Search This Blog

Sunday, October 20, 2013

ජීවක පදට්ඨ කථා 3



හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණියෝ සපැමිණි කල ,රෝගීන් විචාරමින් රෝගී ශාලා'' වට යාමට'' , අනු  ශ්‍රේණි දරන ජීවක පිරිස් සත්දෙනෙක්ද එකෙනෙහිම , එහි ආහ . ඒ අනුව රෝගීන් විචාරීමට , ජීවක සිසුන්ද ඇතුළුව මහත් වූ කණ්ඩායමක් රැස්වූ නිසාවෙන් , රෝගීන්ද විස්මයට පත් වුවේ වුවත් ,ගාරම නම් මෙය  ශික්ෂණ රෝගී අශ්‍රමයක් බැවින් රෝගීන් මෙවන් රැස්වීම් වලට , සිසුන්ගේ ඉගනීම් වලට යටත් වන්නට සූදානම්ව සිටියෝය .

ඉදින් පිරිස පළමු රෝගී ඇඳ වෙතට ආහ . එකල්හි සීමාවාසික ශ්‍රේණි දරන්නා වූ ලාබාල ජීවක තෙම රෝගියාගේ ඇඳ ඉහපත රැගෙන , රෝග නිධානයද , නියම කල ඖෂධයන්ද  පිරිසට ඇසෙන සේ කියවන්නට විය . ඒ කියවීම් සාවදානව අසා  සිටි  ජීවක ගුරුමෑණි තොමෝ ඉන් සෑහීමකට පත්ව රෝගියා පරික්ෂා කොට බලා රෝගියා වෙනුවෙන් මතු කල යුතු දෑ ආදී උපදෙස්  , ඒ සීමාවාසික ජීවක තැනට ලබාදී අවසන , සිසුන්ගේ දැනුම පරික්ෂා  කොට  බලා ඉගැන්නීම් කිරීමට , සිසුන් දෙසට හැරී ,'' මේ රෝගියා නම් කාගේදැයි '' පැහැදිලි හඬින්  ඇසුවාය .

ඒ හඬින් අවදිව , සටහන් තැබූ පත් ඉරු ආදිය පෙරලමින් , තරමක කලබලයක්ද ඇති කරමින් , ජීවක සිසු පිරිස අතරින් ඉදිරියට පා තබන තඹරනි නම් ජීවක සිසුවිය, ''ගුරු මෑණියනි මේ රෝගියා නම් මාගේයැයි'' කියා සිටියාය . ගුරු මෑණි  තොමෝ ඕ දැක  '' දරුව මේ රෝගියාගේ රෝග නිධානය කෙසේ වත්ද ?'' අසා සිටියාය .
එම පැණය හමුවේ තම සිතුවිලි එකලාස කරගෙන , රෝගියාගේ නම්. ගම් , වයස් ආදියෙන් ආරම්භ කොට රෝග නිධානය නම් හර්දය වස්තුවේ  පූර්ව කොටසේ කොටසක්  , තාවකාලික රුධිරය මඳ  වීමක් වූවෙන් , මරණයට පත්ව ඇති බව යැයි එකත්පස්ව සිට කියා සිටියාය ..සිසුවියගේ එම පිළිතුරෙන් සෑහිමකට පත්ව , ''එසේ නම් දරුව  තොප මේ රෝගියාගේ බලාපොරොත්තු වන සංකූලතා නම් කවරේදැයි ''දෙවනුව අසා සිටියාය .

