එක්තරා ලොකූ විභාගයක් ඉවර වෙනවා . නිවාඩු ලැබිලා මම ගෙදර එනවා , ආව ගමන්ම සෙන්කොට්ටන් කියවනවා . ''අම්මේ එකේ ලස්සන ''මට එහෙම හිතෙනවා . ඊට පස්සේ කාල සර්ප ඒකත් ලස්සනයි . දැන් චිත්‍රපටි , ආෆ්ටර් අර්ත් විල් ස්මිත්ගේ , මොන්ස්ටර්ස් යුනිවර්සිටි ත්‍රිමාණ කාටූන් ,නව් යු සී මී ...තව තව එක දිගටම දවස් ගානක්ම . බලන්න පෙරුම් පුරාගෙනමනේ හිටියේ ඉතින් විභාගේ ඉවර වෙනකන් ...
ඔන්න දැන් මට ඒවා ඇති වෙනවා , මනුස්ස සොබාවේ ... ''දැන් අලුත් දෙයක් කරමු නෙළුම්'' මගේ හිත කියනවා ..''.මොකද්ද අලුත් දේ ''හිතත් එක්ක මම හිතනවා ...''ලියමුකො අපි කතාවක්'' හිතෙන් යෝජනාවක්. ''හ්ම්ම් හොදයි හිත, අපි ලියමු ,මටත් කම්මැලී '', මම හිතේ යෝජනාවට එකඟ වෙනවා , සිංහලෙන් ලියන්න , හොයල හොයල ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක දාගන්නවා ..ඔන්න මම ලියනවා ...
මුලින්ම ඉතින් මූණු පොතට , එක කතාවක් . කවියක් , තව කතාවක් ...යාලුවෝ කැමතියි .. මටත් ,හිතටත් සතුටුයි ..''ඔයා ලියන්න බ්ලොග් එකක් , ඒපාර යෝජනා යාලුවන්ගෙන් .... ''හ්ම්ම්ම් හදමුද බ්ලොග් එකක් හිත ??'' මම අහනවා හිතෙන් ...'' මට නම් බයයි '' හිත බය වෙනවා .. ''අනේ මන්දා ඔය දන්නේ නැති දේවල් ''හිත පස්සටම යන්න ලෑස්තිය ... ''ඒකත් කරලා බලමු .. අලුත් දෙයක් ... ඇරත් මටද, ඔයාටම නේද අලුත් දේ ඕන නිතරම ??'' හිතත් මාත් වාදෙක ... අන්තිමට හිත ''හා එහෙනම් , ඔන්න මම නම් නෑ ඕවගේ නටල වැඩ අවුල් වුනාම ''හිත බේරෙන ගමන් මට කැමැත්ත දෙනවා ...
ඔන්න මම බ්ලොගර් කෙනෙක් ...
මම කතා ලියනවා . යාලුවෝ කියවනවා .. විවිධ විචාර ලැබෙනවා ... ඔක්කොටෝම ස්තුතියි , මගෙත් හිතෙත් ප්‍රණාමය පලකරන්න හිතාගෙන , ලියපු කතාව මඟ තියලා මම විචාර ලිපිය ලියනවා .. ඇරත් අද ටිකක් බය හිතෙන දවසක් .. අර ලියපු අමාරු විභාගේ ප්‍රතිඵල එන්නෙත් අද ...
ඉස්සෙල්ලම කතා ලියල මම පෙන්නන්නේ අම්මට ... ''හරි ලස්සනයි .. තව ලියන්න ''... අම්මා කවදත් කියන්නේ හොඳ විතරයි ... උණ හපුළුවට උගේ පැටියා මැණිකක් ලු ....
''අප්පච්චි ඔයා හරි නරකයි ...ඔයා මගේ කතා කියවන්නේ නෑ .''..කතා කියවන්න වෙලාවක් නැති අප්පච්චිත් එක්ක මාත් , හිතත් උරණ වෙනවා ...''අනේ මන්දා සිංහල , ඉංග්‍රීසි එකට දාල ලියන ඔයාගේ කවි ඒත් ඒවා හොඳයි .. මාත් හිතත් පුදුම කරමින් අප්පචි කියනවා ..''ඔයා ඒවා කියෙව්වද ?? පොත තිබ්බේ මගේ ගාව ,,,අපි අප්පච්චිගෙන් අහනවා ...''ඔයා කරන හැමදේම මට පේනවා .. ඔයා කරන හැමදේම මම දන්නවා ...'' අප්පච්චි හිනා වෙවී එහෙම කියනකොට හිතටත් මටත් සක්‍ර දෙයියෝ මතක් වෙනවා ,.....
