන තුරු දස , පසලොස් දෙනෙකු පමණ රෝගීන් ආශ්‍රම ශාලාවේ කෙලවර දිගැති බංකු මත අසහනයෙන්ම රැඳී සිටින්නටද  වුහ ..

හිස රුජාවට ලබාදෙන සුදු පැහැ කල්ක පෙති විෂ වන තෙක්ම පානය කල රෝගීන්ද , මැසී තෙල් , වල් මරණ තෙල් ආදී නොයෙක් විෂ පානය කල රෝගීන්ද , සුරාවේ මහත් සේ ගැලීමෙන් අක්මාව කුණු වන තරමට පත්වූ රෝගීන්ද , ඩෙංගු නම් උණ සන්නිපාතය වැළදුනු රෝගීන්ද මෙසේ පැමිණි රෝගීන් අතර මහත් සේ විය . හදවත් රෝගීන්ද , අංශ භාග රෝගීන්ද මේ අතර හමු නොවුයේද නොවේ ...

සිසුහු ලහි ලහියේ වෙද  නලාගෙන , දනිස් මිටි ගෙන පොත පතින්ද කියවමින් රෝගීන් විචාරන්නට වුහ , රෝගීහුද  ප්‍රසන්න මුහුණු දක්වා  තම රෝග විස්තර කීමට මැලි  නොවෙමින් ''ඉගන ගන්නා සිසුන් නොවේද '' ආදිය සිතමින් මහත් සහයක් සිසුන්ට ලබා දුන්හ ..

මෙසේ සිසුහු  රෝගීන් විචාරන අතර තුර එකිනෙකා මුණගැසී කතිකා කරන්නෝ , තමාට භාර වූ රෝගී සංඛ්‍යාවද , ඉන් විචාරූ රෝගී සංඛ්‍යාවද , නාම ලේඛනයේ දක්වා තිබුනා වුවත් ආශ්‍රමය තුල අතුරුදන්ව ඇති ආදී තතු පිලිබඳවය ...

හොරා සතරක් පමණ ගතව යයි ..

රෝගී විචාරිමද අවසානයට ලං වෙයි . තෙහෙට්ටුව හා මහන්සියෙන් පිඩාවට පත්වන සිසුන් , තම සටහන් සම්පූර්ණ කරනු වස් රෝගී ශාලාවේ ඉදිරියේම ඇති තරමක් විශාල වන හෙද මණ්ඩලය භාවිතා කරන මේසය අසලට තාවකාලිකව රැස් වෙත් ..

අයෙක් පත් ඉරු මත මනාකොට සටහන් තබත් , තවකෙක් දිනයේ දේශන පිලිබඳ තම අදහස් දක්වත් , ඉන් මත්තෙහි සියල්ලෝම ළඟ ළඟම ඉදිරියේ වන විභාගය මතක්ව තැති ගනිත් .. ඒ සියල්ල සමග ආගිය තොරතුරුද කතිකා කරත් ,,, පාඨශාලාවේ සිසුන් අතර  රිකිලි ලන මඟුල් තුලා , ගුරු වරුන්ගේ ක්‍රියාවන්  ... අසහාය රජුගේ ක්‍රියාවන් ....මෙන්ම  බෝල සෙල්ලමෙන් රට ලබූ ජය .....

රාත්‍රිය ගත වෙයි , එකොලොස පසුව හෝරා භාගයක්ද ගත වෙයි , දැන් දැන් සිසුන් නින්දේ , නොනින්දේ මෙන් පසු වෙයි ,,, නායක තෙමට ''අපිට දැන් යා නොහැකිද ??'' ආදී ලෙසින් ඇවටිලි කරයි ..

''අපි සියල්ලෝ රාත්‍රී දොලොස කණිසම තෙක්ම රැදී සිටිය යුත්තේ වෙමු ..''
අප වේලාසන පිටත් වූ බව ගුරු මෑණිය දැන ගතහොත් ඈ උරණ වනු නොවනුමානය ''
ඉදින් තව වෙලාවක් රැදී සිටිමු ''
ආදී ලෙසින් නායක තෙම නුවණැති බස් කියන්නට විය .

නායක තෙමගේ බසින් දිරි ගෙන සිසුන්ද කෙසේ හෝ දොළොස කණිසම තෙක්ම රැදී සිට,  ලතින් නටුමෙහිද , පීනිමෙහිද , අංගම්පොරහිද දක්ෂ වූ , නායක තෙම , පිටව යාම සඳහා අනු ජීවක ශ්‍රේණි දරන ජීවක වරයෙකුගෙන් අත්සන ලබා පැමිණි වහාම මිටින් හල කුරුල්ලන් සේ වහ වහා නේවාසිකාගාර  වෙත පිය නැගූහ ,,,

ඉතිරිය මතු දිනයේ .....













ජීවක පදට්ඨ කතා 6

සුපුරුදු ලෙසින්ම නම් ගම්  ආදිය දක්වමින් , තමා රෝගී ස්ත්‍රිය පරීකෂාවෙන්  ගම්‍ය කොටගත් තතු අර්ශමඩ් සිසුවා දක්වන කල්හි , ගුරු මෑණියෝද මනා කොට සවන් යොමා අසා සිටිත් , අතරින් පතර සිසුන්වගෙන් එකී මෙකි පැනද විමසත් ,,, එපැන හමුවේ බසෙහි මුඛරි වන්නා වූ අර්ශමඩ් සිසු තෙම නා නා විද තතු දක්වමින් ,තතු පහදමින් බියක් සැකක් නැතිවම වාචල්‍ය වෙත් ....

අර්ශම්ඩ් සිසු තෙම කරුණු දක්වා අවසාන වත්ම , රෝගී පරික්ෂාව ඉගැන්නුම් කරනු වස් , සිසුන් අමතා ගුරු මෑණිය කියන්නී ''දරුවනි තොප අතරින් කෙනෙකු ගම්‍යව ,තොප පෙර වසර වලදී උගත් අයුරින් රෝගියා පරික්ෂා කරන අයුරු දක්වව ''
තොපගේ ක්‍රමෝපයන්හි වැරද්දක් වේ නම් මම පෙන්වා දෙන්නෙමි .. පෙර උගත් දේ මුල සිටම නැවත ඉගන්වීම නම් කාලය කා දැමීමක්ම වන්නේය ''
එබස් හමුවේ මන්දෝත්සාහි වන සිසුන් දැක සිත් තැවුල් ගන්නා ගුරු මෑණිය උරණ බසින් කියන්නී
''ඉදන් වහ වහා කව්රුන් හෝ ඉදිරිපත් වව් '', මෙය තොපගේ කාලයයි , මගේ කාලය නොවේ '' කියාය ..

කෙසේ  හෝ මොහොතක් දෙකක්  නිහඩව මන්දෝත්සාහි වූ සිසුන් අතරින් ගම්‍ය වන්නේ ,කවරදාක වුවද  මෙවන් ඉදිරිපත් වීම් සඳහා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වන අභය සංඛක නම් ජීවක සිසු තෙමය ..

අභය සංඛක පෙරට පැමිණ , සිරිත් පරිදි රෝගී ඇඳෙහි දක්ෂිණ දිසාවට ගමන් කොට , රෝගී ස්ත්‍රියගෙන් මනා කොට අවසර රැගෙන හිසේ සිට පාදාන්තය දක්වා පරික්ෂා කරන්නට වන්නේය , පරික්ෂා කරන අතරම තම සොයා ගැනීම්ද  කණ්ඩායමට ඇසෙන සේ කියන්නටද වන්නේය ...

''මැය ඇඳෙහි සුවසේ හාන්සිව සිටී , නමුත් රෝගී ස්වභාවයක් පෙනේ , අතින් ඇල්ලු විට උණ ගතියක් නම් නැත්තේය , ඇසෙහි රත් පැහැය නම් මඳය , ලේ මඳ කමක් දක්වයි , නමුත් ඇස් කහ පැහැ නම් නැත්තේය ආදී ලෙසින් සිසුවා කියන්නට විය ... ගුරු මෑණියද බලා සිටින්නට විය ....

සුසුවාගේ රෝගී පරික්සුම් ක්‍රමෝපයන් බලා සිටින ගුරු මෑණියෝ ,''මේසා දුරට තොපගේ වරදක් නම් නැත්තේය , දැන් උදර පරික්ෂාව කරන අයුරු දක්වව යි කියන්නීය ...''

එබසට අවනත වන අභය සංඛක සිසු තෙම ,අනෙකුත් සිසුන්ගේද සහය ඇතිව රෝගී ඇඳ වටා වට තිර ඇද ,රෝගී කතගේ සළු  සීරුවෙන් මෑත්කර පරික්ෂා කරන්නට විය .. ගුරු මෑණියද බලා සිටින්නට විය ..

සිසු තෙම උදරයේ පෙනුම සාමාන්‍ය බවද , උදරය ඇකිලී හෝ පිම්බී නැති බවද ,බාහිරව පරික්ෂා කොට බලා සැල කරමින්  ,තම දකුණත  රෝගී කතගේ උදරය මත්තෙහි තබා , ඇගේ අක්මාව ඉදිමී ඇත්දැයි , මහත් සේ රෝගී උදරය දෙසට  නැඹුරුව පිරික්සන්නට විය ..

සිසුවා මෙසේ මහත් ආයාස ගෙන පෙරට නැඹුරුව උදරය පරික්ෂා කරනු දැක , ගුරු මෑණි තොමෝ සිනාවෙන් මුව සරසාගෙන  කියන්නෝ '' දරුව තොප පිරික්සන්නේ අක්මාව ඉදිමී ඇති බව නොවේද ?? කිමද තොප මේ නැති වූ යමක් සොයන්නා සේ මෙතරම් නැඹුරු වන්නේ ??
'' සිටුව මා තොපට නිවැරදි ක්‍රමය දක්වන්නෙම් '' කියා පෙරට විත් තතු දක්වමින් නිවැරදි ක්‍රම දක්වන්නට විය ,, ඉදින් සිසුහුද මනා කොට දෑස් විහිදා සිට සියලු ක්‍රමෝපායන් ඉගැන්නුම් ගත්හ ...

එදිනද නිමා විය  ,එනමුදු සිසුනට පිටව යන්නට ගුරු මෑණිය සන් කලේ   එදිනට රෑ වැඩමුරය යෙදී තිබෙන බැව් සිසුන් හමුවේ මතක් කර දෙමිනි

රෑ  වැඩමුරය මතු දිනයේ ......

Wednesday, October 23, 2013

අත්තම්මා



ඒ 2010 ඔක්තෝම්බර් මාසේ ... මගේ විශ්ව විද්‍යාල ජීවිතේ දෙවෙනි වසර , බොහොම ගැස්සිලි පැද්දිලි ගොඩක් මැද  ගෙවුන කාලයක් වගේම මගේ ජීවිතේට ලොකු පන්නරයකුත් ගෙනාපු කාලයක් .

දියවැඩියාව , අධික රුධිර පීඩනය යන ,රෝග දෙකෙන් වසර දහයක් විතර පීඩා විදිමින් හිටපු අත්තම්මා හදිසියේම අසනීප වෙනවා . ඊට කලිනුත් කීප සැරයක්ම අසනීප වෙලා රෝහල්  ගත කරලා ,පසුව සුවය ලබාගෙන එන්නට අත්තම්මාට  ශක්තිය තිබුනත් ,2010 වෙනකොට  අවුරුදු 89ක ආයුකාලයක් ගත කරලා තිබ්බ අත්තම්මට , හදිසියේම මේ අසනීප වුනු වෙලාවේ අසනීප  එක්ක හරි හරියට ඔට්ටු වෙන්න එච්චර ශක්තියක් නම් තිබ්බේ නෑ .

අසනීප තත්වයන් තමන්ගේ බලපරාක්‍රමය පතුරුවද්දී අත්තම්මා හෙමින් හෙමින් පරාජය බාරගන්න සූදානම් වුනා .. නමුත් අපිට අත්තම්මා පරදින හැටි බලාගෙන ඉන්න පුළුවන් වුනේ නැති නිසා වහාම රෝහල් ගත කරලා අසනීප වලට එරෙහිව නැගී සිටින්න අත්තම්මට ඕනේ ශක්තිය, බලය  ලබාදෙන්න අපි හැමෝම රෑ  දවල් දෙකේම ගොඩාක් මහන්සි වුනා ..සති එකහමාරක් ගත වුනා...අන්තිමට අත්තම්මට දෙන්න පුළුවන් ශක්තියේ උපරිම සීමාවට අවා ..ඒ අනුව ඒකාලේ එම රෝහලේම සීමාවාසික පත්වීම දරපු ලොකු අයියා අදාල වෛද්‍යවරුන් එක්ක කතා කරලා ,අත්තම්මව ගෙදර එක්කරගෙන ආවා ..

ඒ වෙනකොට අත්තම්මට අපි කවුද , ඉන්නේ කොහෙද කියන්න පුළුවන්කමක් තිබ්බේ නෑ , නැගිටින්න ඇවිදින්න ,අතක් පයක් හොලවන්නවත් පුළුවන්කමක් තිබ්බේ නෑ .. අත්තම්මා හිටියේ කෝමා තත්වයක ..

අත්තම්මට අවශ්‍ය ආහාර දියරමය ලෙස නහයට දාපු බටයකින් ( Naso Gastric tube )ලබාදෙන්නත් ,Saline  වගේ දියර වර්ග ලබාදෙන්නත් , ලොකු අයියා කටයුතු කලා .. නිතරම ළඟ ඉදිමින් ඒ සියල්ල ගැන බලන්න වෛද්‍ය ශිෂ්‍යාවක් වුනු මට විශේෂ වගකීමක් ලොකු අයියා භාර දුන්නා  . මගෙත් එක්ක හරි හරියට අත්තම්මට උවැටන් කරන්න  අම්මා , නැන්දලා , ඥාති අක්කලා , නංගිලා , මල්ලිලා ඔක්කොමත් ළඟම  හිටියා

තවත් සතියක් ගතවුණා  , සති අන්තේ එළඹුනා ..සතියක් විතර නිවාඩු දාලා හිටපු මට , 80% attendance නීතියට අනුව සදුදා යන්න සිද්ධ උනා .. Physiology tute   එකකුත් එදාටම වැටිලා ..කිසිම දෙයක් පාඩම් කරලා තිබ්බේ නැති නිසා tute එක වෙලාවේ පිලතුරු දන්නේ නැතුව හිටගෙන ඉන්න වෙයිද , එලියට දායිද , වගේ නොයෙකුත් දේවලුත් මගේ ඔලුව අස්සේ බියකරු හීන වගේ කැරකෙන්න පටන් ගත්තා ..

