Search This Blog

Sunday, October 27, 2013

ජීවක පදට්ඨ කතා 8

එය නම් තෙවැනි දිනය විය . රෑ වැඩ මුරයට පසු දින විය . රෝගී ඇඳන් පිරී ඉතිරී යන දිනය මෙන්ම ගුරු මෑණිය ,පුරුෂ අංශයේ රෝගීන් විචාරන දිනයද විය . ඉදින් පුරුෂ අංශයේ රෝගීන් විචාරන , ජීවක සිසුහු  වහ වහා සූදානම් වීමට පෙර දිනයන්හි සේම පිනිබර උදසනෙන්ම රෝගී ආශ්‍රමය වෙත ආහ .

සිව් වැනි රෝගී ඇඳෙහි , අතිශය රෝගී බවක් දක්වමින් වැතිර සිටින්නේ , තුරුණු වූද , රුධිර  කැටිගැසීම පමාවන රෝගයකින් පෙළෙන්නා වුද රෝගියෙකි ..සිහි මඳ කමක් දක්වන රෝගියා දෙස බැලු බැල්මට  සැක උපදවන්නේ හිස් කබල අභ්‍යන්තරයේ වූ රුධිර වහනයක් පිළිබඳවය .  මෙම රෝගියා භාරව ඇත්තේ
අයබණ්ඩාර නම් ජීවක සිසුවෙකුටය .

අයබණ්ඩාර වූ කලි ,ගුරු මෑණියගෙන් දොස් පරොස් ඇසීමට වේයැයි මහත් සේ බිය වන්නා වුද , තම රෝගීන් පිළිබඳව මනා කොට පොත පතින් හදාරන්නා වුද ,අදාළ උපදෙස් ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් මෙන්ම පේරලන්ද නම් ජීවක පාඨශාලාවේ තම මිතුරන්ගෙන් පවා අසන්නා වුද මනා කොට වන පොත් කරන අයෙකි . ඉදන් හෙතම මේ රෝගියා සම්බන්ධවද මනා කොට හදාරා ගුරු මෑණිය පැමිණෙන තුරු සූදානම්ව සිටියේය .

ගුරු මෑණිය පැමිණෙත් , සුදුසු ජීවකර්ම කරමින් රෝග ශාලා වට යත් .. පැමිණ නතර වන්නී රුධිර  කැටි ගැසීම පමාවන රෝගයකින් පෙළෙන ඉහත කී රෝගී ඇඳ අසලය . සුපුරුදු ලෙසම ''මේ රෝගියා නම් කාගේදැයි ''අසන්නී , මදකුදු පමා නොවී සිසුන් අතරින් ගම්‍ය වන්නේ අය බණ්ඩාර තෙමය .

ගුරු මෑණිය නා නා විධ පැන විමසන්නී , අය බණ්ඩාර තෙමද පෙර වන පොත් කල නුවණින් එම සෑම පැනයටම පිළිතුරු දෙත් ..පිළිතරු වලින් සෑහෙනගුරු මෑණිය , අවසන  කිරණ වර්ගයක් යවා , හිස අභ්‍යන්තරයේ රුධිර වහනයක් වේදැයි පරික්ෂා කිරීමෙහි වස් ලබාගත් කිරණ සටහන් පත අය බණ්ඩාර තෙම වෙත දක්වා එය විස්තර කරන්නට නියම කරත් .
 සටහන විස්තර කිරීමට නම් වන පොත් කල නුවණ නම් සෙත් නොදෙන්නේම නිසාවෙන් මදක් ගොළු වන සිසුවා දෙස බලා සිනා පාමින් ගුරු මෑණිය කියන්නී
''දරුවා තොප මෙයද මනා කොට හදාරා පසුව මට තතු දක්වව '' ,මත්තෙහි  ඉදිරියට පා  තබන්නීය.

එසේ පා තබන ගුරු මෑණිය මධු මේහයෙන්ද , මූත්‍රා පිට කිරීමට අපහසුවෙන්ද පෙළෙන්නා වූ රෝගියෙක් අසල නැවතී ''මේ රෝගියා නම් කාගේදැයි'' අසත් , සිසුන් අතරින් ඉදිරියට පැමිණෙන්නේ , සිරුරෙන් ඉතා හුරුබුහුටි වන , එනමුදු මහත් සේ නැණැති වන දීලාමනි නම් ජීවක සිසුවියකි .