දෙයක් සියුම්ව බලන්න .. ලස්සනට අඳින්න .. ලස්සන ඡයාරූප ගන්න වෙනම කලා ඇසක් තියන .. කියවන්න එච්චර කැමති නැති පුංචි අයියටත් අපේ කතා කොහොමහරි වදෙන් පොරෙන් පෙන්නුවා ...
පලවෙනි කතාව බලලා .. ''මේක compressed වැඩියි .. වෙන්කරලා ලියන්න එපැය ''අනික මේ , ස්තුතියි කියල ලියල තියන හැටි වැරදියි නේද , හරියට ලියන්න බැරිනම් නොලියා ඉන්නවා ''එයා එහෙම කියනවා ..''ඔව් ඇත්ත තමා .. හිතත් මාත් වැරැද්ද හදාගෙන ඊළඟ කතාව ලියලා ඒකත් පෙන්නුවා ..
ඒක යටටම යනකන් scroll කරලා .. එකේ දිග දැකලා හිනාවෙන ගමන් එයා මෙහෙම කිව්වා ..
''adobe reader හරි මොකක් හරි නැද්ද මේක මට කියවලා දෙන්න .. එතකොට මම headphone එක දාගෙන අහගෙන ඉන්නම් ... ''
''අනික් එක මම නම් ඔය බ්ලොග් සීන් කෝන්ස් දන්නේ නෑ . හැබැයි නෙට් එකේ වැඩ කෑලි දන්නා නිසා කියන්නේ, හොයල බලනවා ඕකේ මොකක් හරි payment කෑල්ලක් අස්සේ තියනවද කියලා ''
එයා එහෙම කියද්දී මාත් හිතත් තරහ වෙලා එතනින් ආවත් පස්සේ වෙලාවක nice work කියල පුංචි අයියගේ comment එක දැකලා හිතටත් මටත් ලෝකෙම සතුට දැනුනා ...එයා කථා කියවලා ...
හොඳම විචාරේ ගන්න පුළුවන් පොත් ගොඩක් කියවන , මගේත් හිතෙත් පොඩි වයස බලන්නේ නැතුව චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් , චින්ගීස් අයිත්මතව්ගේ ගුරු ගීතය , මිහයිල් ශෝලොහොව් ගේ පෙරලූ නැවුම්පස ,වගේ පොතුත් ආතර් c කලාක්ගේ 2000.2010 වගේ පොතුත් කියවන්න මාත් හිතත් යොමු කල , ඉරිදට කොටස් බෙදා ගන්න බැරුව ලංකාදීපෙටයි , දිවයිනටයි රණ්ඩු වෙන ලොකු අයියගෙන් නිසා .. ටිකක් ඈත ඉස්පිරිතාලෙක වැඩ කරන ලොකු අයියා එනකන් මාත් , හිතත් හිටියේ මඟ බලාගෙන, එහෙම ඉඳලා , සෙනසුරාදා එයා ගෙදර ආව ගමන්ම කතා බලන්න බලන්න කියලා දාස් පාරක් විතර කිව්වා .
''ඔහොම ඉන්නවා ඉතින් , ඉස්සෙල්ලා මගේ යාළුවන්ට මොකද වෙලා තියෙන්නේ බලන්න එපැය , '' එහම කියල මූණු පොතේ එක එක යාලුවෝ හොයනවා එයා , අන්තිමට මටත් හිතටත් ඇතිවෙන්න ලං වෙනකොට , මගේ කතා බලල එයා , ''මේවා ගොඩක් raw කියනවා '' ඒ කියන්නේ?? අපි අහනවා ,'මෙහෙමනේ කතාවක් ලියන කොට වෙච්චි විදිහටම ලියන්නේ නැනේ , මිනිස්සුන්ට ගන්න දෙයක් තියන විදිහට ලියන්න ඕනේ , ඔයාට තිබ්බා තව කියවන්න '', එහෙම කියලා එයා නුවන් තොටවත්ත අයියගේ කවියක් පෙන්නුවා . (එය මෙම ලිපිය අවසානයේ දක්වා ඇත )
මමත් හිතත් හතන දේට , ඒ විදිහට විචාර ලැබුනේ ගෙදර අයගෙන් ..