සදුදට එලි වුනා .. පාන්දර 4ට  බස් එකට නගින්න , 3 අවදි වෙලා ලෑස්ති වෙලා කෙලින්ම ගියේ අත්තම්මා බලන්න මහා ගෙදරට (අත්තම්මගේ මහා ගෙදර තියෙන්නේ අපේ ගෙදර ළඟම  එහා පැත්තේ )

අම්මත් . නැන්දලත් , අත්තම්ම ගාව , විදුලි බුබුලේ එළියෙන් අත්තම්ම දිහා මම බැලුවා ...

නිතරම දීප්තියෙන් දිලිසෙන ඒ අහිංසක ඇස් , අද මලානික වෙලා , කොහේදෝ ඈතට යොමුවෙලා ..
සුදු කෙහෙරැලි විසිරිලා ගිහින් ....
තොල් වල , මූනේ පාට සේදිලා ......
saline එක දිගටම ගමන් කරනවා ......

''අත්තම්මේ මම යනවා '' , අත්තම්මගේ අත අල්ලාගෙන මම කියනවා , වෙනදට ගොඩක් උණුසුමට දැනෙන ඒ අතේ මට දැනුනේ තරමක සීතලක් ....
මූණේ හිනාවක් රඳවාගෙන , ''ආ හීං දුව යන්නද??'' වෙනද වගේ අත්තම්මා මගෙන් ඇහුවේ නෑ .
මගේ හිත ගැහෙනවා , ඇහේ කදුළු නැගෙනවා ...අත්තම්මා දැන් දැන් කතා කරයි , මන් දිහා බලයි කියල හිතෙනවා ...
මගේ මුළු ඇඟම කෑ ගහල කියනවා ,, ''අය්යෝ අද රාගම  යන්න බෑ කියලා ''

මම නැමිලා , අත්තම්මගේ කකුල් අල්ලලා වදිනවා ...

''බුදුන් දැක නිවන් දැකපන් ''
පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ ''

අත්තම්මා වෙනද වගේ මට ආශීර්වාද කලේ නෑ ....
අත්තම්මගේ විසිරුන කෙහෙරැලි හදමින් ''අත්තම්මේ මට යන්න බෑ  කියලා ''  මම ඇඩුවා ...අත්තම්මා  නිසොල්මනේ .....
''ඔයා ගිහින් එන්න පුතේ .. අපි අත්තම්මව බලා ගන්නම් ''අම්මත් , නැන්දලත් මාව අස්වැසුවා ...

'' ඔව් ශීත කාලය පැමිණේවි .. හිම කැට සහිත මහා නපුරු සුළි සුළං හමාවී , ඒත් ඉන් ඔබ්බෙහි වසන්තය  එනවා සත්තමයි ,,'' ගුරු ගීතයේ දෙබසක් මට මතක් වෙනවා ... හිත තද කරගෙන ඇවිත් , මගේ ළඟම යාලුවෙක් වෙන නිමේෂත් එක්ක රාගම එන්න පිටත් වෙනවා .. අත්තම්මා  ගැන අහල එයත් මාව සනසනවා ..

7.30ට රාගම .. 8- 12.15 lectures .. 12.15-1.15.. දවල් කෑම  පැය .. 1.15 -4.15.. tutes , practicals... පාඩම් කරලා තිබ්බේ නැතත් , කොහොම කොහොම හරි යලුවොන්ගෙනුත් උදවු ඇතිව , කරදරයක් නැතුව සියල්ලටම මූණ දෙනවා .. අතර මැදින් අත්තම්මව , අම්මව මතක් වෙනවා ...කාලේ ගෙවෙනවා ...

4.15ට  වැඩ ඉවර වුන ගමන්ම බෝඩිමට  ඇවිත් , ගෙදරට call කරනවා ... එක සැරයක් .. දෙසැරයක් .. තුන්සැරයක් .... පිළිතුරක් නෑ ... මගේ හිත ගැස්සෙනවා ..''කෝ මේ ගෙදර මිනිස්සු ...'' මට කෙන්තියකුත් එනවා ... ඊට පස්සේ ලොකු අයියට කතා කරනවා ... එයාගෙනුත් නෑ පිළිතුරක්  ... දුක වැඩි වෙන මම , පුංචි අයියට , නැන්දලට ඔක්කොටෝම කතා කරනවා ...

කිසිම පිළිතුරක් නෑ .... විනාඩියෙන්  විනාඩිය ගත වෙලා 5.30ට ලං වෙනවා ...
''නෙළුම් ගෙදර අයට මොකක් හරි වැඩක් ඇති .. එයාල පස්සේ කතා කරයි .. ඔයා  දැන් ඇඟ හෝදගෙන එන්න , අපි තේ බීල පස්සේ අයෙත් කතා කරමු  ...'' මගේ room mate පියුමි කියනවා ...

''හ්ම්ම්ම් .... අනේ ඉතින් කාටහරි   කතා කරන්න බැරිද ?.... අනේ මන්දා.... ''මම දිග හුස්මක් පිට කරනවා ...

මම ඇඳට වෙලා .. අත්තම්මා ගැන , ගෙදර ගැන අම්ම ගැන හිත හිත  ඉන්නවා ...

වෙලාව 6 පහු වෙනවා ...

මගේ දුරකථනය නාද වෙනවා ... ලොකු අයියා ...

''ඇයි කතා කලේ නැත්තේ ,,, කෝ අම්මා   ,,,මම ගොඩක් සැරයක් ගත්තා ,,,, ''ගිනි කන්දකින් ලෝදිය පිටවෙනවා වගේ මම එක දිගටම කියාගෙන කියාගෙන යනවා ...''

''නෙලුම් ... ගෙදර ටිකක් කලබල ... එයා හෙමීට කියනවා ...
ඔයාටත් මේවා තේරෙනවනේ ...
අත්තම්මා වයසයි ,,
අපි හැම දෙයක්ම කලානේ අත්තම්මට .......''

වෙලාව අරගෙන හෙමින් හෙමින් ....එයා අත්තම්මා අන්තරා වුනා කියල කෙලින් කියන්නේ නැතුව මට වටෙන් ගොඩින් කියනවා .......

දුරකථනය විසන්ධි කරන මම ඉකි ගගහ අඬනවා .... අත්තම්මගේ වචන ... කරපු කියපු දේවල් නිමක් නැතුව මට මතක් වෙනවා ...
මගේ අඬන සද්දෙට බියපත් මුහුනෙනේ බලාගෙන ඉන්න පියුමි ...මගේ දුක අඩු කරන්න විවිධ දේ කිව්වත් මම ඒවා අහන්නේ නැතුවම දිගටම අඬනවා ....

වහාම මට ගෙදර යන්න හිතෙනවා ... රෑ වුනත් කමක් නෑ කියල හිතෙනවා ...

නැවතත් දුරකථනය නාද වෙනවා , කදුළු මතින්ම මම කතා කරනවා ... ''පුංචි අයියා මට ගෙදර එන්න ඕනේ ''.. මම කියනවා ... ''දැන් ඔයාට එන්න බෑනේ , දැන් රැ වෙලා ...මම හෙට එන්නම්  ඔයාව  එක්කන් යන්න ... අපි හැමෝම ඉන්නවා ඕනේ වැඩ කරන්න ... ඔයා  හෙට ආවම ඇති එයා  කියනවා..

''අම්මා කෝ ?''මම අහනවා ... අම්මට ගොඩක් දුකයි ,, ඔයා හෙට ඇවිත් අම්මට කතා කරන්න '' එයා  එහෙම කියද්දී අම්මත් ගොඩක් අඬනවා ඇති කියලා මට හිතෙනවා ..

''ඔයා එන්න ඕනේ නෑ , මම පරිස්සමින් කෝච්චියේ උදෙන්ම එන්නම් ..'' මම කියනවා ..
පුළුවන්ද ? එයා අහනවා ...
''ඔය එන එක අපරාදේ ... මම එන්නම් ...''

එහෙම කියලා මම පහුවදා උදෙන්ම කෝච්චියේ ගෙදර එනවා ...රෑ නින්දෙදි වගේම , කෝච්චියේ එන මඟ දිගටත් අත්තම්මව මතක් වෙනවා ,,, කදුළු නැගෙන ඇස් අනෙකුත් මගීන්ගෙන් හංගගන්න වෑයම් කරමින් පැය 3කින්  ගෙදරට එනවා ...

ගෙදරට යන පාර මළගෙදරක සිරිය අරන් .. සුදු කොඩි පාර දෙපැත්තේ
මහා ගෙදර වෙනස් වෙලා .. තාවකලික hut  කීපයක් ඉදිවෙලා .. පුටු .. සෙනග ,, කොඩි වැල් ..

මම කෙලින්ම යනවා අත්තම්මා බලන්න ...

සුදු සේද රෙද්දක , රෝස මල් , ඔර්කිඩ් මල් ගොන්නක් මැද , සුදු උඩුවියනක් මැද්දේ මගේ ආදරණීය අත්තම්මා සුව නින්දක ..
දෑස් වැහිලා .. තොල් නිහඬ වෙලා ...  උණුසුම් අත් සුදු අත්වැස්මකින් වැහිලා ... උඩරට ඔසරියක් ඇඳලා ... අත්තම්මා නිසොල්මනේ ....

''අනේ මගේ අත්තම්මේ .... කියල මම කෑ ගහලා ඇඩුවා ... මගේ හිත ඇකිලිලා යනවා වගේ දැනුනා ...
ආයෙත් කවදාවත්  අත්තම්මා ''හීං දුව උඹ ආවද ?''කියලා  මගෙන් අහන්නේ නෑ  කියන බියකරු සත්‍යය මට අවබෝධ වෙද්දී කදුළු ,උණු දිය උල්පත් වගේ මගේ ඇස්  දෙකන් ගලාගෙන ගියා ...

අත්තම්මා ඔයා  මට පොරොන්දු උනා නේද , මම දොස්තර කෙනෙක් වෙලා එනකන්ම ඉන්නවා කියලා ?? ඇයි ඔයා ගියේ අපිව දාලා ??
මම හිතෙන් අත්ත්මගෙන් ඇහුවා ,
''හීං දුව ලොකු අත්තා මට එන්න කිව්වා , උන්දැටත් තිනිලු ... ඇරත් මම ගොඩක් කල් හිටිය නෙව උඹල එක්කල ''
''මම උඹ දොස්තර නෝනා කෙනක් වෙනකන් විතරක් නෙවෙයි උඹේ මුළු ජීවිත කාලෙටම උඹත් එක්කම මම ඉන්නවා ... උඹ හොඳට ඉගන ගන්න ඕනේ ..
උඹට රත්නත්තරේ පිහිටයි ... දැන් ඉතින් නාඩා ඉදින් හීං දුව ''

අත්තම්මා එහෙම කියනවා මට ඇහුනා ..

2010 ඔක්තෝම්බර් 25 දින අප අතරින් වියෝ වූ අත්තම්මාගේ  තෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ආදරයෙනි ......
මගේ දුක බෙදාගනිමින් මගේ ළඟම සිටි නිමේෂා , පියුමි , සචින්තා  යන සොයුරියන්ද ආදරයෙන් සිහිපත් කරමි ...



















Tuesday, October 22, 2013

ජීවක පදට්ඨ කතා 5



දෙවන දින උදා වූවේය .. පෙර දින සේම සූදානම්ව සිසුන් ආශ්‍රමයට ලහිරු රැස් මතින්ම පැමිණ , රෝගීන් විචාරීම අරඹන්නෝ , පුරුෂ  රෝගී අංශයේ සිසුන් නම් සැනසෙත් ... ස්ත්‍රී රෝගී අංශයේ සිසුන් නම් තැති ගනිත්, මන්දයත් නම් අද දෙවෙනි දින ගුරු මෑණියෝ  රෝගීන් විචාරන්නේ ස්ත්‍රී අංශයේ වීමය ..

සැනසුම් සුසුම් හෙලමින් රෝගීන් විචාරන පුරුෂ රෝගී අංශයේ සිසුන්ගේ මුව කමල ප්‍රීති සිනාවෙන් එකලු වෙයි , හදෙහි බිය නැති වෙයි .....ඔවුන් මඟ බලන්නේ , අද දින  රෝගීන් විමසන්නා වූද  ,අනු ජීවක ශ්‍රේණි දරන්නා වූද ,සැම විට ප්‍රිතියෙන්ම මුව සරසාගෙන සිටින්නා  වූද  , ලාබාල වූද  , මහත් කුළුණින් සිසුන් අමතන්නා  වූද  , ජීවක ගුරු පියා පැමිණෙන තුරුය ....

ඉදින් ගුරු පියා පැමිණෙත් , සිසුන්ද වහ වහා එතුමන් අබිමුඛයට පා තබත් ..

සුබ උදෑසනක් වන්නට , දීර්ඝ ආයු වන්නට ,මනා ප්‍රසන්න මුහුණින් ප්‍රීතිව ,සිසුන්ට ආසිරි පතමින් රෝගීන් විචාරීම අරභන ගුරු පියා කෙරේ සිසුන්ද ,තම  හද පතුලෙන්ම නැගෙන්නා වූ අව්‍යාජ සුහර්ෂය පුද දෙමින්  රෝගී ශාලා වට යාමට සැරසෙන්නෝය .....

