Search This Blog

Wednesday, October 23, 2013

අත්තම්මා



ඒ 2010 ඔක්තෝම්බර් මාසේ ... මගේ විශ්ව විද්‍යාල ජීවිතේ දෙවෙනි වසර , බොහොම ගැස්සිලි පැද්දිලි ගොඩක් මැද  ගෙවුන කාලයක් වගේම මගේ ජීවිතේට ලොකු පන්නරයකුත් ගෙනාපු කාලයක් .

දියවැඩියාව , අධික රුධිර පීඩනය යන ,රෝග දෙකෙන් වසර දහයක් විතර පීඩා විදිමින් හිටපු අත්තම්මා හදිසියේම අසනීප වෙනවා . ඊට කලිනුත් කීප සැරයක්ම අසනීප වෙලා රෝහල්  ගත කරලා ,පසුව සුවය ලබාගෙන එන්නට අත්තම්මාට  ශක්තිය තිබුනත් ,2010 වෙනකොට  අවුරුදු 89ක ආයුකාලයක් ගත කරලා තිබ්බ අත්තම්මට , හදිසියේම මේ අසනීප වුනු වෙලාවේ අසනීප  එක්ක හරි හරියට ඔට්ටු වෙන්න එච්චර ශක්තියක් නම් තිබ්බේ නෑ .

අසනීප තත්වයන් තමන්ගේ බලපරාක්‍රමය පතුරුවද්දී අත්තම්මා හෙමින් හෙමින් පරාජය බාරගන්න සූදානම් වුනා .. නමුත් අපිට අත්තම්මා පරදින හැටි බලාගෙන ඉන්න පුළුවන් වුනේ නැති නිසා වහාම රෝහල් ගත කරලා අසනීප වලට එරෙහිව නැගී සිටින්න අත්තම්මට ඕනේ ශක්තිය, බලය  ලබාදෙන්න අපි හැමෝම රෑ  දවල් දෙකේම ගොඩාක් මහන්සි වුනා ..සති එකහමාරක් ගත වුනා...අන්තිමට අත්තම්මට දෙන්න පුළුවන් ශක්තියේ උපරිම සීමාවට අවා ..ඒ අනුව ඒකාලේ එම රෝහලේම සීමාවාසික පත්වීම දරපු ලොකු අයියා අදාල වෛද්‍යවරුන් එක්ක කතා කරලා ,අත්තම්මව ගෙදර එක්කරගෙන ආවා ..

ඒ වෙනකොට අත්තම්මට අපි කවුද , ඉන්නේ කොහෙද කියන්න පුළුවන්කමක් තිබ්බේ නෑ , නැගිටින්න ඇවිදින්න ,අතක් පයක් හොලවන්නවත් පුළුවන්කමක් තිබ්බේ නෑ .. අත්තම්මා හිටියේ කෝමා තත්වයක ..

අත්තම්මට අවශ්‍ය ආහාර දියරමය ලෙස නහයට දාපු බටයකින් ( Naso Gastric tube )ලබාදෙන්නත් ,Saline  වගේ දියර වර්ග ලබාදෙන්නත් , ලොකු අයියා කටයුතු කලා .. නිතරම ළඟ ඉදිමින් ඒ සියල්ල ගැන බලන්න වෛද්‍ය ශිෂ්‍යාවක් වුනු මට විශේෂ වගකීමක් ලොකු අයියා භාර දුන්නා  . මගෙත් එක්ක හරි හරියට අත්තම්මට උවැටන් කරන්න  අම්මා , නැන්දලා , ඥාති අක්කලා , නංගිලා , මල්ලිලා ඔක්කොමත් ළඟම  හිටියා

තවත් සතියක් ගතවුණා  , සති අන්තේ එළඹුනා ..සතියක් විතර නිවාඩු දාලා හිටපු මට , 80% attendance නීතියට අනුව සදුදා යන්න සිද්ධ උනා .. Physiology tute   එකකුත් එදාටම වැටිලා ..කිසිම දෙයක් පාඩම් කරලා තිබ්බේ නැති නිසා tute එක වෙලාවේ පිලතුරු දන්නේ නැතුව හිටගෙන ඉන්න වෙයිද , එලියට දායිද , වගේ නොයෙකුත් දේවලුත් මගේ ඔලුව අස්සේ බියකරු හීන වගේ කැරකෙන්න පටන් ගත්තා ..

