Search This Blog

Friday, October 18, 2013

ජීවක පදට්ඨ කතා 1

තවද එක් සමයක්හි මහින්සාසක නම් සාටක ධාරී රජ්ජුරු කෙනකුන්, කුරහන් මලින් ඉපිද ,තිදස් වසරක් දිග්ගැස්සී ගිය යුද්ධයක් නිමා  කොට ,රාජ්‍යය එක්සේසත් කොට ,දඬු මොනර තොට , නැව් තොට,ආලෝකයේ වේගයෙන් සිව්රිය ධාවනය කළහැකි මං ,ආදිය  තනවා ,සියලු බදු මුදා හැර ජනයා සුඛිත මුදිත කරමින් , සහෝදර මණ්ඩලයද සමගින් දසරාජ ධර්මයෙන් අනූනව රාජ්‍යය විචාරූහ .

එකල්හිම ගාරම නම් කදු මුදුනේ පිහිටි ජීවක පාඨශාලාවේ ,තුන් විසි දෙනෙකුගෙන් සැදුම්ලත් ජීවක සිසූහු කණ්ඩායමක් ,කාය රෝග භෞතවේදය හැදෑරීමෙහි  වස් , දෙමස් පුහුණු කාලයකට යටත්ව ,කාය රෝග භෞත වේදයේ කෙළ පැමිණි හිරන්‍ය ගයාවර්ණී නම් ජීවක ගුරු මෑණි තොමෝ වෙතට පිළිපන්හ .

 හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණි තොමෝ නම් , නෙක නෙක ජීවක විභාග සමත්ව , කාය රෝග භෞතවේදයේ බොහෝ අසු පිරූ තැන්  ඇතිව රාජ්‍යය සිව්කොන කිතු  ගොස නංවා , රෝගීන් මෙන්ම හෙද මණ්ඩලයටද  බොහෝ කුළුණින් බරව සලකන බවට නම් ඇත්තී වුවත්, ජීවක සිසුන් කෙරේ නම් දැඩි සිත් දක්වමින් , සියොළඟ ඩා බිඳු වැගිරෙන තෙක්ම මහන්සි වී අදාල ඉගනීම් කිරීමට සිසුන් යොමු කළා විය .

ඉදින් රුවනාක් නම් කණ්ඩායම් නායක තෙම , සිය කණ්ඩායමද සමගින් එක්තරා සඳු දිනක උදෑසනින්ම  ,පාඨශාලා අධිපති ලබාදුන් හසුන් පතද අතැතිව , හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණින්, රෝගීන් විචාරන ගාරම නගරය මාධ්‍යයේ වූ රෝගී ආශ්‍රමයේ දොළොස් වැනි ශාලාවට විත් , ගුරු මෑණි තොමෝ හමුව අවසර ලබාගෙන ,ඉගැන්නුම් ලබා ගනිමියි සිතා ,ගුරු මෑණියෝ පැමිණෙන තෙක් පෙර මඟ බලා සිටියේය .

මඳ වේලාවකින්ම දසත එකලු කරමින් සව් සිරි විහිදමින් රෝගී ශාලාවට පා  නගන්නී හිරන්‍ය ගයාවර්ණී ජීවක ගුරු මෑණි තොමෝය . ද්වාරය අසබඩ රැදී හුන් ජීවක සිසුන් දැක්කා නොදැක්කා සේම ශාලාවට පිළිපන් ගරු මෑණි තොමෝ දැක විස්මිත දෑස් ඇතිව  රුවනාක් නායක තෙමද ,කණ්ඩායමද සමගින් ගුරු මෑණි පසු පසින්ම  පා තැබීය .

ගුරු මෑණි තොමෝ රෝගී වාර්තා පිරික්සමින් . හසුන් පත් බලමින් සන්සුන් ස්වරයෙන් අමතමින් , අනු ශ්‍රේණි හොබවන්නා වූ ජීවක පිරිස්ද හෙද මණ්ඩලයද සමගින් රෝගී ශාලාවේ ගමන් ගන්නා බව දුටුවෙන් , ''මෙය නම් අවසර ලබා ගැනීමට සුදුසු වෙලාව නොවන්නේය , රෝගීන් බැලීමට බාධා කල නොයුත්තේමය ''සිතා , නායක තෙම සුදුසු වෙලාව එළබෙන තෙක් සන්සුන්ව එකත්පස්ව වුවත් ගැහෙන හදින්  යුක්තව බලා සිටියේය .

තම කටයුතු මනා කොට ඉටුකර ,රෝගීන් විචාරා සපැමිණෙන ගුරු මෑණියන් හමුවට , සිතේ ධෛරයය නංවාගෙන ,හසුන් පතද  රැගෙන ,අවසර ලබා ගනු වස්  රුවනාක් නායක තෙම එළඹියේය . ගුරු මෑණිය තමා  වෙතට එළඹෙන ජීවක සිසුවා දෙස නිරුක්සුම් ඇසින්, හිසේ සිට පාදාන්තය තෙක් බලා , සිසුවා දක්වාලූ හසුන් පත අතට ගත්තී එය විචාරන්නට වුවාය . හසුන්  පත කියවා සෑහීමකට පත්ව, තත් කාල , යාවත් කාල ආදී නැකත් බලා , ''එසේ නම් තොප සියල්ලෝම  හෙට සිට උදැසනම විත් රෝගීන් බලා කරුණු කාරණා දැනගෙන මනාව ඉගැන්නුම් ගැනීමට සුදානම් වව් '' ජීවක කර්මය නම් සුළු කොට තැකිය නොහැක්කේමය  , ඩා බිඳු සලා ඉගන ගත යුතුමය'' ආදී ඕවා දී මතු දිනයේ සිට ඉගැන්වීමට පොරොන්දු දී පිටත්ව ගියාය .

නායක තෙම මෙන්ම කණ්ඩායමද සැනසුම් සුසුම් පිට කර . මතු දිනයේ සිට මනාව රෝගීන් බැලීමට හිතට ගෙන පිටත්ව ගියහ ....

මෙහි දෙවැනි කොටස මතු දිනයේ පළවේ ......




1 comment:

  1. තවද එක් සමයක්හි මහින්සාසක නම් සාටක ධාරී රජ්ජුරු කෙනකුන්, කුරහන් මලින් ඉපිද ,තිදස් වසරක් දිග්ගැස්සී ගිය යුද්ධයක් නිමා කොට ,රාජ්‍යය එක්සේසත් කොට ,දඬු මොනර තොට , නැව් තොට,ආලෝකයේ වේගයෙන් සිව්රිය ධාවනය කළහැකි මං ,ආදිය තනවා ,සියලු බදු මුදා හැර ජනයා සුඛිත මුදිත කරමින් , සහෝදර මණ්ඩලයද සමගින් දසරාජ ධර්මයෙන් අනූනව රාජ්‍යය විචාරූහ .


    :D :D

    ReplyDelete