රෝගීන් විචාරන අතර තුරදීම , විවිධ පැන අසමින් , සිසුන්ගේ පිළිතුරු විවරණය කරමින් ඉගැන්වීම් කරන ගුරු පියාට සිසුන් ලොල් වුහ ...එතුමෝද , විවිධ කිරණ යවා ශරීර අභ්‍යන්තර ව්‍යාධීන්  ගම්‍ය  කොට ගැනීමට භාවිත කරන පත්‍ර ආදියත් , හර්ද රිද්මය දක්වන දිගු පත් ඉරු ආදියත් ගෙන සිසුන්ට තව තවත් ඉගනන්නීම්  කළහ .. සිසුහුද ,සහයෝගිව කතිකා කරමින්ද  , විවධ පොත් පත් කියවමින්ද  , විශ්වයේ දැනුම් සාගරය නම් අන්තරීක්ෂ ජාලයට තම කබා සාක්කුවේ වන කුඩා හතරැස් උපකරණ වලින් පිවිසෙමින්ද ..ගුරු පියාගේ පැන වලට පිළිතුරු සෙවුහ ..

ඉදන් මෙසේ කාලය ගෙවෙන කල්හි  , ඉහත කි සිසුන් සතු, පණිවුඩ ද යැවිය හැකි , දුර සිටින්නෙකු අත දුරක මෙන් ඇමතිය හැකි, එම පුදුම එළවන උපකරණ වලට හදිසියේම පණිවුඩ ලැබෙන්නේ , ස්ත්‍රී රෝගී අංශයේ සිසුන්ගෙනි ,, ස්ත්‍රී රෝගී අංශයට වහා පැමිණෙන ලෙස ගුරු මෑණිය සන්කල  බවට කියැවෙන එම පණිවුඩ දැක සලිතවන පුරුෂ අංශයේ සිසුහු , ගුරු පියාට එබස් දන්වා අවසර ගෙන වහ වහා පිටව යන්නෝ ස්ත්‍රී රෝගී අංශය වෙතටය  ...

සිසුන් එහි ලඟාවත්ම , ඔවුන්ගේ දෑසේ චිත්‍රණය වූයේ , එක්තරා රෝගී ඇඳක් අසල මෑණියද , සෙසු සිසුන්ද රැස්ව යම් ගැඹුරු කතිකාවක යෙදී සිටින අයුරුය .. ඉදන් පුරුෂ අංශයේ සිසුන්ද සීරුවේම පැමිණ කණ්ඩායමට එක්වුහ ....

කතිකාව නම් ලේ මඳ කම නිසාවෙන් දැඩි වෙහෙසිනුත්  , හිස රුජාවෙනුත්  පෙලෙන  දමිළ රෝගී කතක් පිළිබඳවය ...දමිළ  හෝ වේවා ,ඉස්ලාම් හෝ වේවා හෙළ බස කථා කිරීමේ අපහසුතා දක්වන රෝගියෙක් වේනම් එම රෝගියා භාර වන්නේ , දමිළ  භාෂාව  මවුබස කොටගත් අර්ශමඩ් නම් සිංහල ජාතික නොවන සිසුවාට බව කණ්ඩායමේ පිළිගත් ඒකමතික තීරණය වූ නිසාවෙන් මෙකි දමිල රෝගී කාන්තාවද ඔහුටම භාර විය ..

රියන් සයක් පමණ උස වුද , මුඛරි වුද අර්ශමඩ් ජීවක සිසුවා , සටහන් තැබූ පත් ඉරු මතින් දෑස යවමින් විවිධ ඉඟි බිඟි පාමින් තමා  කැටි කරගත් කරුණු ගුරු මෑණිය ඉදිරියේ දක්වන්නට විය ...

ඉතිරි කොටස මතු දිනයේ .......



අපේ Medicine



සුදෝ සුදට ඇඳ clinical කෝට්        එක .
steth එක දමා ගෙලවට වී උදම්    නෙක .
Pre clinical අවසන් වී             දෙවසරක.
Clinical පටන් ගත්තා හීනද        ලොවක .

ගන්නට කියා හොඳ සායන         ඉතිහාසේ .
කියෙව්වේ ඉතින් macloidaya      බෝසේ .
අමතක වේය බය වී එහි අනු       කොටසේ .
හැදුවා  card format ලස්සන         සමසේ .

Negombo ගියේ medicine        කරන්නට .
බස්රිය වෙලා සූදානම්               වෙලාවට.
අතරින් පතර ළමයෙක් අඩුවුණු        කලට.
හැර අන්දා අපි එහි ගියෙමුය             අටට .

මොනිටර් අපේ බණ්ඩාරගේ හොඳ    කමට .
අටක් බැගින් විය රෝගීන්           බලන්නට.
සූදානම මදිවී ward round                  එකට.
ඇඳ ඉහපතේ පිහිට පැතුවා අපි           එකට .

සර්ගේ අපේ busy schedule             මැද්දේ .
කෙරුවෙන් ward  round හා අන් සියලුම  දේ .
අපහට උනේ නෑ කරදර                  මැද්දේ .
අපෙ පොඩි වැරදි තිබුනත් කල යම් යම්      දේ .

තට්ටු අටක මීගමු                 ඉස්පිරිතාලේ .
ලැබුනේ අපට හොඳ සැලකිලි    හැමවේලේ .
තිබ්බේ අපෙ බෑග් doctors ' room   එකේ .
වගේ නෙවෙයි රාගම නම් කබඩ්      එකේ .

Clinical වැඩි යමක් දන්නැති         කාලේ .
දකිමින් clubbing මවිතව අපි සිටිය   වෙලේ .
Rhonchi , Crepts හඬට දෙසවනම   සැලේ .
Murmur වලට මුළු ලෝකය එකලු     කලේ .

පළවෙනියට අපි ඇල්ලුව spleen        එක .
හැමදා මතකයේ ඇත නොමැකෙන ලෙසක .
තුති දෙමු ඇත්තටම අපි            අන්කල්ට .
කවදාවත් බෑ කිව්වේ නෑ                   අපට.

තිත් පොළගෙක් කලා ලේ වමනේ   දමා .
ආපු ලෙඩාගේ diplopia             බැලුවා .
ගුවන්තොටුපොලෙන් කෙලින්ම එහි අවා .
London අන්කල්ගේ  fit එක මතක් උනා .

මීගමු ලෙඩ්ඩු නම් හරි හරියට   බොනවා .
කෂිප්පු අයියා එලෙසට දුනි අපට     ඔවා .
ECG වලනම් ඇති දෙයක්             නැත .
Colombo අයියා ගත් පන්තිය මතක ඇත .

දවස් දෙකක් හවසත් ඉඳ ලේ    ගත්තා .
catheter දාන්න  අපි ඉගනත්   ගත්තා .
IC tube  දැමීමත් අපි දැක       ගත්තා .
හැම එකටම signuth අපි අර     ගත්තා.

දවසින් දවස මාසෙම හෙමිහිට     ගෙවුනා .
මොනිටර් නම් අන්තිමේට උනේ ' ගොනා' .
ලස්සන කමිසයක් සර්ට තෑගි           කළා .
සමුගෙන ආවා ජය පාර්ටියකුත්         දීලා .


මෙය හුදෙක් සුන්දර Negomoboහිදී කල පළමුවැනි medicine  appointment එක සිහි වී කම්මැලි කම යන්ටත් එක්ක මා  ලියපු කවි සංකල්පනාවකි. සිංහල බසට හෝ ගෞරවනීය වෛද් වෘතියට හානියක් හෝ විහිලුවකට ලක් කිරීමක් මෙහි නොමැති බව සඳහන් කරනු කැමැත්තෙමි . මෙහි NEGOMBO ලෙස භාවිතා කලේ අපිට පුරුදු වචනය නිසාය ......

ඇනස්තීසියෝලොජි

ඇනස්තීසියෝලොජි  හතරවෙනි අව්රුද්දෙ අන්තිම වගේම පොඩිම appointment එක .විභාගෙත් ඉවරවෙලා හවස lecturesuth නැති නිසා සතුටින් සැහැල්ලුවෙන් ගෙවිල ගියා . කවදාවත් නැතුව මට මේ පර රාගම යනකොට බෑ කියලා හිතුනෙත් නෑ ,ඒ  දවස් දෙකෙන් ගෙදර ඉදලා කම්මැලි හිතුන නිසා වෙන්න ඇති .ඉතින් මාසෙකට විතර පස්සේ අලුත් appointment එකට හැමෝම උදෙන්ම ඇවිත් main theater එක ළඟ .

 අපේ කණ්ඩායමේ  හත් දෙනයි . බට්ටා  නොහොත්  රුවන් , බින්දු /බණ්ඩාරේ  නොහොත්  අයේෂ් , කොනා /කොමා /කොමසාරිස් නොහොත් සමිත් ,කුමි/buzz නොහොත් කුමරිනි ,BMI  17.5 ට  අඩු නිසා  චූටි  දිලිනි වූ දිලිනි , චලා නොහොත් අචලා සහ මම.(මෙය ලියන්නේ මම නිසා මගේ සුරතල් නාමය නොලිවීමට අයිතිය ඇත්තේය .) හැමෝගෙම මූණු සතුටින් පිරිලා , ආගිය තොරතුරැ කතාව පටන් ගත්තා .

 බොහොමයක් ඉතින් විභාගේ විස්තර  තමා . එක්කෙනෙක් unit  එක fail වෙයි කියලා බය වෙනකොට තව එක්කෙනෙක් A එකක් වත් එන්නේ නෑ  කියලා දිව්රනවා , එත් බහුතරය බය උනේ commed  එකට . ඊට පස්සේ trip  එකක් යන්න යෝජනා පටන් ගත්තා , මුලින්ම  මැටිහක්ක මාතලේ හරහා reverstern යන්න , ඊට පස්සේ කුරුණෑගලින් දවලට කළා ඇතගාල නගින්න .ඊටත් පස්සේ අයෙත් අපේ ගෙදරින් කිරිබත් කාලා අම්බුළුවාව නගින්න . ඊට‍ පස්සේ monitor කවුද කියලා ප්‍රශ්නේ මතුඋනා .ice ම appointment කලේ මම නිසා monitor මම වෙන්න ඕනේ කියලා බණ්ඩාර කිව්වත් , අන්තිමේදී අපේ කොනා අපිට හොදා කියලා කොනා monitor කරන්න හැමෝම ඒකමතිකව තීරණය කරගත්තා .(මීට අවුරුදු හතරම රෙපා වීමේ කොනාගේ රාජ යෝගය බලපෑ බවද සඳහන් කරනු කැමැත්තෙමි .)

ඔහොම ඉතින්  කතා ටික කියද්දී ඉබේටම 8ට  ලඟ  නිසා theater  එක ඇතුලට යන්න  අදාල  ඇදුම් ඇදගෙන කට්ටියම ලෑස්ති උනා . ඒ  අතරේ අපි cap දානකොට කවදත් සැර  N  එකෙන් පටන් ගන්න නමක් තියන ගුරුතුමා ඇවිත් , theater එකේ කොරිඩෝව අවහිර කිරීමේ වරදට අසු කර දෝෂාරෝපණය කිරීමෙන් කට්ටියම panic  attack එකකට  ලක්වුණා . එකෙන්  upset  වෙච්චි  කට්ටිය  හෙමින් සීරුවේ theater එක ඇතුලට ගියා .
 අපිට අදාළ තැනට ගියාම , anesthesiology introduction class  එක තිබ්බා .anesthesia machine  එකත් ඉගන ගත්තා . suxamethonium, Ach ව්‍යුහ  වගේම  භාගික  අසවනයෙන් ඊට  අවශ්‍ය  වායු ලබා ගන්නා බවත් කියවුණු  ඒ පන්තිය පැය  2ක්  විතර  තිබ්බා . කට්ටියගේ  concentration  එක  ක්‍රමයෙන්  අඩුවෙද්දී  මැඩම් ඇවිත් අදාල  procedures  පටන්  ගන්න උපදෙස්  දෙනකොට කට්ටියම  සැහැල්ලු හුස්මක් එකටම පිට කළා.
 හැමෝම cannula  5ක් දාන්න , IV drips  5ක් හදන්න , airway  manage කරන්න වගේ වැඩ නියම වෙලා තිබ්බා . ඉතින් පළවෙනියටම අපේ කොනා සාර්ථකව cannula  එකක් දැම්මා . පිලිවෙලින්  චලා , මම  කුමි සහ හැමෝම සාර්ථකව cannula දාන්න  ඉගනගත්තා . සාර්ථක  iv  drips  හදන්නත්  iv antiboitic හදන්නත්  හැමෝටම පුළුවන් උනා . drip  එක ඇඟේ  ගිය , antibiotic එලියට ගිය , බෝතල් බිම වැටුණු  පොඩි පොඩි වැරදි උනත් කට්ටියම සාර්ථක උනා කියලා කියන්න පුළුවන් .දෙවෙනි දවසේ airway  manage කරලා  කට්ටියම උරහිස් පොඩ්ඩක් රිදෙනවා කියලා කිව්වා . එත් සතුටෙන්  මැඩම්ගේ  පන්තියට  සහභාගී උනා , ඇත්තටම  මැඩම්ගේ  class  කට්ටියටම  අල්ලලා ගියා.

ඔහොම ඉතින් දවස් ටික හෙමින් හෙමින් ගෙවිලා  යනකොට සමනල සන්ධවනිය නරඹපු මතකයත් වගේම , ඝන පූර්ණය සම්පූර්ණ කිරීම වස් අපි සහභාගී වුනු R  සර් ලගේ පන්තිත් එකතු උනා . විවේක වේලාවකදී  කොනාගේ c + එකක් දෙන රස කථා , බණ්ඩාර dermatologist  කෙනෙක් වෙන කතා ,චූටි දිලිනිගේ පූසන්ගේ විස්තර වගේම , අනාගතේ දවසක තනියම මම විසින් මෙහෙයවන වෛද්‍ය සාකච්ඡ ගැනත් කතා උනා . පස්වෙනි දවසේ  අපි පුදුම කරමින් ,පලවෙනි වතාවට consultant  කෙනෙක්ගෙන් අපිට party  එකක් ලැබුනා . ඒ අපේ මැඩම්ගේ 35 වෙනි උපන්දිනය වෙනුවෙන් . රස කේක්  කාපු  කට්ටියටම සතුටුයි . ඉතින් හෙමින්ම දවස් 6ම  ගෙවිලා ගියා 4th  yr  එකම ඉවර කරමින් , සතුටුයි වගේම දුකයි . හ්ම්ම්ම්  දැන් ඇති අපේ මැඩම්ට සුභ උපන්දිනයක් වේවායි  පතමින් මම නිහඩ වෙමි . අසා  සිටි ඔබ සැමට ස්තුති , අපේ කණඩායමට  ජය වේවා !!!

