Search This Blog

Friday, November 15, 2013

කවියට , නිසදැසට කැමති අයට ...


 1.බුලු ගස

දැන් වැටේ
දැන් වැටේ  බුලු ගස
සිතේ -කළුවරේ
මැදි කරගෙන පුතු
ගුලි වීමු පැදුරේ
මැරුණොත් මැරුණාවේ ඔක්කොම එකට

කුණාටුව නැවතුණු  අලුයම
බැස බලමි මිදුලට
වැටුණු පොල්ගස් දෙකක් සුළඟට
රැඳී ඇත බුළු ගසේ අතු අතර
වලක්වා අපේ පැල
දෑතෙන් දරා සිටිනු වැනි පොල්ගස්
රැයක් පහන් වනතුරු
උස මහත තාත්තා කෙනකු සේ

සම්මානනීය කවියර  මහගම සේකර
ජයතිලක කම්මැල්ලවීර ශුරීන්ගේ   සාහිත්‍ය දේශනය කෙටි කතාවෙන්  උපුටා ගතිමි .

2.ලස්සන කෙල්ලෙක් දැකලා

වට දිලිසෙන යස ඉසුරට  ඇස   බැඳුණි
රට වට මුහුදින් එපිටට ලොව    පෙනුණි
මට වැඩි යම් සුවිසල් සෙවණට ලොබිනි
පිටුපා යනු රිසි නම් පව් නැත         ළදුණි

සම්මානනීය කවියර මහගම සේකර
ජයතිලක කම්මැල්ලවීර ශුරීන්ගේ   සාහිත්‍ය දේශනය කෙටි කතාවෙන්  උපුටා ගතිමි .
(දැන් කාලේ කොල්ලෝ නම් මෙහෙම කියයිද ??)

3.මව් පදවිය

බෑවුමක් නැති විසල් කන්දක පාද තබමින් ගියා සේ            විය
නොදන්නා මුත් පිහිනනා සැටි සයුරු තරණය කළා සේ      විය
ගසා ගෙන ගිය කුණාටුවකින් පොළොවටම පැමිණියා සේ  විය
දරුව :උඹ ලොව පැමිණි දිනයෙහි යළිත් මා ඉපදුනා සේ     විය

ගර්භනී භාවයත්, මව් පදවියත් , මවකගේ ඇසින් දක්නා ලෙසට රචිතව ඇති මෙම විශිෂ්ඨතම කවිය මොනිකා රුවන්පතිරණ කිවිදියගේය .. මෙම කවිය මා සිතේ තදින්ම සනිටුහන් වුයේ ප්‍රසව හා නාරිවේදය අධ්‍යයන කාල සීමාවේ මා ලද අත්දැකීම් නිසාය ..ප්‍රසුතියට ආසන්න මොහොතේ, වේදනාවෙන් කෑ ගසා සිටින මව් වරුන්ද , වෙර වීර්යයෙන් ඉවසා සිටින මව් වරුන්ද දුටුවෙමි .. කෑ ගසා සිටියත් , ඉවසා සිටියත්  තම දරුවා උපන් වහාම ,හෙද මණ්ඩලය විසින් ලය මත හොවන ලේ කැටි බිලිඳා දෝතින්ම බදා ගන්නට ඒ සියලු මව්වරුම නිරායාසයෙන් පෙලඹුනහ, එසේම තම දෙකලවා අතරින් ගලා යන රුධිරයද ,සියලු වේදනාද අමතකව ඔවුන්ගේ වත කමලෙහි සිනා රැල්ලක් ඇඳී යනුද ,සතුටු කඳුළු වැගිරෙනුද දුටුවෙමි  ....

උපුටා ගැනීම ඔබෙ යෙහෙළිය ,ඇය ගැහැණිය කෘතියෙනි


4.විශ්ව විද්‍යාල සිසුවියකට එහි ඇතුලත් වෙද්දී අක්කා කෙනෙකු දුන් උපදෙස 

අතින් පොත් බරක් ගෙන වතින් සොම්නසක් ගෙන 
නගේ පටු දොරටුවෙන් නුඹේ දෙපා නැගිය යුතු 
දෙපා දිග හරින්නට ඉඩක් නැති කුටිය තුල 
කුරා කුහුඹින් සමග කලක් දිවි ගෙවිය යුතු 
ගතට නොලැබෙයි අහර හදට නොදැනයි සිහිල 
එලිය බිඳ වතුර බිඳ පතා නුඹ හැඩිය යුතු 
කෝටියක් සතර දැන යලි ලොවට වඩින නුඹ 
නගේ ගැහැනියක් මිස ළදැරියක් නොවිය යුතු 
නවාතැන එදා නුඹ පෙලා සිර කළ  ලෙසම 
පා තබන ලොවම නුඹ පෙලන වග සිතිය යුතු ...

මොනිකා රුවන්පතිරණ කිවිදිය
උපුටා ගැනීම ඔබෙ යෙහෙළිය ,ඇය ගැහැණිය කෘතියෙනි 
විශ්ව විද්‍යාල සිසුවියකට එහි ඇතුලත් වෙද්දී අක්කා කෙනෙකු දුන් උපදෙස 
(හොස්ටල් ලැබෙනකන් අපේ ගොඩක් අයත් හිටියේ මේ විදිහට මම හිතන්නේ , රාගම පොඩි කාමර වල ...)


No comments:

Post a Comment