''ගුරු මෑණිය රෝගියා නම් මාගේය'' ඕ සිහින් හඬින් කියත්ම  ,
දරුව මෙම රෝගියා මධු මේහයෙන් පෙළෙන්නේ නොවේද?
 අද උදැසන රුධිර පරික්ෂාවට , අනුව මොහුගේ රුධිර සීනි මට්ටම කෙතෙක් වේද ?? ගුරු මෑණිය අසන්නීය

හිසේ සිට දෙපතුල තෙක් කෙතරම් පරික්ෂා කලද , දීලමනිය අතින් රුධිර සීනි මට්ටම කෙතෙක් වේදැයි සටහන් තබා ගැනීමට මඟ ඇරී තිබුණි , ඒ මතින් පැන හමුවේ ඕ මහත් සේ තැති ගෙන . නිරුත්තරව , සියොළඟ ප්‍රලය වන්නට වූවාය  ..

නිහඬව සිටින සිසුවිය හමුවේ ගුරු මෑණිය අසන්නී ,
''දරුව තොප අදාළ පරීක්ෂණ පත්‍රිකා පරික්ෂා කලේද ??'' කියාය .
''සමා වනු මැන ගුරු මෑණියනි , එය පරික්ෂා කිරීමට  මට නොහැකි වුනි , මහත්සේ බිය පත්ව ආයාචනා ස්වරයෙන් දීලාමනිය කියන්නට විය  .

එය අසා තරමක් කිපෙන ගුරු මෑණියෝ  ''දරුව මධුමේහ රෝගීන් සම්බන්ධව වඩාත් වැදගත් වන්නේ රුධිර සීනි මට්ටම නොවේද ??
කෙසේද තොප එවැන්නක් මඟ අරින්නේ ?? ආදී උරණ බස් පවසත් , එබස් අසන දීලාමනිය , සියොළඟ ප්‍රලය වන්නා සේම මහත් වූ බියටද පත් වෙත් ,,
''අහෝ අසරණ අපගේ දීලාමනි '' යැයි මිතුරු ජීවක සිසුන්ද තැවෙත් ..

''එසේ නම් දරුව ,මෙම රෝගියාගේ හස්තයේ වන , ඖෂධ ලබාදීම සඳහා යොදා ඇති මෙම කටුව , හස්තය මත යෙදූ දිනය වහා මට කියා සිටුවා යැයි '' උරණ ස්වරයෙන්ම ගුරු මෑණියෝ අසත් ,,

එයද කෙසේ වත් නොදන්නා දීලාමනිය තව තවත් ප්‍රලය  වත් .

නිහඬ සිසුවිය කෙරේ තවත් උරණව ,

''දරුවා තොප නම් රෝගියා පරික්ෂා කොට නැත්තා හා සමානය .. තොප රෝගීන් පිළිබඳව සියලු තතු දත යුතුය , එසේ නොවන කල්හි රෝගී ජීවිත නම් අනතුරේම හෙලන්නේ වෙයි යැයි පවසා ..''

''එසේ නම් දරුවා මෙම රෝගියාගේ අධෝ මාර්ග අංගුලි පරික්ෂාවෙන් තොප ගම්‍ය කොට ගත් තතු දැන් දැන් වහා කියා සිටුව ''

එවන් පරීක්ෂාවක් නොකළ දීලාමනි ,මහත්සේ සමාව අයදිමින් තමා එම පරික්ෂාව නොකළ බව ගුරු මෑණියට කියන කල්හි , වඩ වඩාත් කිපෙන ගුරු මෑණිය කියන්නී

''දරුව සමා විය යුත්තේ මට නොව තොපටමය ''
මේ සා මසුරන් ඉගැන්නුම් ලැබිය හැකි අවස්ථා තොප විසින්ම වළහා ගනිත් .
''මෙහි අගය තොප නොදනිත් ''
''දැන් තොප වෙනුවෙන් මේ පරික්ෂාව කළ යුත්තේ මාද ?? යැයි වඩා උරණ බස් ගුරු මෑණි පවසත්ම , දීලාමනියද , සෙසු සිසුන්ද කිසිවක් නොකියාම , මුහුණු සඟවාගෙනම සිටිත් ..
''තොප වෙනුවෙන් කා දැමීමට මට කාලය නැත්තේය ''
''දැන් වහ වහා ගොස් අවැසි දේ රැගෙන විත් අධෝ මාර්ග අංගුලි පරික්ෂාව කරව ''
මින් මතු මේ සා වැරදි කල හොත් ඉගැන්නුම් ගැනීමට මෙහි නොසිට වහා තොප පිටවව් ''
කියා මේඝ ගර්ජනා මෙන් බස් කියා ගුරු මෑණිය පිටව ගියාය .

බිරාන්ත වූ සිසු පෙළ දෑස්  අදහා ගැනීමට නොහැකිව බලා සිටිත් ...දීලමනියද දිගින් දිගටම ප්‍රලය වෙත්

ඉතිරිය මතුවට ....



No comments:

Post a Comment