Monday, October 21, 2013

ජීවක පදට්ඨ කතා 4..



කුමරන්තනිය , ගුරු මෑණිය හමුවේ මෙසේ කියන්නට වුවාය ..

''ගුරු මෑණියනි , මෙම රෝගියා වූ කලි , දිගු කාලීන කැස්සකින් ද ,වායුන් ගමන් කල නොහැකි වන්නා වූ පුප්ඵුශීය රෝගයකින්ද  පෙළෙන්නෙකි ,අද දින ආශ්‍රමයට පැමිණ ඇත්තේ කැස්ස උත්සන්න වීමෙනි ''

එබස් අසන ගුරු මෑණියෝ මෙසේ කියත් , ''දරුව තොප රෝගී නිධානය දැක්වීමට ලබා ගත් ආරම්භය නම් නිවැරදි නොවන්නේමය ,කිසි විටකත් රෝගියා පෙළෙන්නා වූ, පෙර නිශ්චය කරන ලද රෝගී තත්ත්ව දක්වමින් තතු සැල නොකලව , තොප ආරම්භ කල යුතු වන්නේ රෝගියා පෙලෙන කැස්ස පිළිබද තතු දැක්වීමෙනි .තොප මෙම රෝගියා පුප්ඵුශීය රෝගයකින් පෙලෙන බව ආරම්භයේම කියා සිටීම සුදුසු නොවන්නේමය ...''

ගුරු මෑණියන්ගේ එබස් අසන කුමරන්තනියගේ මුහුණ බිමට නැමෙත් නැමෙත් ,සෙසු ජීවක සිසුන් විපිළිසර වෙත් වෙත් ,ගුරු මෑණියෝ දිගින් දිගටම බස් කියත් කියත් ....

''කැස්ස නම් වියළිද , සෙම් සහිතද ආදිය තොප දැක්විය යුතු සේම , ස්වසන ,රුධිර සංසරණ , මෞත්‍ර ආදී පද්ධති එකින් එක ගෙන ඒවගේ සංකූලතා දක්වමින් රෝග නිශ්චය කරා තොප ස්වාධීනව එළඹිය යුතුය ..''
ආදී ලෙස මනාකොට රෝග නිශ්චයට එළඹෙන සැටි ජීවක සිසුන් හමුවේ ගුරු මෑණියෝ පෙන්වා දෙන කල්හි සිසුන් සාවධානව අසා සිටියෝය ...

එම ඉගැන්වීමෙන් අනතුරුව ගුරු මෑණියෝ රෝගී ඇදන් කීපයක්ම අවැසි කටයුතු කරමින් පසුකරයන්නි , ජීවක සිසුන්ගෙන් කිසිවක් නොවිමචාරාමය .. ඉදින් එම රෝගී ඇදන් භාර ජීවක සිසුන් නම් හෙලන්නේ සැනසුම් සුසුම්මය .. නගන්නේ ප්‍රීතී ප්‍රීති බස්මය ...
එසේ රෝගී ඇඳන් පසු කර ගොස් එක්තරා ඇඳක් අසල නැවතී සිසුන්ගෙන් අසන්නී ''මේ රෝගියා නම් කාගේද ?'' වන සුපුරුදු පැනයමය ... එබසින් තැති ගෙන අවදි වන ජීවක සිසුන් අතරින් සිසුවෙක් ගම්‍ය නොවන්නට විය ... මඳ වේලාවක් ගතවිය ..සිසුන්ද වට පිට බලමින් විපිළිසර වද්දී තරමක් කිපෙන ගුරු මෑණියෝ නැවතත් අසන්නී  ''මේ රෝගියා නම් කාගේදැයි ''කියාය .

එබස් අසන කල්හි ඉදිරියට පැමිණෙන්නේ කෝණ චින්තන නම් ජීවක සිසුවෙකි

''ගුරු මෑණියනි රෝගියා නම් මාගේය'' ඇසෙන නෑසෙන හඬින් සිසුවා කියන කල්හි , ''එසේ නම් ඉදිරිපත් වන්නට පමා වුයේ කිමද ??'' එබස් හමුවේ කෝණ චින්තන කිසිවක් නොකියාම සිටිද්දී ..''මෙම රෝගියාගේ රෝග නිධානය කියා සිටුව''  තරමක අනඥා ස්වරයකින් කියා සිටින්නී ගුරු මෑණියෝය .

ගුරු මෑණියනි මෙම රෝගියා පැමිණ ඇත්තේ කොන්දේ වේදනාවක් නිසාය , එය නම් දැනට පස් දිනක් වන්නේය ...සිසුවා කියත්ම ...'' තොප රෝගියාගේ කොඳු නාරටිය පරික්ෂා කොට සොයා ගත් තතු දක්වව ''
ගුරු මෑණියෝ කියත් ..

ඒකැන්හි සටහන් තැබූ පත් ඉරු පෙරලා , සිසුවා අදාල තතු සොයන්නට වීම ගුරු මෑණියෝ කුපිත කරවන්නක්ම විය , දැන් දැන් කුමක් වේද කියා අනෙකුත්  ජීවක සිසුන්ගේ මුඛ ශ්ලේෂ්මල සිඳ වන්නක්ම විය

''ගුරු මෑණියනි මාගේ පරික්ෂා කිරීමට අනුව රෝගියාගේ කොඳු නාරටියේ බාහිරින් පෙනෙන්නට කිසිම ව්‍යාධියක් නොතිබුනේය ''..සිසුවා කියත්ම ගුරු මෑණිය අසන්නී ''තොප සිතන ආකාරයට ශුෂුම්නාවේ කුමන නම් තලයක ව්‍යාධිය පවතීද යන්නය .. එම පැනය හමුවේ පිළිතුරු බඳින කෝණ චින්තන සිසුවා කියන්නේ ව්‍යාධිය නම් උරස් තලයේ බවය ..''තොපට එය ඒකන්තද ?'' ග්‍රරෛවි තලයේ විය නොහැකිද ?? ගුරු මෑණියෝ අසත්ම සිසුවා නිරුත්තර වන කල්හි .. ගුරු  මෑණියෝ කියන්නී ''දරුවා තොප රෝගියා නැවතත් පරික්ෂා කොට බලනු නම් මනාය කියාය ....''

එසේ කියා එම ජීවක ආශ්‍රමයේ දිනක් නිමා  කරන්නට  සියල්ලන්ම පැමිණ සිටිත්දැයි විමසමින් , පැමිණීමේ නාම ලේඛනය මත ගුරු මෑණියෝ තම අත්සන යෙදා ,පිටව යන්නට ජීවක සිසුන්ට සන් කළාය ....

ඉතුරු කොටස මතු දිනයේ ....









විචාර


එක්තරා  ලොකූ විභාගයක් ඉවර වෙනවා . නිවාඩු ලැබිලා මම ගෙදර එනවා , ආව ගමන්ම සෙන්කොට්ටන් කියවනවා . ''අම්මේ එකේ ලස්සන ''මට එහෙම හිතෙනවා . ඊට පස්සේ කාල සර්ප ඒකත් ලස්සනයි . දැන් චිත්‍රපටි , ආෆ්ටර් අර්ත්  විල් ස්මිත්ගේ , මොන්ස්ටර්ස් යුනිවර්සිටි ත්‍රිමාණ කාටූන්  ,නව් යු සී මී ...තව තව එක දිගටම දවස් ගානක්ම . බලන්න පෙරුම් පුරාගෙනමනේ හිටියේ ඉතින් විභාගේ ඉවර වෙනකන් ...

ඔන්න දැන් මට  ඒවා ඇති වෙනවා , මනුස්ස සොබාවේ ... ''දැන් අලුත් දෙයක් කරමු නෙළුම්'' මගේ හිත කියනවා ..''.මොකද්ද අලුත් දේ ''හිතත් එක්ක මම හිතනවා ...''ලියමුකො අපි කතාවක්'' හිතෙන් යෝජනාවක්. ''හ්ම්ම් හොදයි හිත, අපි ලියමු ,මටත් කම්මැලී   '', මම හිතේ යෝජනාවට එකඟ වෙනවා , සිංහලෙන් ලියන්න , හොයල හොයල ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාගන්නවා ..ඔන්න මම ලියනවා ...

මුලින්ම ඉතින් මූණු පොතට , එක කතාවක් . කවියක් , තව කතාවක් ...යාලුවෝ කැමතියි .. මටත් ,හිතටත් සතුටුයි ..''ඔයා ලියන්න බ්ලොග් එකක් , ඒපාර යෝජනා යාලුවන්ගෙන් .... ''හ්ම්ම්ම් හදමුද බ්ලොග් එකක් හිත ??'' මම අහනවා හිතෙන් ...'' මට නම් බයයි '' හිත බය වෙනවා .. ''අනේ මන්දා ඔය දන්නේ නැති දේවල් ''හිත පස්සටම යන්න ලෑස්තිය ... ''ඒකත් කරලා බලමු .. අලුත් දෙයක් ... ඇරත් මටද, ඔයාටම නේද අලුත් දේ ඕන නිතරම ??'' හිතත් මාත් වාදෙක ... අන්තිමට හිත ''හා එහෙනම් , ඔන්න මම නම් නෑ ඕවගේ නටල වැඩ අවුල් වුනාම ''හිත බේරෙන ගමන් මට කැමැත්ත දෙනවා ...

ඔන්න මම බ්ලොගර් කෙනෙක් ...

 මම කතා ලියනවා . යාලුවෝ කියවනවා .. විවිධ විචාර ලැබෙනවා ... ඔක්කොටෝම ස්තුතියි , මගෙත්  හිතෙත් ප්‍රණාමය පලකරන්න හිතාගෙන , ලියපු කතාව මඟ තියලා මම විචාර ලිපිය ලියනවා .. ඇරත් අද ටිකක් බය හිතෙන දවසක් .. අර ලියපු අමාරු විභාගේ ප්‍රතිඵල එන්නෙත් අද ...

ඉස්සෙල්ලම  කතා ලියල මම පෙන්නන්නේ අම්මට ... ''හරි ලස්සනයි .. තව ලියන්න ''... අම්මා කවදත් කියන්නේ හොඳ විතරයි ... උණ හපුළුවට උගේ පැටියා මැණිකක් ලු ....

''අප්පච්චි ඔයා හරි නරකයි ...ඔයා මගේ කතා කියවන්නේ නෑ .''..කතා කියවන්න වෙලාවක් නැති අප්පච්චිත් එක්ක මාත් , හිතත් උරණ වෙනවා ...''අනේ මන්දා  සිංහල , ඉංග්‍රීසි එකට දාල ලියන ඔයාගේ කවි  ඒත් ඒවා හොඳයි .. මාත් හිතත් පුදුම කරමින් අප්පචි කියනවා ..''ඔයා ඒවා කියෙව්වද ?? පොත තිබ්බේ මගේ ගාව ,,,අපි අප්පච්චිගෙන් අහනවා ...''ඔයා කරන හැමදේම මට පේනවා .. ඔයා කරන හැමදේම මම දන්නවා ...'' අප්පච්චි හිනා වෙවී එහෙම කියනකොට හිතටත් මටත් සක්‍ර දෙයියෝ මතක් වෙනවා ,.....

දෙයක් සියුම්ව බලන්න .. ලස්සනට අඳින්න .. ලස්සන ඡයාරූප ගන්න වෙනම කලා ඇසක් තියන .. කියවන්න එච්චර කැමති නැති පුංචි අයියටත් අපේ  කතා කොහොමහරි වදෙන් පොරෙන් පෙන්නුවා ...

පලවෙනි කතාව බලලා .. ''මේක compressed වැඩියි .. වෙන්කරලා ලියන්න එපැය ''අනික මේ , ස්තුතියි  කියල ලියල තියන හැටි වැරදියි නේද , හරියට ලියන්න බැරිනම් නොලියා ඉන්නවා ''එයා එහෙම  කියනවා   ..''ඔව් ඇත්ත තමා .. හිතත් මාත් වැරැද්ද හදාගෙන ඊළඟ කතාව ලියලා ඒකත් පෙන්නුවා ..
ඒක යටටම යනකන් scroll කරලා .. එකේ දිග දැකලා හිනාවෙන ගමන් එයා මෙහෙම කිව්වා ..
''adobe reader හරි මොකක් හරි නැද්ද මේක මට කියවලා දෙන්න .. එතකොට මම headphone එක දාගෙන අහගෙන ඉන්නම් ... ''
''අනික් එක මම නම් ඔය බ්ලොග් සීන් කෝන්ස් දන්නේ නෑ . හැබැයි නෙට් එකේ වැඩ කෑලි දන්නා නිසා කියන්නේ, හොයල බලනවා ඕකේ මොකක් හරි payment කෑල්ලක් අස්සේ තියනවද කියලා ''
එයා එහෙම කියද්දී මාත්  හිතත් තරහ වෙලා එතනින් ආවත් පස්සේ වෙලාවක nice  work  කියල පුංචි අයියගේ comment එක දැකලා හිතටත් මටත් ලෝකෙම සතුට දැනුනා ...එයා කථා කියවලා ...