එවන් පැන හමුවේ , කොතරම් වන පොත් කල තිබුනේ වුවත් , පෙර දින රැයේ වන පොත් කලේ වුවත් , සියල්ල අමතකව ,සුදුසු පිළිතුර සොයා ගත නොහැකිව, නිරුත්තර වන ජීවක සිසුන් සියල්ලෝම සතු පොදු ධර්මතාවට  තඹරනි යටත් වුවේන් , විස්මිතව, හා බියව මඳ වෙලාවක් බලා සිට , කෙසේ හෝ වෙර ගෙන මතකය අවදි කර ,එකී සංකූලතාව ලෙස ,'' හර්දයේ රිද්මය නම් වෙනස් වී යා හැක්කයි ''කියා සිටියාය ..පිළිතුර පිළිගත් ගුරු මෑණියෝ ,''එය එසේ වතුද තවත් සංකූලතා නොතිබෙන්නේදැයි ''ගුරු මෑණි තොමෝ ඇසූ  පැනයට නම් තඹරිනියට පිළිතුරක් පලකල නොහැක්කේම  වුවේන්  , ගුරු මෑණිය සිසුවිය අමතා මෙසේ කීවාය .. ''දරුව  සංකූලතා නම් සතක්ම වන්නේය '', තොප වහා ගොස් , ''පර්වීනු  කුමාරානි'' නම් දඹදිව ඉපිද, වත්මන සුදු දේශයක සිට , කාය රෝග භෞතවේදය පිළිබඳව කෙල පැමිණ ,ලෝ පතලව ,ග්‍රන්ථ කර්මයේ යෙදෙන ඒ මහා ජීවක මෑණියන්ගේ පුස්තකය කියවා බලා අදාල සංකූලතා වනපොත් කොට ගෙන , ඉදින් මත්තෙහි වහාම  මා  හමුවට පැමිණ අදාළ තතු දන්වා  සිටිනුයැයි '' අණ කොට  සිසුවිය පිටත් කොට  හැරියාය .

ඉදින් තඹරිනියද ගුරු මෑණියන්ගේ බසට අවනතව , එකී මහාර්ඝ වුද  , රාත්තල්  ත්‍රිත්වයක් පමණ බරැති වුද, සිව්දහසක් පමණ පත් ඉරු වන්නා වූ ද, කාය  රෝග භෞතවේද ග්‍රන්ථය රැගෙන රෝගී ශාලාවේ පසෙකට වී වහ වහා වනපොත් කරන්නට වූවාය .

ගුරු මෑණි තොමෝ ඉන් මත්තෙහි අනෙකුත් සිසුන් දෙසට යොමුව පවසන්නී , ''හර්දය වස්තුවේ ඇති වන්නා  වූ මෙම රෝගී තත්වය නම් දැන් දැන්  බහුල වන්නේමය , ඊට හේතු නම් ජනයාගේ දුම් පානයද , තෙල් අධික ආහාර අනුභවයද  , ලුණු සහිත ආහාර අනුභාවයද , කුසීතව කය නොවෙහසා කාර්යය කිරීමද ආදී හේතුන් බව තොප දතයුතුය '', ''එසේම මෙකී කාරණා තොපගේ අවසන් වසර දීර්ඝ විභාග වලටද ඉතාමත්  වැදගත් වන හෙයින් , වඩ වඩාත් ධාරණය කොට ගෙන , හොදින් උගනිමට උත්සුකවව් ''කියා කාරුණික ඔවා දුන්නාය .

ඉන් අනතුරුව ජීවක පිරිස දෙවන රෝගී ඇඳ  වෙතට  පිළි පන්නෝය  , පළමු රෝගියාට කලාක් සේම දෙවන රෝගියා වෙනුවෙන්ද කලයුතු සියලු කර්මයක්ම ඉටු කොට අවසානයේ ;'' ගුරු මෑණියෝ ජීවක සිසු පිරිස අමතන්නී  , ''මේ රෝගියා නම් කාගේද?'' දැයි නැවතත් ඇසුවාය ..  පෙර තඹරිනිය , සේම සිසුන් අතරින් ගම්‍ය වන්නී කුමරන්තනී නම් ජීවක සිසුවියකි . ''ගුරු මෑණියනි රෝගියා නම් මාගේය ''සිසුවිය පවසත්ම, ගුරු මෑණියෝ සිසුවියගෙන් රෝග නිධානය කෙසේ වත්දැයි යි පෙරසේම අසා සිටියාය .

දිගු කාලීන කැස්සකින් පෙලෙන්නා වූ , මහලු මුත් මිත්‍රශීලී , රෝගියෙක් වූ , එම රෝගියා පරික්ෂා කොට , රෝගියා  කෙරෙන් උකහා ගත් කරුණු එකින් එක , ගුරු මෑණියෝ ඉදිරියේ කුමරන්තනිය මනා  කොට  පවසා සිටින්නට වූවාය .....

ඉතුරු කොටස මතු දිනයේ ....



No comments:

Post a Comment