සදුදට එලි වුනා .. පාන්දර 4ට  බස් එකට නගින්න , 3 අවදි වෙලා ලෑස්ති වෙලා කෙලින්ම ගියේ අත්තම්මා බලන්න මහා ගෙදරට (අත්තම්මගේ මහා ගෙදර තියෙන්නේ අපේ ගෙදර ළඟම  එහා පැත්තේ )

අම්මත් . නැන්දලත් , අත්තම්ම ගාව , විදුලි බුබුලේ එළියෙන් අත්තම්ම දිහා මම බැලුවා ...

නිතරම දීප්තියෙන් දිලිසෙන ඒ අහිංසක ඇස් , අද මලානික වෙලා , කොහේදෝ ඈතට යොමුවෙලා ..
සුදු කෙහෙරැලි විසිරිලා ගිහින් ....
තොල් වල , මූනේ පාට සේදිලා ......
saline එක දිගටම ගමන් කරනවා ......

''අත්තම්මේ මම යනවා '' , අත්තම්මගේ අත අල්ලාගෙන මම කියනවා , වෙනදට ගොඩක් උණුසුමට දැනෙන ඒ අතේ මට දැනුනේ තරමක සීතලක් ....
මූණේ හිනාවක් රඳවාගෙන , ''ආ හීං දුව යන්නද??'' වෙනද වගේ අත්තම්මා මගෙන් ඇහුවේ නෑ .
මගේ හිත ගැහෙනවා , ඇහේ කදුළු නැගෙනවා ...අත්තම්මා දැන් දැන් කතා කරයි , මන් දිහා බලයි කියල හිතෙනවා ...
මගේ මුළු ඇඟම කෑ ගහල කියනවා ,, ''අය්යෝ අද රාගම  යන්න බෑ කියලා ''

මම නැමිලා , අත්තම්මගේ කකුල් අල්ලලා වදිනවා ...

''බුදුන් දැක නිවන් දැකපන් ''
පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ ''

අත්තම්මා වෙනද වගේ මට ආශීර්වාද කලේ නෑ ....
අත්තම්මගේ විසිරුන කෙහෙරැලි හදමින් ''අත්තම්මේ මට යන්න බෑ  කියලා ''  මම ඇඩුවා ...අත්තම්මා  නිසොල්මනේ .....
''ඔයා ගිහින් එන්න පුතේ .. අපි අත්තම්මව බලා ගන්නම් ''අම්මත් , නැන්දලත් මාව අස්වැසුවා ...

'' ඔව් ශීත කාලය පැමිණේවි .. හිම කැට සහිත මහා නපුරු සුළි සුළං හමාවී , ඒත් ඉන් ඔබ්බෙහි වසන්තය  එනවා සත්තමයි ,,'' ගුරු ගීතයේ දෙබසක් මට මතක් වෙනවා ... හිත තද කරගෙන ඇවිත් , මගේ ළඟම යාලුවෙක් වෙන නිමේෂත් එක්ක රාගම එන්න පිටත් වෙනවා .. අත්තම්මා  ගැන අහල එයත් මාව සනසනවා ..

7.30ට රාගම .. 8- 12.15 lectures .. 12.15-1.15.. දවල් කෑම  පැය .. 1.15 -4.15.. tutes , practicals... පාඩම් කරලා තිබ්බේ නැතත් , කොහොම කොහොම හරි යලුවොන්ගෙනුත් උදවු ඇතිව , කරදරයක් නැතුව සියල්ලටම මූණ දෙනවා .. අතර මැදින් අත්තම්මව , අම්මව මතක් වෙනවා ...කාලේ ගෙවෙනවා ...