හොඳම විචාරේ ගන්න පුළුවන් පොත් ගොඩක් කියවන , මගේත් හිතෙත්  පොඩි වයස බලන්නේ නැතුව චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් , චින්ගීස් අයිත්මතව්ගේ ගුරු ගීතය , මිහයිල් ශෝලොහොව් ගේ පෙරලූ නැවුම්පස ,වගේ පොතුත් ආතර් c කලාක්ගේ 2000.2010 වගේ පොතුත් කියවන්න මාත් හිතත් යොමු කල ,  ඉරිදට කොටස් බෙදා ගන්න බැරුව ලංකාදීපෙටයි , දිවයිනටයි රණ්ඩු වෙන ලොකු අයියගෙන් නිසා  .. ටිකක් ඈත ඉස්පිරිතාලෙක වැඩ කරන ලොකු අයියා එනකන් මාත්  , හිතත් හිටියේ මඟ බලාගෙන, එහෙම  ඉඳලා , සෙනසුරාදා එයා ගෙදර ආව ගමන්ම කතා බලන්න බලන්න කියලා දාස් පාරක් විතර කිව්වා .

''ඔහොම ඉන්නවා ඉතින් , ඉස්සෙල්ලා මගේ යාළුවන්ට මොකද වෙලා තියෙන්නේ බලන්න එපැය , '' එහම කියල මූණු පොතේ එක එක යාලුවෝ හොයනවා එයා , අන්තිමට මටත් හිතටත් ඇතිවෙන්න ලං වෙනකොට , මගේ කතා බලල එයා , ''මේවා ගොඩක් raw කියනවා '' ඒ කියන්නේ?? අපි අහනවා ,'මෙහෙමනේ කතාවක් ලියන කොට වෙච්චි විදිහටම ලියන්නේ නැනේ , මිනිස්සුන්ට ගන්න දෙයක් තියන විදිහට ලියන්න ඕනේ , ඔයාට තිබ්බා තව කියවන්න '', එහෙම කියලා එයා නුවන් තොටවත්ත අයියගේ කවියක් පෙන්නුවා . (එය මෙම ලිපිය අවසානයේ දක්වා ඇත )

මමත් හිතත් හතන දේට , ඒ විදිහට විචාර ලැබුනේ ගෙදර අයගෙන් ..
ඇත්තටම මෙහෙම අපිට ලියන්න මං පාදපු අද දිව්‍ය ලෝකේ ඉන්න දෙන්නෙකුත් ගැන මේ වෙලාවේ කියන්නම ඕනේ .. මගේ අත්තම්මයි , ලොකු අත්තයි .
පොඩි කාලේ මාව උකුලේ තියාගෙන ජයමංගල ගාථා , ජාතක කතා කියන්නේ ලොකු අත්තා , ඒවගේම ගැටබෙරේ ගහලා
''දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත ,
 පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත''
''නොන්ඩි පැංචි යන ගමනේ
සිමන් පැංචි සම්බ වුනේ
තුට්ටු දෙකට රා අරගෙන
දෙන්නා බිබී සණ්ඩු උනේ '' වගේ කවි කිව්වෙත් ලොකු ත්තා .. ඒවගෙන් මාත් හිතත් ගොඩක් දේ ඉගන ගත්තා

මගේ ලඟින් ඉඳගෙන මෛත්‍රී බුදු හාමුදුරුවෝ බුදු වෙන හැටිත්
''නුඹේ අම්මා කොතැන ගියේ
 කිරි අරගෙන එන්ට ගියේ
කිරි මුට්ටිය ගඟේ ගියේ
ගඟට උඩින් කොක්කු ගියේ'' වගේ කවිත් රස කරලා කිව්වේ අත්තම්මා ,, ඒවගේ වටිනාකම මනින මිම්ම මාත් , හිතත් දන්නේ නෑ

 ඉතින් දැන් විචාර ඉවර කරමු , හිත කියනව ... මගේ කතා බලල , කියවල රස විදලා මාත් හිතත් එක්ක සතුටු වෙන හැමෝටම ගොඩාක්ම ස්තුතියි ..ඔයාල කියන දේවල් මට ගොඩාක් වටිනවා , මම ඒවා ඔක්කොම කියවනවා , සතුටු වෙනවා , වැරදි හදාගන්නවා ...
මේවා ඔක්කොම පුංචි වැසි බින්දු  , බලමු ඉතින් ඉස්සරහට මටත් හිතටත් පින්නක් වෙලා ,වැස්සක් වෙලා , ගඟක් වෙලා අන්තිමට මහා සාගරෙටම යන්න පුලුවන්ද කියලා ... ඔයාලත් අපිත්  එක්කම ඉඳීවි කියල මාත් , හිතත් තදින්ම විශ්වාස කරනවා .....


නුවන් තොටවත්ත අයියාගේ කවිය ....
 නිදහස් අධ්‍යාපනය

ළමා කැල:
හෝඩි පොතේ අකුරු අරන්
අමුනා නෙක අරුත් හදන්
හිතේ වදන් මාල බඳින අපේ ගුරුතුමී

අතීතයෙන් දැනුම අරන්
උදේම පන්තියට ඇවිත්
හිතේ නුවණ මල් පුබුදන අපේ ගුරුතුමී

ගුරුතුමී:
සිතුවම් පොත අතට ගන්න මං අඳිනා මල අඳින්න
හැම පෙත්තම එකම ලෙසට අඳිමු දරුවනී
පාට පෙට්ටි දිග ඇරගෙන මං කියනා පාට අරන්
පෙත්ත පෙත්ත හනික පාට කරමු දරුවනී

ළමා කැල:
හිතේ පිපුණු මලේ පාට කඩෙන් ගෙනා පාට අතර
කොච්චර හෙව්වත් දැක්කේ නෑනෙ ගුරුතුමී
ගුරුතුමී:
පුංචි හිතේ පාට බලා විභාගයට ලකුණු දෙන්න
ආස උනත් ඒක කොහොම කරමි දරුවනී

ළමා කැල:
අපේ හිතේ පිපෙන මලට අපට කැමති පාට දෙන්න
පුළුවන් දවසක් කවදා එයිද ගුරුතුමී
ගුරුතුමී:
ඔයාලා වගෙම තවමත් කාලසටහනේ කොටුවල
ගුරුතුමී උනත් මම හිරවෙලා දරුවනී

ළමා කැල:
කන්ද උඩින් පහළ බිමට
දිය අරගෙන හෙමින් ඇදෙන
වැව් පුරවන ගඟක් වගෙයි
අපේ ගුරුතුමී

( උල්පත - හෙට ගඟක් වනු පිනිස )





Sunday, October 20, 2013

ජීවක පදට්ඨ කථා 3



හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණියෝ සපැමිණි කල ,රෝගීන් විචාරමින් රෝගී ශාලා'' වට යාමට'' , අනු  ශ්‍රේණි දරන ජීවක පිරිස් සත්දෙනෙක්ද එකෙනෙහිම , එහි ආහ . ඒ අනුව රෝගීන් විචාරීමට , ජීවක සිසුන්ද ඇතුළුව මහත් වූ කණ්ඩායමක් රැස්වූ නිසාවෙන් , රෝගීන්ද විස්මයට පත් වුවේ වුවත් ,ගාරම නම් මෙය  ශික්ෂණ රෝගී අශ්‍රමයක් බැවින් රෝගීන් මෙවන් රැස්වීම් වලට , සිසුන්ගේ ඉගනීම් වලට යටත් වන්නට සූදානම්ව සිටියෝය .

ඉදින් පිරිස පළමු රෝගී ඇඳ වෙතට ආහ . එකල්හි සීමාවාසික ශ්‍රේණි දරන්නා වූ ලාබාල ජීවක තෙම රෝගියාගේ ඇඳ ඉහපත රැගෙන , රෝග නිධානයද , නියම කල ඖෂධයන්ද  පිරිසට ඇසෙන සේ කියවන්නට විය . ඒ කියවීම් සාවදානව අසා  සිටි  ජීවක ගුරුමෑණි තොමෝ ඉන් සෑහීමකට පත්ව රෝගියා පරික්ෂා කොට බලා රෝගියා වෙනුවෙන් මතු කල යුතු දෑ ආදී උපදෙස්  , ඒ සීමාවාසික ජීවක තැනට ලබාදී අවසන , සිසුන්ගේ දැනුම පරික්ෂා  කොට  බලා ඉගැන්නීම් කිරීමට , සිසුන් දෙසට හැරී ,'' මේ රෝගියා නම් කාගේදැයි '' පැහැදිලි හඬින්  ඇසුවාය .

ඒ හඬින් අවදිව , සටහන් තැබූ පත් ඉරු ආදිය පෙරලමින් , තරමක කලබලයක්ද ඇති කරමින් , ජීවක සිසු පිරිස අතරින් ඉදිරියට පා තබන තඹරනි නම් ජීවක සිසුවිය, ''ගුරු මෑණියනි මේ රෝගියා නම් මාගේයැයි'' කියා සිටියාය . ගුරු මෑණි  තොමෝ ඕ දැක  '' දරුව මේ රෝගියාගේ රෝග නිධානය කෙසේ වත්ද ?'' අසා සිටියාය .
එම පැණය හමුවේ තම සිතුවිලි එකලාස කරගෙන , රෝගියාගේ නම්. ගම් , වයස් ආදියෙන් ආරම්භ කොට රෝග නිධානය නම් හර්දය වස්තුවේ  පූර්ව කොටසේ කොටසක්  , තාවකාලික රුධිරය මඳ  වීමක් වූවෙන් , මරණයට පත්ව ඇති බව යැයි එකත්පස්ව සිට කියා සිටියාය ..සිසුවියගේ එම පිළිතුරෙන් සෑහිමකට පත්ව , ''එසේ නම් දරුව  තොප මේ රෝගියාගේ බලාපොරොත්තු වන සංකූලතා නම් කවරේදැයි ''දෙවනුව අසා සිටියාය .

එවන් පැන හමුවේ , කොතරම් වන පොත් කල තිබුනේ වුවත් , පෙර දින රැයේ වන පොත් කලේ වුවත් , සියල්ල අමතකව ,සුදුසු පිළිතුර සොයා ගත නොහැකිව, නිරුත්තර වන ජීවක සිසුන් සියල්ලෝම සතු පොදු ධර්මතාවට  තඹරනි යටත් වුවේන් , විස්මිතව, හා බියව මඳ වෙලාවක් බලා සිට , කෙසේ හෝ වෙර ගෙන මතකය අවදි කර ,එකී සංකූලතාව ලෙස ,'' හර්දයේ රිද්මය නම් වෙනස් වී යා හැක්කයි ''කියා සිටියාය ..පිළිතුර පිළිගත් ගුරු මෑණියෝ ,''එය එසේ වතුද තවත් සංකූලතා නොතිබෙන්නේදැයි ''ගුරු මෑණි තොමෝ ඇසූ  පැනයට නම් තඹරිනියට පිළිතුරක් පලකල නොහැක්කේම  වුවේන්  , ගුරු මෑණිය සිසුවිය අමතා මෙසේ කීවාය .. ''දරුව  සංකූලතා නම් සතක්ම වන්නේය '', තොප වහා ගොස් , ''පර්වීනු  කුමාරානි'' නම් දඹදිව ඉපිද, වත්මන සුදු දේශයක සිට , කාය රෝග භෞතවේදය පිළිබඳව කෙල පැමිණ ,ලෝ පතලව ,ග්‍රන්ථ කර්මයේ යෙදෙන ඒ මහා ජීවක මෑණියන්ගේ පුස්තකය කියවා බලා අදාල සංකූලතා වනපොත් කොට ගෙන , ඉදින් මත්තෙහි වහාම  මා  හමුවට පැමිණ අදාළ තතු දන්වා  සිටිනුයැයි '' අණ කොට  සිසුවිය පිටත් කොට  හැරියාය .

ඉදින් තඹරිනියද ගුරු මෑණියන්ගේ බසට අවනතව , එකී මහාර්ඝ වුද  , රාත්තල්  ත්‍රිත්වයක් පමණ බරැති වුද, සිව්දහසක් පමණ පත් ඉරු වන්නා වූ ද, කාය  රෝග භෞතවේද ග්‍රන්ථය රැගෙන රෝගී ශාලාවේ පසෙකට වී වහ වහා වනපොත් කරන්නට වූවාය .

ගුරු මෑණි තොමෝ ඉන් මත්තෙහි අනෙකුත් සිසුන් දෙසට යොමුව පවසන්නී , ''හර්දය වස්තුවේ ඇති වන්නා  වූ මෙම රෝගී තත්වය නම් දැන් දැන්  බහුල වන්නේමය , ඊට හේතු නම් ජනයාගේ දුම් පානයද , තෙල් අධික ආහාර අනුභවයද  , ලුණු සහිත ආහාර අනුභාවයද , කුසීතව කය නොවෙහසා කාර්යය කිරීමද ආදී හේතුන් බව තොප දතයුතුය '', ''එසේම මෙකී කාරණා තොපගේ අවසන් වසර දීර්ඝ විභාග වලටද ඉතාමත්  වැදගත් වන හෙයින් , වඩ වඩාත් ධාරණය කොට ගෙන , හොදින් උගනිමට උත්සුකවව් ''කියා කාරුණික ඔවා දුන්නාය .

ඉන් අනතුරුව ජීවක පිරිස දෙවන රෝගී ඇඳ  වෙතට  පිළි පන්නෝය  , පළමු රෝගියාට කලාක් සේම දෙවන රෝගියා වෙනුවෙන්ද කලයුතු සියලු කර්මයක්ම ඉටු කොට අවසානයේ ;'' ගුරු මෑණියෝ ජීවක සිසු පිරිස අමතන්නී  , ''මේ රෝගියා නම් කාගේද?'' දැයි නැවතත් ඇසුවාය ..  පෙර තඹරිනිය , සේම සිසුන් අතරින් ගම්‍ය වන්නී කුමරන්තනී නම් ජීවක සිසුවියකි . ''ගුරු මෑණියනි රෝගියා නම් මාගේය ''සිසුවිය පවසත්ම, ගුරු මෑණියෝ සිසුවියගෙන් රෝග නිධානය කෙසේ වත්දැයි යි පෙරසේම අසා සිටියාය .