ඇත්තටම මෙහෙම අපිට ලියන්න මං පාදපු අද දිව්‍ය ලෝකේ ඉන්න දෙන්නෙකුත් ගැන මේ වෙලාවේ කියන්නම ඕනේ .. මගේ අත්තම්මයි , ලොකු අත්තයි .
පොඩි කාලේ මාව උකුලේ තියාගෙන ජයමංගල ගාථා , ජාතක කතා කියන්නේ ලොකු අත්තා , ඒවගේම ගැටබෙරේ ගහලා
''දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත ,
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත''
''නොන්ඩි පැංචි යන ගමනේ
සිමන් පැංචි සම්බ වුනේ
තුට්ටු දෙකට රා අරගෙන
දෙන්නා බිබී සණ්ඩු උනේ '' වගේ කවි කිව්වෙත් ලොකු ත්තා .. ඒවගෙන් මාත් හිතත් ගොඩක් දේ ඉගන ගත්තා
මගේ ලඟින් ඉඳගෙන මෛත්‍රී බුදු හාමුදුරුවෝ බුදු වෙන හැටිත්
''නුඹේ අම්මා කොතැන ගියේ
කිරි අරගෙන එන්ට ගියේ
කිරි මුට්ටිය ගඟේ ගියේ
ගඟට උඩින් කොක්කු ගියේ'' වගේ කවිත් රස කරලා කිව්වේ අත්තම්මා ,, ඒවගේ වටිනාකම මනින මිම්ම මාත් , හිතත් දන්නේ නෑ
ඉතින් දැන් විචාර ඉවර කරමු , හිත කියනව ... මගේ කතා බලල , කියවල රස විදලා මාත් හිතත් එක්ක සතුටු වෙන හැමෝටම ගොඩාක්ම ස්තුතියි ..ඔයාල කියන දේවල් මට ගොඩාක් වටිනවා , මම ඒවා ඔක්කොම කියවනවා , සතුටු වෙනවා , වැරදි හදාගන්නවා ...
මේවා ඔක්කොම පුංචි වැසි බින්දු , බලමු ඉතින් ඉස්සරහට මටත් හිතටත් පින්නක් වෙලා ,වැස්සක් වෙලා , ගඟක් වෙලා අන්තිමට මහා සාගරෙටම යන්න පුලුවන්ද කියලා ... ඔයාලත් අපිත් එක්කම ඉඳීවි කියල මාත් , හිතත් තදින්ම විශ්වාස කරනවා .....
නුවන් තොටවත්ත අයියාගේ කවිය ....
නිදහස් අධ්‍යාපනය
ළමා කැල:
හෝඩි පොතේ අකුරු අරන්
අමුනා නෙක අරුත් හදන්
හිතේ වදන් මාල බඳින අපේ ගුරුතුමී
අතීතයෙන් දැනුම අරන්
උදේම පන්තියට ඇවිත්
හිතේ නුවණ මල් පුබුදන අපේ ගුරුතුමී
ගුරුතුමී:
සිතුවම් පොත අතට ගන්න මං අඳිනා මල අඳින්න
හැම පෙත්තම එකම ලෙසට අඳිමු දරුවනී
පාට පෙට්ටි දිග ඇරගෙන මං කියනා පාට අරන්
පෙත්ත පෙත්ත හනික පාට කරමු දරුවනී
ළමා කැල:
හිතේ පිපුණු මලේ පාට කඩෙන් ගෙනා පාට අතර
කොච්චර හෙව්වත් දැක්කේ නෑනෙ ගුරුතුමී
ගුරුතුමී:
පුංචි හිතේ පාට බලා විභාගයට ලකුණු දෙන්න
ආස උනත් ඒක කොහොම කරමි දරුවනී
ළමා කැල:
අපේ හිතේ පිපෙන මලට අපට කැමති පාට දෙන්න
පුළුවන් දවසක් කවදා එයිද ගුරුතුමී
ගුරුතුමී:
ඔයාලා වගෙම තවමත් කාලසටහනේ කොටුවල
ගුරුතුමී උනත් මම හිරවෙලා දරුවනී
ළමා කැල:
කන්ද උඩින් පහළ බිමට
දිය අරගෙන හෙමින් ඇදෙන
වැව් පුරවන ගඟක් වගෙයි
අපේ ගුරුතුමී
( උල්පත - හෙට ගඟක් වනු පිනිස )
No comments:
Post a Comment