4.15ට  වැඩ ඉවර වුන ගමන්ම බෝඩිමට  ඇවිත් , ගෙදරට call කරනවා ... එක සැරයක් .. දෙසැරයක් .. තුන්සැරයක් .... පිළිතුරක් නෑ ... මගේ හිත ගැස්සෙනවා ..''කෝ මේ ගෙදර මිනිස්සු ...'' මට කෙන්තියකුත් එනවා ... ඊට පස්සේ ලොකු අයියට කතා කරනවා ... එයාගෙනුත් නෑ පිළිතුරක්  ... දුක වැඩි වෙන මම , පුංචි අයියට , නැන්දලට ඔක්කොටෝම කතා කරනවා ...

කිසිම පිළිතුරක් නෑ .... විනාඩියෙන්  විනාඩිය ගත වෙලා 5.30ට ලං වෙනවා ...
''නෙළුම් ගෙදර අයට මොකක් හරි වැඩක් ඇති .. එයාල පස්සේ කතා කරයි .. ඔයා  දැන් ඇඟ හෝදගෙන එන්න , අපි තේ බීල පස්සේ අයෙත් කතා කරමු  ...'' මගේ room mate පියුමි කියනවා ...

''හ්ම්ම්ම් .... අනේ ඉතින් කාටහරි   කතා කරන්න බැරිද ?.... අනේ මන්දා.... ''මම දිග හුස්මක් පිට කරනවා ...

මම ඇඳට වෙලා .. අත්තම්මා ගැන , ගෙදර ගැන අම්ම ගැන හිත හිත  ඉන්නවා ...

වෙලාව 6 පහු වෙනවා ...

මගේ දුරකථනය නාද වෙනවා ... ලොකු අයියා ...

''ඇයි කතා කලේ නැත්තේ ,,, කෝ අම්මා   ,,,මම ගොඩක් සැරයක් ගත්තා ,,,, ''ගිනි කන්දකින් ලෝදිය පිටවෙනවා වගේ මම එක දිගටම කියාගෙන කියාගෙන යනවා ...''

''නෙලුම් ... ගෙදර ටිකක් කලබල ... එයා හෙමීට කියනවා ...
ඔයාටත් මේවා තේරෙනවනේ ...
අත්තම්මා වයසයි ,,
අපි හැම දෙයක්ම කලානේ අත්තම්මට .......''

වෙලාව අරගෙන හෙමින් හෙමින් ....එයා අත්තම්මා අන්තරා වුනා කියල කෙලින් කියන්නේ නැතුව මට වටෙන් ගොඩින් කියනවා .......

දුරකථනය විසන්ධි කරන මම ඉකි ගගහ අඬනවා .... අත්තම්මගේ වචන ... කරපු කියපු දේවල් නිමක් නැතුව මට මතක් වෙනවා ...
මගේ අඬන සද්දෙට බියපත් මුහුනෙනේ බලාගෙන ඉන්න පියුමි ...මගේ දුක අඩු කරන්න විවිධ දේ කිව්වත් මම ඒවා අහන්නේ නැතුවම දිගටම අඬනවා ....

වහාම මට ගෙදර යන්න හිතෙනවා ... රෑ වුනත් කමක් නෑ කියල හිතෙනවා ...

නැවතත් දුරකථනය නාද වෙනවා , කදුළු මතින්ම මම කතා කරනවා ... ''පුංචි අයියා මට ගෙදර එන්න ඕනේ ''.. මම කියනවා ... ''දැන් ඔයාට එන්න බෑනේ , දැන් රැ වෙලා ...මම හෙට එන්නම්  ඔයාව  එක්කන් යන්න ... අපි හැමෝම ඉන්නවා ඕනේ වැඩ කරන්න ... ඔයා  හෙට ආවම ඇති එයා  කියනවා..

''අම්මා කෝ ?''මම අහනවා ... අම්මට ගොඩක් දුකයි ,, ඔයා හෙට ඇවිත් අම්මට කතා කරන්න '' එයා  එහෙම කියද්දී අම්මත් ගොඩක් අඬනවා ඇති කියලා මට හිතෙනවා ..