දිගු කාලීන කැස්සකින් පෙලෙන්නා වූ , මහලු මුත් මිත්‍රශීලී , රෝගියෙක් වූ , එම රෝගියා පරික්ෂා කොට , රෝගියා  කෙරෙන් උකහා ගත් කරුණු එකින් එක , ගුරු මෑණියෝ ඉදිරියේ කුමරන්තනිය මනා  කොට  පවසා සිටින්නට වූවාය .....

ඉතුරු කොටස මතු දිනයේ ....



Friday, October 18, 2013

ජීවක පදට්ඨ කථා 2



ඉදින් මේ ජීවක සිසුහු කණ්ඩායම , පසුදින උදෑසන සැව්ලන් හඬලන යාමයේම  අවදිව , උදැසන අරුණ කැන් මිහිතලය මත්තෙහි වන්නටත් පෙරාතුව ,පාඨශාලාවේ,'' නිර්මල ''නම් භෝජනාගාර කරුවාගේ ප්‍රණීත අහරින් මනා කොට කුස පුරවාගෙන , දොළොස්වන රෝගී ශාලාවට පැමිණියාහුය. කණ්ඩායමෙන් දොළොස් දෙනෙක් කාන්තා රෝගීන් විචාරීමටත් , එකොළොස් දෙනෙක් පිරිමි රෝගීන් විචාරීමටත් කථිකා කර ගෙන අදාළ ස්ථාන කරා  වන්හ

තම බඩු භාණ්ඩ ,ගමන් මලු ආදිය ,රෝගී ශාලාවේ පසෙක වූ ,තම කණ්ඩායමට වෙන්වූ  මල බැඳි ගිය ඉපැරණි ලෝමුවා පෙට්ටගමක ලා , සුදෝ සුදු ජීවක වස්ත්‍ර ඇඳ , වෙද  නලා , දනිස් මිටි ආදියත් ,ලිවීම සඳහා පන්හිඳ පත් ඉරු ආදියත් ගෙන සන්නද්ධව , ලහි ලහියේ පිටත්ව ගියෝ , රෝගීන්  ඇතුලත් කිරීමේ නාම ලේඛනය වෙතටය , තමාට වෙන්වූ රෝගීන් විචාරා ගන්නටය .

තරමක් පොරකමින්ද , ඇතුලත් කිරීමේ නාම ලේඛනයේ පත් ඉරු ඔබ මොබ පෙරලමින්ද ,සොයන්නේ තමාට වෙන්වූ රෝගින්මය , එක රෝගියෙක් හෝ මඟ අරුම උල හිදුවන්නා හා සමාන  වරදක් බව සිසුන් සියල්ලෝම දත් නිසාමය .

රෝගීන් විචාරා ගත් සිසුහු ,ඉන් මත්තෙහි රෝගී ඇදක් , ඇදක්  පාසා පා තබමින් , ඇඳ ඉහපතේ පත් ඉරු පිරික්සන්නෝ   ඒ තමාට වෙන්වූ රෝගියාම  දැයි සැක හැර දැන ගැනීමටය . රෝගීන් සැත්තා දෙනෙකු වන්නා වූ , මේ රෝගී ශාලාවේ රෝගීන් සියල්ලෝම  සිසුන් අතරේ වෙන්කර දීමට නායක රුවනාක් තෙමද මදක් අපහසුතාවට පත් වුවේය .

කෙසේ වතුදු දැඩි උත්සාහයෙන් රෝගීන් වෙන්කර දී , ''දැන් හොඳින් රෝගීන් බලමුයි '' කියා නායකයා මෙන්ම අන් සිසුන්ද රෝගීන් හමුවට ගොස් රෝගීන්  බලන්නට වුහ .
 නම්, ගම් ආදියෙන් පටන් ගෙන , රෝගී  නිධානය සොයා ගැනීමට නානාවිධ පැන  අසමින්ද , ස්වසන , රුධිර සංසරණ , උදර ආදී පද්ධති පරික්සමින්ද වෙහෙස වන්නෝ , අටකුත් හොරා භාගයක් පසුව රෝගීන් විචාරීමට හිරන්‍ය ගයාවර්ණි ජීවක ගුරු මෑණියෝ පැමිණීමට මත්තෙන් රෝගීන් බලා සූදානම් වීමටය .

ඉදින් වෙහෙසව රෝගීන් බලන කල්හි , අටකුත් හෝරා භාගයක් හරියටම පසු වන එකනෙහිම  හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණියෝ රෝගී ශාලාවට පිළිපන්හ .'' දැන් දැන් කුමක් වේද?'' , ''අපිට දොස් පරොස් අසන්නට වේද'?' , ''අපි රෝගීන් සියල්ලන්ම බැලුවා නොවේද?'' ආදී නොයෙක් බිය වඩවන සිතුවිලි වලින් පීඩිත වූ  ජීවක සිසු කැල,'' තිස් තුන් කෝටියක් දෙවියනේ අපට පිහිට වනු මැන ''ලෙසින් දෙවියන් අයදමින්ම හිරන්‍ය ගයාවර්ණි ජීවක ගුරු මෑණියෝ අභි මුඛයට ගියෝය ......


ඉතුරු කොටස මතු දිනයේ .....


ජීවක පදට්ඨ කතා 1

තවද එක් සමයක්හි මහින්සාසක නම් සාටක ධාරී රජ්ජුරු කෙනකුන්, කුරහන් මලින් ඉපිද ,තිදස් වසරක් දිග්ගැස්සී ගිය යුද්ධයක් නිමා  කොට ,රාජ්‍යය එක්සේසත් කොට ,දඬු මොනර තොට , නැව් තොට,ආලෝකයේ වේගයෙන් සිව්රිය ධාවනය කළහැකි මං ,ආදිය  තනවා ,සියලු බදු මුදා හැර ජනයා සුඛිත මුදිත කරමින් , සහෝදර මණ්ඩලයද සමගින් දසරාජ ධර්මයෙන් අනූනව රාජ්‍යය විචාරූහ .

එකල්හිම ගාරම නම් කදු මුදුනේ පිහිටි ජීවක පාඨශාලාවේ ,තුන් විසි දෙනෙකුගෙන් සැදුම්ලත් ජීවක සිසූහු කණ්ඩායමක් ,කාය රෝග භෞතවේදය හැදෑරීමෙහි  වස් , දෙමස් පුහුණු කාලයකට යටත්ව ,කාය රෝග භෞත වේදයේ කෙළ පැමිණි හිරන්‍ය ගයාවර්ණී නම් ජීවක ගුරු මෑණි තොමෝ වෙතට පිළිපන්හ .

 හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණි තොමෝ නම් , නෙක නෙක ජීවක විභාග සමත්ව , කාය රෝග භෞතවේදයේ බොහෝ අසු පිරූ තැන්  ඇතිව රාජ්‍යය සිව්කොන කිතු  ගොස නංවා , රෝගීන් මෙන්ම හෙද මණ්ඩලයටද  බොහෝ කුළුණින් බරව සලකන බවට නම් ඇත්තී වුවත්, ජීවක සිසුන් කෙරේ නම් දැඩි සිත් දක්වමින් , සියොළඟ ඩා බිඳු වැගිරෙන තෙක්ම මහන්සි වී අදාල ඉගනීම් කිරීමට සිසුන් යොමු කළා විය .

ඉදින් රුවනාක් නම් කණ්ඩායම් නායක තෙම , සිය කණ්ඩායමද සමගින් එක්තරා සඳු දිනක උදෑසනින්ම  ,පාඨශාලා අධිපති ලබාදුන් හසුන් පතද අතැතිව , හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණින්, රෝගීන් විචාරන ගාරම නගරය මාධ්‍යයේ වූ රෝගී ආශ්‍රමයේ දොළොස් වැනි ශාලාවට විත් , ගුරු මෑණි තොමෝ හමුව අවසර ලබාගෙන ,ඉගැන්නුම් ලබා ගනිමියි සිතා ,ගුරු මෑණියෝ පැමිණෙන තෙක් පෙර මඟ බලා සිටියේය .

මඳ වේලාවකින්ම දසත එකලු කරමින් සව් සිරි විහිදමින් රෝගී ශාලාවට පා  නගන්නී හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණි තොමෝය . ද්වාරය අසබඩ රැදී හුන් ජීවක සිසුන් දැක්කා නොදැක්කා සේම ශාලාවට පිළිපන් ගරු මෑණි තොමෝ දැක විස්මිත දෑස් ඇතිව  රුවනාක් නායක තෙමද ,කණ්ඩායමද සමගින් ගුරු මෑණි පසු පසින්ම  පා තැබීය .

ගුරු මෑණි තොමෝ රෝගී වාර්තා පිරික්සමින් . හසුන් පත් බලමින් සන්සුන් ස්වරයෙන් අමතමින් , අනු ශ්‍රේණි හොබවන්නා වූ ජීවක පිරිස්ද හෙද මණ්ඩලයද සමගින් රෝගී ශාලාවේ ගමන් ගන්නා බව දුටුවෙන් , ''මෙය නම් අවසර ලබා ගැනීමට සුදුසු වෙලාව නොවන්නේය , රෝගීන් බැලීමට බාධා කල නොයුත්තේමය ''සිතා , නායක තෙම සුදුසු වෙලාව එළබෙන තෙක් සන්සුන්ව එකත්පස්ව වුවත් ගැහෙන හදින්  යුක්තව බලා සිටියේය .

තම කටයුතු මනා කොට ඉටුකර ,රෝගීන් විචාරා සපැමිණෙන ගුරු මෑණියන් හමුවට , සිතේ ධෛරයය නංවාගෙන ,හසුන් පතද  රැගෙන ,අවසර ලබා ගනු වස්  රුවනාක් නායක තෙම එළඹියේය . ගුරු මෑණිය තමා  වෙතට එළඹෙන ජීවක සිසුවා දෙස නිරුක්සුම් ඇසින්, හිසේ සිට පාදාන්තය තෙක් බලා , සිසුවා දක්වාලූ හසුන් පත අතට ගත්තී එය විචාරන්නට වුවාය . හසුන්  පත කියවා සෑහීමකට පත්ව, තත් කාල , යාවත් කාල ආදී නැකත් බලා , ''එසේ නම් තොප සියල්ලෝම  හෙට සිට උදැසනම විත් රෝගීන් බලා කරුණු කාරණා දැනගෙන මනාව ඉගැන්නුම් ගැනීමට සුදානම් වව් '' ජීවක කර්මය නම් සුළු කොට තැකිය නොහැක්කේමය  , ඩා බිඳු සලා ඉගන ගත යුතුමය'' ආදී ඕවා දී මතු දිනයේ සිට ඉගැන්වීමට පොරොන්දු දී පිටත්ව ගියාය .

නායක තෙම මෙන්ම කණ්ඩායමද සැනසුම් සුසුම් පිට කර . මතු දිනයේ සිට මනාව රෝගීන් බැලීමට හිතට ගෙන පිටත්ව ගියහ ....

මෙහි දෙවැනි කොටස මතු දිනයේ පළවේ ......




Thursday, October 17, 2013

මං පොඩි කාලේ

මේ දවස්වල නුවරට පායනවා . එකම සුදු වලාකුලක්වත් නැති නිල්ම නිල් අහස. කහම කහ පාට ලස්සන අව්ව. මේ අහසයි අව්වයි දකින හැම වෙලේම මගේ හිත දුවන්නෙම පොඩි කාලෙට  , මොකද මේ නුවර අහස යට හරිම ලස්සනට මගේ පොඩි කාලේ ගෙවුන හින්දා .
ඉතින් මගේ ජීවිතේ ලස්සනම ඒ පොඩි කලේ ගැන මෙහෙම සටහනක් තියන්න හිතුවා .

මම පහ වසරට යනකන් ගියේ ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විදුහලට . එක වසරේ ඉදලා දහතුන වසරට ශ්‍රේණි තියන ගම්පොල හොදම බාලිකා  විදුහල වුනත් ඊට වඩා  විශේෂ වුනේ අපේ ඉස්කෝලේ පිහිටීම . ඇත්තටම ලංකාවේ එකම විදුහල වෙන්න ඇති මේ පිහිටීම තියන . අහන කෙනෙක්ට පුදුමත් හිතෙන මේ පිහිටීමට අනුව 1-3 ශ්‍රේණි තිබ්බේ නගරේ මෙහා කොනේ , 4-6-7-8-9 ශ්‍රේණි නගරේ මැද .10-13 නගරේ මැදම වෙනත් තැනක . 5 ශ්‍රේණිය තිබ්බේ  බීටියස් කියල කටවචනෙන් හදුන්වපු කන්දක් උඩ .

1-3 ශ්‍රේණි තිබ්බ පුංචි ඉස්කෝලේ තිබ්බේ අපේ ගෙදරින් මීටර් 300 වගේ දුරකින් නිසා මම ඉස්කෝලෙට ගියේ පයින් . උදේට අම්මා වැඩට යනකොට ගිහිල්ල දානවා .හවසට පල්ලෙහා නැන්දා කියල ආදර නමින් අමතන නැන්දත් එක්ක ගෙදර එනවා . නැන්දා කරන මේ ලොකු  උදව්වට, අම්මයි අප්පච්චියි හිතේ සන්තෝසෙටත් එක්ක පොඩි මුදලක්, නැන්දට හැම සතියෙම අන්තිමට දුන්නා .එහෙම උදේට අම්මා මාව ගිහිල්ලා අරලුවම මම බෑග් එක පන්තියේ තියලා ආපහු දුවගෙන එන්නේ ගේට්ටුවේ  එල්ලිලා අම්මා බස් එකට නැගල යන හැටි බලන්න . අම්මා බස් එකට නගින නැවතුම තිබුනේ පුංචි ඉස්කෝලෙට කෙලින්ම ඉස්සරහ . මම බෑග් එක තියල එන පමාවට ආපු බස්  එකක් අම්මව  අරගෙන ගිහින් තිබුනේ නැත්තම් අනිත් හැම වෙලේම අම්ම යනකන්ම මම ගේට්ටුවේ පැද්දි පැද්දි අත වනමින් බලන් හිටියේ අම්ම දිහා .

