Search This Blog

Monday, October 21, 2013

ජීවක පදට්ඨ කතා 4..



කුමරන්තනිය , ගුරු මෑණිය හමුවේ මෙසේ කියන්නට වුවාය ..

''ගුරු මෑණියනි , මෙම රෝගියා වූ කලි , දිගු කාලීන කැස්සකින් ද ,වායුන් ගමන් කල නොහැකි වන්නා වූ පුප්ඵුශීය රෝගයකින්ද  පෙළෙන්නෙකි ,අද දින ආශ්‍රමයට පැමිණ ඇත්තේ කැස්ස උත්සන්න වීමෙනි ''

එබස් අසන ගුරු මෑණියෝ මෙසේ කියත් , ''දරුව තොප රෝගී නිධානය දැක්වීමට ලබා ගත් ආරම්භය නම් නිවැරදි නොවන්නේමය ,කිසි විටකත් රෝගියා පෙළෙන්නා වූ, පෙර නිශ්චය කරන ලද රෝගී තත්ත්ව දක්වමින් තතු සැල නොකලව , තොප ආරම්භ කල යුතු වන්නේ රෝගියා පෙලෙන කැස්ස පිළිබද තතු දැක්වීමෙනි .තොප මෙම රෝගියා පුප්ඵුශීය රෝගයකින් පෙලෙන බව ආරම්භයේම කියා සිටීම සුදුසු නොවන්නේමය ...''

ගුරු මෑණියන්ගේ එබස් අසන කුමරන්තනියගේ මුහුණ බිමට නැමෙත් නැමෙත් ,සෙසු ජීවක සිසුන් විපිළිසර වෙත් වෙත් ,ගුරු මෑණියෝ දිගින් දිගටම බස් කියත් කියත් ....

''කැස්ස නම් වියළිද , සෙම් සහිතද ආදිය තොප දැක්විය යුතු සේම , ස්වසන ,රුධිර සංසරණ , මෞත්‍ර ආදී පද්ධති එකින් එක ගෙන ඒවගේ සංකූලතා දක්වමින් රෝග නිශ්චය කරා තොප ස්වාධීනව එළඹිය යුතුය ..''
ආදී ලෙස මනාකොට රෝග නිශ්චයට එළඹෙන සැටි ජීවක සිසුන් හමුවේ ගුරු මෑණියෝ පෙන්වා දෙන කල්හි සිසුන් සාවධානව අසා සිටියෝය ...

එම ඉගැන්වීමෙන් අනතුරුව ගුරු මෑණියෝ රෝගී ඇදන් කීපයක්ම අවැසි කටයුතු කරමින් පසුකරයන්නි , ජීවක සිසුන්ගෙන් කිසිවක් නොවිමචාරාමය .. ඉදින් එම රෝගී ඇදන් භාර ජීවක සිසුන් නම් හෙලන්නේ සැනසුම් සුසුම්මය .. නගන්නේ ප්‍රීතී ප්‍රීති බස්මය ...
එසේ රෝගී ඇඳන් පසු කර ගොස් එක්තරා ඇඳක් අසල නැවතී සිසුන්ගෙන් අසන්නී ''මේ රෝගියා නම් කාගේද ?'' වන සුපුරුදු පැනයමය ... එබසින් තැති ගෙන අවදි වන ජීවක සිසුන් අතරින් සිසුවෙක් ගම්‍ය නොවන්නට විය ... මඳ වේලාවක් ගතවිය ..සිසුන්ද වට පිට බලමින් විපිළිසර වද්දී තරමක් කිපෙන ගුරු මෑණියෝ නැවතත් අසන්නී  ''මේ රෝගියා නම් කාගේදැයි ''කියාය .

එබස් අසන කල්හි ඉදිරියට පැමිණෙන්නේ කෝණ චින්තන නම් ජීවක සිසුවෙකි

''ගුරු මෑණියනි රෝගියා නම් මාගේය'' ඇසෙන නෑසෙන හඬින් සිසුවා කියන කල්හි , ''එසේ නම් ඉදිරිපත් වන්නට පමා වුයේ කිමද ??'' එබස් හමුවේ කෝණ චින්තන කිසිවක් නොකියාම සිටිද්දී ..''මෙම රෝගියාගේ රෝග නිධානය කියා සිටුව''  තරමක අනඥා ස්වරයකින් කියා සිටින්නී ගුරු මෑණියෝය .

ගුරු මෑණියනි මෙම රෝගියා පැමිණ ඇත්තේ කොන්දේ වේදනාවක් නිසාය , එය නම් දැනට පස් දිනක් වන්නේය ...සිසුවා කියත්ම ...'' තොප රෝගියාගේ කොඳු නාරටිය පරික්ෂා කොට සොයා ගත් තතු දක්වව ''
ගුරු මෑණියෝ කියත් ..

ඒකැන්හි සටහන් තැබූ පත් ඉරු පෙරලා , සිසුවා අදාල තතු සොයන්නට වීම ගුරු මෑණියෝ කුපිත කරවන්නක්ම විය , දැන් දැන් කුමක් වේද කියා අනෙකුත්  ජීවක සිසුන්ගේ මුඛ ශ්ලේෂ්මල සිඳ වන්නක්ම විය

''ගුරු මෑණියනි මාගේ පරික්ෂා කිරීමට අනුව රෝගියාගේ කොඳු නාරටියේ බාහිරින් පෙනෙන්නට කිසිම ව්‍යාධියක් නොතිබුනේය ''..සිසුවා කියත්ම ගුරු මෑණිය අසන්නී ''තොප සිතන ආකාරයට ශුෂුම්නාවේ කුමන නම් තලයක ව්‍යාධිය පවතීද යන්නය .. එම පැනය හමුවේ පිළිතුරු බඳින කෝණ චින්තන සිසුවා කියන්නේ ව්‍යාධිය නම් උරස් තලයේ බවය ..''තොපට එය ඒකන්තද ?'' ග්‍රරෛවි තලයේ විය නොහැකිද ?? ගුරු මෑණියෝ අසත්ම සිසුවා නිරුත්තර වන කල්හි .. ගුරු  මෑණියෝ කියන්නී ''දරුවා තොප රෝගියා නැවතත් පරික්ෂා කොට බලනු නම් මනාය කියාය ....''

එසේ කියා එම ජීවක ආශ්‍රමයේ දිනක් නිමා  කරන්නට  සියල්ලන්ම පැමිණ සිටිත්දැයි විමසමින් , පැමිණීමේ නාම ලේඛනය මත ගුරු මෑණියෝ තම අත්සන යෙදා ,පිටව යන්නට ජීවක සිසුන්ට සන් කළාය ....

ඉතුරු කොටස මතු දිනයේ ....









No comments:

Post a Comment