''ඔයා එන්න ඕනේ නෑ , මම පරිස්සමින් කෝච්චියේ උදෙන්ම එන්නම් ..'' මම කියනවා ..
පුළුවන්ද ? එයා අහනවා ...
''ඔය එන එක අපරාදේ ... මම එන්නම් ...''

එහෙම කියලා මම පහුවදා උදෙන්ම කෝච්චියේ ගෙදර එනවා ...රෑ නින්දෙදි වගේම , කෝච්චියේ එන මඟ දිගටත් අත්තම්මව මතක් වෙනවා ,,, කදුළු නැගෙන ඇස් අනෙකුත් මගීන්ගෙන් හංගගන්න වෑයම් කරමින් පැය 3කින්  ගෙදරට එනවා ...

ගෙදරට යන පාර මළගෙදරක සිරිය අරන් .. සුදු කොඩි පාර දෙපැත්තේ
මහා ගෙදර වෙනස් වෙලා .. තාවකලික hut  කීපයක් ඉදිවෙලා .. පුටු .. සෙනග ,, කොඩි වැල් ..

මම කෙලින්ම යනවා අත්තම්මා බලන්න ...

සුදු සේද රෙද්දක , රෝස මල් , ඔර්කිඩ් මල් ගොන්නක් මැද , සුදු උඩුවියනක් මැද්දේ මගේ ආදරණීය අත්තම්මා සුව නින්දක ..
දෑස් වැහිලා .. තොල් නිහඬ වෙලා ...  උණුසුම් අත් සුදු අත්වැස්මකින් වැහිලා ... උඩරට ඔසරියක් ඇඳලා ... අත්තම්මා නිසොල්මනේ ....

''අනේ මගේ අත්තම්මේ .... කියල මම කෑ ගහලා ඇඩුවා ... මගේ හිත ඇකිලිලා යනවා වගේ දැනුනා ...
ආයෙත් කවදාවත්  අත්තම්මා ''හීං දුව උඹ ආවද ?''කියලා  මගෙන් අහන්නේ නෑ  කියන බියකරු සත්‍යය මට අවබෝධ වෙද්දී කදුළු ,උණු දිය උල්පත් වගේ මගේ ඇස්  දෙකන් ගලාගෙන ගියා ...

අත්තම්මා ඔයා  මට පොරොන්දු උනා නේද , මම දොස්තර කෙනෙක් වෙලා එනකන්ම ඉන්නවා කියලා ?? ඇයි ඔයා ගියේ අපිව දාලා ??
මම හිතෙන් අත්ත්මගෙන් ඇහුවා ,
''හීං දුව ලොකු අත්තා මට එන්න කිව්වා , උන්දැටත් තිනිලු ... ඇරත් මම ගොඩක් කල් හිටිය නෙව උඹල එක්කල ''
''මම උඹ දොස්තර නෝනා කෙනක් වෙනකන් විතරක් නෙවෙයි උඹේ මුළු ජීවිත කාලෙටම උඹත් එක්කම මම ඉන්නවා ... උඹ හොඳට ඉගන ගන්න ඕනේ ..
උඹට රත්නත්තරේ පිහිටයි ... දැන් ඉතින් නාඩා ඉදින් හීං දුව ''

අත්තම්මා එහෙම කියනවා මට ඇහුනා ..

2010 ඔක්තෝම්බර් 25 දින අප අතරින් වියෝ වූ අත්තම්මාගේ  තෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ආදරයෙනි ......
මගේ දුක බෙදාගනිමින් මගේ ළඟම සිටි නිමේෂා , පියුමි , සචින්තා  යන සොයුරියන්ද ආදරයෙන් සිහිපත් කරමි ...



















2 comments:

  1. That was one of the sad feelings I have ever had. I traveled daily colombo those days. that pain aches at the bottom of my heart. may u attain nibbana aththamma.
    Thanks Nelum you convert that love, care, protection, affinity into words in very sensitive manner.

    ReplyDelete
  2. Yes loku akki,, it was so hard for all of us... miss all the good times we had with her.. but those memories will last forever i think, no matter what.
    Thank you for ur compliment too .. read my future posts too

    ReplyDelete