එක වසරේදී බෝල බෝල අකුරු ලියපු හැටි , එක දෙක කියල ගණන් කරපු හැටි ඇරෙන්න වෙන විශේෂ මතකෙකට එන්නෙ  මගේ පලවෙනි ගුරුතුමී වෙන ජයන්ති මැඩම් හා ඔෂින් කියලා නමක් තිබ්බ යාළුවා .හැම පොඩි ළමයෙක්ගේම හිතේ ඉන්න මල් මල් සාරි අදින ,කොන්ඩේ බදින ආදරණීය ගුරුතුමියක් තමා ජයන්ති මැඩමුත් . අපි හැමෝම ආදරෙන් බල ගත්තා .අකුරු ගණන් කියල දුන්නා . එක වසරේදී අපි හැමෝගෙම කොන්ඩේ  කොටට කපල තිබ්බට මගේ ඔෂින් කියන යාළුවාට නම් දිග කොණ්ඩ කරල් දෙකක් තිබ්බ , ඒවගේම එයාගේ නමත් ජපන් . එහෙම උනේ එයාගේ ජපන් සම්භවයක් නිසා නම් නෙවයි ඒ කාලේ වගේම අදත් ජනප්‍රිය ඔෂින් නාට්‍යය නිසා .

එක වසරෙන් සමත් වෙලා ප්‍රගති වාර්තාවේ A ගොඩක් අරන් දෙක වසරට ගියා . දෙක වසර තමා  මගේ දඟ පටන් ගත්ත කලේ . එහෙම වුණේ ඇත්තටම පලවෙනි වාරේම අපිට ගුරුතුමියක් හිටපු නැති නිසා . අපිට කැමති විදිහට සෙල්ලම් කරන්නත් දඟ කරන්නත් පුලුවන්  උනාට පුංචි ඉස්කෝලේ විදුහල්පතිනිය වුනු සමරකෝන් මැඩම් නම් අපේ දඟ අඩු ක‍රන්න පුළුවන් හැම උත්සහයම ගත්තා . පුළු පුළුවං හැම වෙලේම පන්තියට ඇවිත් අපිට ඉගැන්නුවා , අත්වැඩ  විදිහට කළු ලෑල්ල මකන කොට්ට හදන්න කියල දුන්නා . පාසල් වත්තේ මල් හදන්නත් අපිව යොමු කරා. සුදු ගවුම පුරාවට වතුර හලාගෙන බරට බරේ මල් බාල්දි උස්සගෙන ගිහින් වතුර දාපු හැටි මට තාම මතක් වෙනවා . මල් වත්ත ලස්සන වෙනකොට මගේ සපත්තු නම් මඩ වලින් වැහෙන්නේ ඒවා සුදු ක‍රන්න ගත්ත අම්මගේ මහන්සිය ඇසිල්ලකින් සුනු විසුනු කරමින් . ඒවගේම ඒවගේ මඩ  ගෑවෙයි කියල මම තැකීමක් කරෙත් නෑ .

සමරක්කොන් මැඩම් කාර්ය බහුල වෙලා පන්තියෙන් යනකොට ඉතින් අපිට අපේම රාජ්‍යයක් ලැබෙනවා , හදල හදල එකතු වෙච්චි කළු ලෑලි මකන වලින් යුද්ධ  කරන්න පටන් ගන්නවා . එහෙමත් නැත්තම් හොරෙන්ම පිට්ටනියට දුවනවා අල්ලන සෙල්ලමට . මම හිතන්නේ මට ඒ කලේ ADHD (Attention Deficit Hyper activity  Disorder) සුළු ප්‍රමාණයකින් හරි තිබ්බා කියලයි . මොකද මම ඒ තරමටම දඟයි . කොච්ච්ච්ර දඟද කියනවනම් එක දවසක් ගෙදර එනකොට මගේ ටයි එකත් නෑ . ඒකාලේ අපේ ටයි එක  තිබ්බේ පොඩි හැට්ට කටුවකින් රඳවන විදිහට . ඉතින් සෙල්ලම්  කරලා කරලා ගෙදර එනකොට ටයි එක මඟ වැටිලා . ගෙදර එනකන්ම ටයි එක නැති බවවත් මම දන්නේ නෑ .මම ඒ කලේ නරක ළමයෙක් කියල අම්ම කිව්වට  අම්ම ඉතින් මට හැමදාමත් ආදරේ හින්දා   ලස්සන ටයි එකක් පස්සේ දවසේ අරන් දුන්නා .

දෙවෙනි වාරේ ආපු   අලුත් ගුරුතුමී හින්දා අපේ දඟ වැඩ වලට තිත වැටුනා  . ඒ ගුරුතුමී අනික් ළමයින්ට අලුත් උනාට මට නම් අලුත් උනේ නෑ . මොකද ඒ මගේ නැන්දා  නිසා . දැරණියගල කියන ගමේ දුෂ්කර කාල සීමාව ඉවර කරලා නැන්දා අලුත් පත්වීම අරන්  ආවේ අපේ පන්තියට .
නැන්දා ආපු දවස් වල මට කියල විශේෂ සලකිල්ලක් පෙන්නුවේ නෑ ,හැබැයි එයා දඟ කරන ළමයි ලඟින් මාව වෙන්කරලා මදුවන්ති කියන ලස්සනට අකුරු ලියන්න ප්‍රසිද්ධ පන්තියේ හොඳම ළමයා ලඟට දැම්මා . මදුවන්තිගේ අකුරු ලස්සනයි කියලා අහලා තිබ්බට මම ඒවා දැකලා තිබ්බේ නෑ . එයා ළඟට ගිය මුල්ම දවසේ ඒ ලස්සන අකුරු මම දැක්කම, ළමයෙක්ට එච්චර ලස්සනට ලියන්න පුලුවන්ද කියලා හිතුනා . ඒවා ඒ තරමට රවුම් . සිංහල කියවන පොතේ තිබ්බ ''අමර '' සල් මල'' වගේ රවුම් අකුරු වගේමයි . ඉතින් මටත් ඕනේ උනා  ඒ ලස්සන අකුරු ලියන්න . පුදුමවෙච්චි මම මදුවන්තිගෙන් ඇහුව කොහමද ඒවා ලියන්නේ කියලා . එයා මහදන්මුත්තියක් වගේ මට කිව්වේ ඒකට හොඳට  පැන්සලේ තුඩ උල්වට තියෙන්න ඕනේ කියලා . එහෙම කියල ''කෝ පෙන්නන්න ඔයාගේ පැන්සල ''එයා  මට කිව්වා. මගේ පැන්සල අතට ගත්තු එයාගේ මූනේ ඇදුනේ හිනාවක් . ''අපෝ මේකේ තුඩ උල් නෑ .''එකනේ රවුමට අකුරු ලියන්න බැරි'' එයා මට කිව්වා . ඇත්තටම මගේ පන්සලේ තුඩ හොදටම මොට වෙලයි  තිබුනේ ඒ වෙලාවේ . ''කෝ දෙන්න මම උල් කරලා දෙන්න  '' මදුවන්ති ආදරයෙන් ඉදිරිපත් උනා . ''කටර් වලින් හරියටම තුඩ එන්නේ නෑ ''එහෙම කියලා එයා පැන්සල් පෙට්ටියෙන් බ්ලේඩ් එකක් අරන් සීරුවෙන් පැන්සල උල් කරන දිහා මම බලාගෙන හිටියේ හරිම අසාවෙන් . එයා උල් කරලා දුන්න පන්සලෙන් රවුම් අකුරු ලියන්න පුළුවන් තරම් මම උත්සහ කළා . මුලදී මුලදී ඒ තරම් රවුම් හැඩයක් ඒ අකුරු වලට නොතිබ්බට දිගටම මදුවන්ති ළඟම ඉදන් මුළු දෙක වසර පුරාම හොද ළමයෙක් වෙලා උත්සහ කරපු නිසා මගෙත් අකුරු ලස්සන උනේ අදට උනත් ලස්සන අකුරු වලට මාව ප්‍රසිද්ධ කරමින්. ඉතින් දෙවෙනි වසරෙදි අයෙත් දඟ ක‍රන්න බැරි උනාට  හරිම ලස්සනට ගතවුනේ ඔන්න ඔය විදිහට .

ඉතින් මම දෙකෙන් තුනට සමත් උනා . අකුරු ගණන් එහෙම ඒ වෙනකොට දැනගෙන හිටියට වෙලාව කියන්න නම් පුළුවන්කමක් තිබ්බේ නෑ . මාව ලෑස්ති කරලා අම්ම අදින අතරේ පරක්කු වෙලාද  බලන්න අම්ම මට වෙලාව බලාගෙන එන්න කියනවා . ඉක්මනට සාලෙට දුවන මම ඔරලෝසු  මුහුණේ පොඩි කට්ටත් , ලොකු කට්ටත් තියන තැන මතක තියාගෙන ඇවිත්, අම්මට එක හුස්මට කියනවා . අම්මා හිනා වෙලා වෙලාව හදාගෙන තව වෙලා තියනව කියල හෙමින් අඳිනවා .
ඔහොම ඉතින් කාලේ යද්දී හරියටම වෙලාව බලන්න  කියල දෙන ගණන් පාඩම පටන් ගත්තා . ඒකට  උපකාරකයක් විදිහට හැමෝම කටු කරකවන්න පුළුවන් ඔරලෝසුවක් හදගෙන්න එන්න පන්ති භාර ගුරුතුමී වෙන මංගලිකා මැඩම් අපිට උපදෙස් දුන්නා . මට ගෙදර ගිහින් අලුතෙන් ඔරලෝසුවක් හදන්න ඕන උනේ නෑ . මොකද මල්පියලි පොත් ප්‍රදර්ශනේකින් අප්පච්චි අරන් දුන්න ලස්සන ලී ඔරලෝසුවක් මගේ ළඟ තිබ්බ නිසා . ඉතින් ඒකත් ලෑස්ති කරලා  සතුටු සිතින් නින්දට ගියේ පහුවදාට හරියටම පාඩම ඉගනගන්න හිතාගෙන . ඔන්න පාඩම පටන් ගත්තා , හොමෝම ඔරලෝසු අරගෙන , මාත් බෑග් එකට අත දැම්මේ ලස්සනම ඔරලෝසුව පන්තියට පෙන්නන්න .අපොයි  බෑග් එකේ ඔරලෝසුව නෑ , කෝ කෝ මම තව සැරයක් හොඳට  බැලුවා . ඒත්  නෑ . එතකොට මට මතක් උනා ඒක මම වෙනම බෑග් එකක දැම්ම බව ලේසියෙන් අරන් එන්න . 'මට ඒක ගන්න බැරි උනානේ අද උදේ කලබලේට'. ඒක තාම මේසේ උඩ ඇති ''මගේ හිත කිව්වා . .'' දැන් කොහොමද මම වෙලාව බලන්නේ ''මට දුක හිතුන.

පියවි සිහියට ඇවිත් වට පිට බලද්දී මට විතරක් නෙවේ තව කීප දෙනෙකුටත් ඔරලෝසු නැති බව දැක්කහම හිත පොඩ්ඩක් නිවුනට  ආයෙම  පත්තු වෙලා ගියේ ''ඔරලෝසු නැති අය නැගිටින්න ''කියල මැඩම් කියද්දී . ලෝකේ ලොකුම වැරැද්ද කලා වගේ හැගීමකින් හිත පෙළෙද්දී  මම හෙමින් පුටුවෙන් නැගිට්ටා . ''එකයි දෙකයි '' ඔරලෝසු නැති ළමයින් ගාන මඩම් ගනිනවා .
 ''දහ දෙනෙක් '' කොහොමද ඉතින් මම පාඩම කරන්නේ ළමයි '' මැඩම්ට තරහ ගිහින් .
''මේක කරන්න බෑ යමු හැමෝම ප්‍රින්සිපල් මැඩම් ගාවට '' තරහ උඩින්ම මැඩම් කිව්වා .
''අපොයි දෙයියනේ අද නම් ගුටි කන්න තමා  වෙන්නේ '' ,පීඩිත සිතුවිල්ලක් මගේ හිතේ අඳුනා.
 දිගඅඩි රූලකින් අතට ගහන ප්‍රින්සිපල් මැඩම් මතක් වෙලා මගේ අල්ල දිහා බැලුනේ ඉබේටම වගේ . ඇදී ඇදී අනිත් ළමයි පිටිපස්සෙන් මමත් ගියා ප්‍රින්සිපල් මැඩම් ගාවට . ලෝකෙම කැරකෙනවා වගේ මට දැනුනා . ඉස්සරහින්ම බය නැතුව යන සමරීට නම් ගානක් වත් නෑ .එයා ගොඩක් දවස් වලට මේ විදිහට ගුටි කන නිසා එයාට නම් පුරුදු ඇති මම හිතුවා .
යන යන ළමයගෙන් ප්‍රින්සිපල් මැඩම් නිදසට කරුණු අහන හැටිත් ,කොච්චර සාධාරණ හේතුවක් කිව්වත් අල්ල පුරාවට අඩි රූල් පාරක් වදින හැටිත් පෝලිමේ අගට වෙලා මම බලාගෙන හිටියේ හොදටම බයේ . ගුටිය බැගින් කළා අත අතගාමින් පන්තියට යන ළමයි දකිද්දී මම මටම චෝදනා කරගත්තේ ඔරලෝසුව අමතක කරලා ආපු  වරදට . දැන් මගේ වාරේ ,ඔලුව නමාගෙන  හෙමින් මම ඉස්සරට ගියා . ඒත් අත නම් දික් කරන්න හොදටම බය හිතුනා . ''කෝ මේ නෙළුම් නේද '' ප්‍රින්සිපල් මඩම් මගෙන් අහනවා . හෙමින් ඔලුව උස්සලා බලපු මම එතන අපේ නැන්දත් ඉන්නවා දැක්කා . ඒ පාර නම් මට බයටත් වැඩා ලැජ්ජාවකුත් අවා .
''මොකද නෙළුම් ඔරලෝසුව ගෙනාවේ නැත්තේ ''??ප්‍රින්සිපල් මැඩම් ටිකක් හිනා වෙන ගමන්ම මගෙන් අහනවා .
මුලදී හරියටම මගේ කටහඬ අවදි කර ගන්න බැරි උනත් පස්සේ හෙමින් සීරුවේ මම කිව්වේ ඒක අමතක වෙලා ගෙදර දාල ඇවිත් කියල . බහුතරයක් ගුටි කාපු අය කිව්වෙත් ඒ හේතුවමයි .
''ඇත්තටම නෙළුම් ඔයාට  තිබුන නේද ලස්සන ලී ඔරලෝසුවක්''?? ඔයා  ඒක ගේන්න එපායැ  ''ඒ පාර කතාකලේ නැන්දා  . නැන්දගේ කතාවෙන් බය ටිකක් අඩු වෙච්චි නිසා මම ඇත්තටම ඒ ලී  ඔරලෝසුව ලෑස්ති කල බවත් උදේ කලබලේට අමතකවී පැමිණි බවත් හැමෝම ඉස්සරහ සන්සුන්  විදිහට කිව්වා .
කතාව අහගෙන ඉඳල හිනා මූනකින් ප්‍රින්සිපල් මැඩම් කිව්වේ ඉගන ගන්න ළමයින්ට අමතක වෙන එක හොඳ දෙයක් නෙවයි කියලා . එහෙම කියල ආයේ  අමතක නොවෙන්න පොඩි දඩුවමක් දෙන්න අත දික් කරන්න කියල අණ නිකුත් කළා . කොච්චර හේතු කිව්වත් ගුටිය වරදින්නේ නැති බව දැනගෙන හිටපු නිසා මම අත  දික් කරා .'' චටාස් '' අඩි රූල අල්ල හරහා ගියා . ඒත් ඇත්තටම ඒක හිතුව තරම් රිදුනේ නෑ . මම හිතන්නේ කොච්ච්චර උනත් මැඩම්ට දුක හිතෙන්න ඇති , ඇරත් නැන්දත් ආවනේ මාව බේර  ගන්න අන්තිමේදී  කොහොම හරි  ගුටියකුත් කාගෙනම වෙලාවත් බලන්න ඉගන ගත්ත නිසා ආය අම්මට කටු තියන තැන නම් කියන්න ඕනේ උනේ  නෑ .

තුනෙන් සමත් වෙච්චි මගේ පුංචි ඉස්කෝලේ කාලේ ඉවර උනා . 4 වසරට නගරේ මැද ඉස්කෝලෙට යන්න උන නිසා මාව පාසල් වෑන් රථයකට දැම්මා . 4 වසරේ මුල ඉඳන්ම හොඳ ළමයෙක් වෙච්චි නිසා පන්තිභාර නාලනී මැඩම් මාව පන්ති නායකයා කළා . හරි සතුටෙන් ළමයි එක්ක ගතවුණු ඒ කාලේ හොඳම සිද්ධිය තමා අපේ පාසලේ  ගුවන්විදුලි වැඩසටහන . ඒ දවස් වල කොත්මලේ fm  එකේ හැම සතියෙම පාසලක වැඩසටහනක් විකාශය කළා . ඒකට අපේ පාසලෙනුත් වැඩ සටහනක් කරන්න නියම වෙලා තිබ්බ නිසා ගුරුවරු වගේම ළමයිනුත් හරි අසාවෙන් වැඩ කළා . 4 වසරෙන් තේරවිලි වැඩසටහනක් කරන්න තමා යෝජනා උනේ . ඒක නිසා හොදට කතා කරන්න .කවි කියන්න පුළුවන් ළමයි තෝරන්න සමිතියක් තිබ්බා . මාත් වැඩසටහනට යන්න අසාවෙන් සමිතිය ඉස්සරහ ජාතික වීරයෙක් වන අනගාරික ධර්ම පාල තුමා ගැන කතාවක් කළා . මගේ කට කොහොමත් සද්ද නිසා ඒක  මට එච්චර අමාරු උනේ නෑ . හැමෝම කතාව හොදට අහගෙන හිටපු නිසා මම හිතුවා මම උඩින්ම තේරේවි කියලා . ගොඩක් ළමයි ඉතින් කවි කථා ඉදිරිපත් කළා . අන්තිමේට වැඩසටහන භාර වනිගසේකර මැඩම් තෝරගත්ත ළමයින්ගේ නම් කියවන්න පටන් ගත්තා . මුලින්ම මගේ නම කියයි කියල මම හිතුවත් එහෙම උනේ නෑ ..ලස්සනට කවි  කතා කියපු ළමයි අට දෙනෙක්ගේම නම් කියවුනා . අපොයි මම තේරිලා නෑ  වද්ද ?? මගේ හිත ගැස්සුනා ''නෙළුම් '' මගේ නම කියවුනා . මගේ හිතට සැනසුම් සුසුමක් ගලගෙන අවේ සතුට පුරවගෙන .

මාව  තෝරාගෙන තිබ්බේ වැඩසටහෙන් නිවේදක වගේම තේරවිල්ල ඉදිරිපත් කරන්නා හැටියට . අනික් ළමයි 4 බැගින් බෙදලා කණ්ඩායම් දෙකකට දැම්මා . ඒ ගොල්ලන්ට තිබ්බේ තේරවිල්ලට හරි උත්තරේ දීල කණ්ඩායමට ලකුණු අරන් දෙන්න . ඒක තේරවිලි තරගයක් . ඒ වුනාට වැඩ සටහන සජීවී එකක් නොවුන නිසා වනිගසේකර මැඩම් කණ්ඩායම් දෙකට සමාන ලකුණු එන විදිහට වැඩසටහන හදල අපිට තේරවිලි පුරුදු කළා . මට කියන්න ඕනේ ඒවත් තෙරවිලිත් ඉගැන්නුවා .'' ආයුබෝවන් , මේ පුංචි අපේ තේරවිලි '' වගේ වාක්‍යය කියමින් මම වැඩසටහන කලා .අදාල පටි ගත කිරීම් තිබ්බේ ඉස්කෝලෙම නිසා අපිට එච්චර කරදරයක් උනෙත් නෑ .
 දන්නා දන්නා නෑයෝ හැමෝටමත් කියලා . එක්තරා හැන්දෑවක අපේ ගෙදර හැමෝම එකට ඉදන් තේරවිලි වැඩසටහන ඇහුවා . ගුවන්විදුලියේ ස්පීකරෙන් මගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා ඇහුනත් කට්ටියම සතුටු උනා. ලොකු අයියා නම් පිළිගත්තෙම නෑ ඒ මම කියලා . කවදත් එයා  මාව අවුස්සන හින්ද මම එයගේ කතාව  ගණන් ගත්තේ නැති උනාට ,හැම දාම වගේ මම අඬන කන්ම එයත් විහිලුව නැවැත්තුවේ  නෑ . මගේ ඇඩිල්ල අස්සෙන් ගුවන්විදුලියේ කාර්මික දෝෂයකින් ''කීක් '' ගාල සද්දයක්  එකපාරටම ආව එතකොට ලොකු අයියා කිව්වා ඒක තමා මගේ සද්දේ කියලා .මගේ ඇඩිල්ල තවත් වැඩි උනා .....

හතරෙන් සමත් වෙච්චි මම 5 වසරට ගියා . 5 පන්තිය තිබ්බේ මම මුලින් කිව්වා වගේ බීටියස් කියන කන්ද උඩ . බීටියස් කිව්වත් ඒක හැදිලා තිබ්බේ  B .T .S  කියන අකුරු තුනේ එකතුවෙන් . කටවච්නෙට බීටියස් වෙලා .ඇත්තටම එකේ තේරුම මම දන්නේ නෑ .කන්ද උඩ තිබ්බේ L හැඩයෙන් යුක්ත වෙච්චි එකම ගොඩනැගිල්ලත් , බුදු මැදුරත් ලංකාවේ  හඩේ  ගත්ත පොකුණත් , බර සාරෙට වැවිච්ච රොබරෝසියා රූස්ස ගස් කීපයකුත් තමා . පාසල් ගොඩනැගිල්ලට පසු පසින් කන්දේ ඉතුරු කොටස අහස උසට විහිදිලා තිබ්බා . මුළු කන්දම බැලූ බැලූ  ඇත  ගස් වලින් වැහිලා .. උනම්බුව කන්ද කියල හදුන්වපු මේ කන්ද හොදටම පෙන්නේ පාසල් මිදුල මැද ලංකා පොකුණ ළඟ හිට ගත්තහමයි . එහෙම හිටගන්න උදේ රැස්වීම වෙලාවට මගේ සිතුවිලි පන්සිල් වලට වඩා  යොමු වෙන්නේ කන්දේ ඉන්න පුළුවන් කොටි ,වලස්සු , තාපසයෝ ගැන වගේම  පැනලා ඇවිත් කැලේ හැංගිලා ඉන්න හොරු ගැන  තමා . එහෙම හොරෙක් අපි පන්සිල් ගන්න දිහා හොරෙන් ගස් අස්සෙන් බලාගෙන ඇති කියල මගේ හිත මට හැමදාම කිව්වා .
කන්දේ අනිත් බැවුමේ තිබ්බේ ගම්පොල පොදු සුසාන භුමිය . කෙනෙක්ට ඇහුනත් බය හිතෙනවා උනාට අත පොවන මානේ පාසල් වත්තෙන් කටු  කම්බි  වැටකින් විතරක් වෙන්වෙලා තිබ්බ කනත්තට බය වෙච්චි බවක් නම් මගේ මතකයේ නෑ .
ඇත්තටම පඩි 320 (මට මේ ගාන  තාමත් මතක ඒ පඩිපෙළ නගපු හැම වරෙකම පඩි ගණන් කරන සෙල්ලම කරපු නසා තමයි )තිබ්බ පඩි පෙළ නැගල පාසලට එනවට වඩා අපි හැමෝම ආස කලේ කනත්තේ  කොත් , පයිනස් ගස් මැද්දෙන් වැටිච්චි පාරේ යන්න . පාසැල ඉවර වෙලා අපි ළමයි රෑනම එක  යායට කනත්තේ පාර  දිගේ පහලට දුවනවා. එහෙම දුවනකොට ශිෂ්‍යත්වේ කියන යෝධ විභාගේ අපිට අමතක වෙනවා . අලුතින් වළදාපු සොහොන් මැදින් යන අපිට තාමත් දැල්වෙන ඉටිපන්දමක් දැක්කම පහන් සිතුවිල්ලක් එනවා . ඒ වගේම සිතුවිල්ලක් එන්නේ පාලු වෙච්චි සොහොනක් සුද්ද කරලා ඒ  ළඟ අලුත් රෝස මල් පොකුරක් තියනවා දැක්කහම .'' අද ගෙදර කට්ටිය බලන්න ඇවිත්  ''. එහෙම හිතන අපිට ඒ තනි වෙච්චි සොහොන් ගැන  සතුටක් දැනෙනවා .
ඔහොම ඉතින් පහ වසර ගෙවද්දී අපිට ශිෂ්‍යත්වෙට උගන්නන්න ගොඩක් මහන්සි උනේ සීතා  කුමාරි මැඩම් . හවසත් පැයක පන්තියක් කලේ කිසිම අය  කිරීමක් නතුවමයි . ගණන් , ආරම්භක විද්‍යාව . සිංහල මේ හැම දෙයක්ම කියල දුන්න සීතා මැඩම්ගේ , රචනා පාඩමට මගේ හිත තදින්ම බැදුනා . රචනා පාඩම උගන්නන්න මැඩම් පන්තියේ මැදට ඇවිත් ටිකක් හරි බැරි ගැහිලා අපි ඉඳ ගන්න පුංචි පුටුවක වාඩි  වෙනවා . මාතෘකාව කියලා අපි හැමෝටම හිතින් ඒකට අදාල දේවල් හිතින් මතක් කර ගන්න කියනවා . ගොඩක් වෙලාවට ඒ මාතෘකා මම කුරුල්ලෙමි , එහෙමත් නැත්තම් මම ගහක් වෙමි වගේ ඒවා වෙච්චි නිසා ඇස්  වහගෙන මේ ,මවා  ගැනීම කරන්න අපි හැමෝම උත්සහ ගත්තා . ඊට පස්සේ මැඩම්  අපි හැමෝගෙන්ම වාක්‍ය බැගින්  අහල හරි වැරදි කියලා දුන්නා .. ඇත්තටම මැඩම්ගේ මග පෙන්වීමට අනුව අපේ පාර  ශිෂ්‍යත්ව විභාගෙට තිබ්බ  මාතෘකාව වන ''මම සිංහරාජයෙක්මි '' යටතේ ලස්සන වාක්‍ය හයක් ලිව්වේ මම හරිම සතුටෙන් මැඩම්  කියපු විදිහට හිතෙන්  මවාගෙන ...

එක වසරේ ඉදන් උගන්නපු හැම ගුරුතුමියකගේම මඟ පෙන්වීමත් එක්ක මම ශිෂ්‍යත්වේ පාස් උනා ,ඉතින් ඒක නිසා සතුටින් 1-5 කාලේ ගම්පොල බාලිකාවේ  ගතකරපු කාලෙට සමු දෙන්න උනේ නුවර ඉස්කෝලෙට යන්න ...
ඇත්තටම ලස්සන ඒ පොඩි කාලේ මතක් වෙනකොට අද මට ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා .. ගොඩක් මහන්සි වෙලා උගන්නපු  සැබෑම ගුරු දෙවියන් වන මගේ ආදරණීය ගුරු මව්වරුන්ට මගේ හද පිරි ආචාරය පිරිනමන අතරේම , එකේ ඉදන් මගේ ලගින්ම හිටපු ඔෂින්, මදුවන්ති , සඳමාලි , නිරූපා , නිමාලි , විදර්ශී . හර්ෂනී ,ජයනි .ශෂිකා , නිශානි වගේ යාළුවොත් ආදරයෙන් මතක් කරන ගමන් මගේ පොඩි කලේ ගැන පොඩිවට ලියන්න පටන් ගත්ත දිග සටහන මේ විදිහට  ඉවර කරන්නම් ...  ස්තුති ....