Search This Blog

Friday, November 1, 2013

අලුත් ඉස්කෝලේට යමු

1999 අවුරුද්දේ මම හිටියේ පහ වසරේ .ළමයින්ගේ වගේම අම්මලාගේත් විභාගයක්  වන  ශිෂ්‍යත්ව විභාගේ ලියල බලාගෙන හිටියේ ප්‍රතිඵල එනකන් .පාස් උනොත් ඉතින් නුවර ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් නිසා හීනත් ගොඩයි හිතේ .

ඔන්න එකතරා දිනේක ප්‍රතිඵල ආවා . ඒකාලේ ඉතින් Internet එකේ ප්‍රතිඵල දන්නේ නෑනේ ..ඉස්කෝලෙදි ආණ්ඩුවෙන් එවන ප්‍රතිඵල ලේඛනෙන් තමා ලකුණු බලා ගන්නේ .එහෙම ඉතින් ලකුණු බලාගන්න පන්තියේ හිටපු ළමා ලපටි අපි හැමෝම හිතේ ගැස්මකුත් එක්ක  මඟ බලාගෙන හිටියේ  හරි නොඉවසිල්ලෙන්  . ටික වේලාවකින්ම අපේ පන්තිභාර සීතා කුමාරි මැඩම් ප්‍රතිඵල ලේඛනෙත් අතේ තියාගෙන  හිනා පොකුරු ගොඩක් අරන් පන්තියට ආවා ...

අනු පිළිවෙලට මැඩම් ප්‍රතිඵල කියෙව්වා , පාස් ළමයි , ෆේල් ළමයි හැමෝම ඒ අතරේ .. හිනා මුණු , දුක් මුහුණු පන්තිය පිරිලා ... වැඩිම ලකුණු 175 නිශානිට .. දෙවැනියට වැඩිම 169 හර්ෂනිට .. තුන්වැනියට වැඩිම 162 මට ..158.. 154...ඔය වගේ ලකුණුත් ගොඩයි ... අවම සමත් වීමේ ලකුණ වුනේ 133 වගේ මගේ මතකේ හැටියට ...අපි හැමෝටම සීතා මැඩම් උණුසුම් සිතින් සුභ පැතුවා ..ෆේල් ළමයින්ට දුක් නොවී තව හිතට ධෛර්‍යය අරගෙන මහන්සි වෙලා  ඉගනගන්න ඕනේ කියල කිව්වා..
අපේ සතුටත්, ස්තුතියත් වචනෙන් කියන්න බැරි නිසා  අපි හැමෝම මැඩම්ට දණ ගහල වැන්දා .. ඒවගේම අනික් පන්ති වල මැඩම්ලත් හොයාගෙන ගිහින් වැන්දා . ඒ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵල අපි ....

මම පාස් කියල කියන්න, තුන් වෙනියටම වැඩි මට කියන්න  ,අම්මා හිනා වෙන හැටි මව මවා සතුටු සිතින් ගෙදර ආවා ...162 මම ගෙදර ඇවිත් කියද්දීත් අම්මයි ,අප්පච්චියි ලකුණු දන්නවා .. ඒ දෙන්නා ඉස්කෝලෙට කෝල් කරලා අහගෙන .බලන්නකෝ අම්මලාගේ හදිසිය ...අම්මා නම් කිව්වේ ඒක හරිම සාධාරණ ලකුණක් කියල .. මොකද මම දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලුව සම්පූර්ණයෙන්ම වරද්දලා තිබ්බ නිසා 160 ගානක් එයි කියලා සතර පත්තරේ උත්තර බලල අම්මා කලින්ම හදාගෙන හිටියේ ..
 ඒ ගානේ තිබ්බනේ භුමි තෙල් 650ml  ක මිල හොයන්න .. මට ඒක හදාගන්න විභාගේ වෙලාවේ මොන නුවණක් වත් පහල උනේ නැති උනත් ගෙදර ඇවිත් පස්සේ සතර පත්තරෙන් බලනකොට උත්තරේ දිලිසි දිලිසි ඇස් ඉස්සරහ ..දැන් ලියන විභාග වලදී උනත් ,විභාගේ මුළු පැය තුනේම කොච්චර මතක් කලත් මතක් වෙන්නේ නැති උත්තර විභාග ශාලාවෙන් බැහැල එලියට යනකොටම මතක් වෙන්නේ  මොන ග්‍රහ බලපැමෙන්ද  කියන එක මට මාර ප්‍රශ්නයක් ...අරුම පුදුම දේවල් ...

දැන් ඉතින් අලුත් ඉස්කෝලෙට යන්න ඉල්ලුම් පත්තර දාන කලේ .. කලින් අවුරුද්දේ ලකුණු අනුව පුරවලා ඉස්කෝලෙට භාර දෙන්න ඕනේ .. මගේ මාමගේ දුවලා දෙන්නා ශිෂ්‍යත්වෙන් සමත් වෙලා ගියේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට .. ඉතින් මටත් පොඩි හීනයක් තිබ්බා ඒකට යන්න ..නමුත් 162 ලකුණු නම් ඒකට මදි වේවි කියලා අම්මා කිව්වා ..හැබැයි High School එකට යන්න නම් ලකුණු ගාන හොදටම ඇති කියල අම්මා සතුටු උනා ..

ඉතින් ඔය විදිහට ඉල්ලුම් පත්‍ර දාල අලුත් ඉස්කෝල වලට ගන්න කඩඉම් ලකුණු එනකන් බලාගෙන හිටියා .. එතකොට හය වසර පලවෙනි වාරේ පටන් අරන් මම තාමත් ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ..එක්තරා සෙනසුරාදා දවසක කඩඉම් ලකුණු පිට උනා ..කඩඉම් ලකුණු දාන්නේ පත්තරේ .. ඉතින් ආරංචිය ලැබුන ගමන්ම අපේ ලොකු අයිය රුං ගාල බයිසිකලෙන් ටවුන් එකට ගියා පත්තරේ ගේන්න ..

මමත් අම්මත් ,පුංචි අයියත් (අප්පචිට වැඩකට ගිහින් )මඟ බලමින් හිටියා ලොකු පත්තරේ ගේනකන් .. මගේ හිත ගැහෙනවා ..
 ''අම්මේ මට High School යන්න පුළුවන් වෙයි නේද '' අම්මගේ අතේ එල්ලිලා මම අහනවා .. ඔව් ඔව් බලමුකෝ දැන් අයියා එයිනේ ''අම්මා කියනවා .. ඒත් ඒ උත්තරේ මට මදි
ඉතින් මම පුංචි අයියගේ ඇඟේ එල්ලෙනවා ''පුංචි අයියා මට නුවර යන්න පුළුවන් නේද '' මම අහනවා
''ඔව් පැට්ටෝ . අපි බලමු ''එයා කියනවා
ඔය අතරේ ගිය වේගෙන්ම බයිසිකලේ පැදගෙන ලොකු අයියා පාරෙන් මතු උනා ..
වේගෙන් ඇවිත් ක්රාස් ගාල වීරයා වගේ බ්රේක් කරලා බයිසිකලේ නවත්තලා .. බයිසිකලේ උඩ ඉදගෙනම හති අරින ගමන්ම මෙහෙම කිව්වා
''අම්මේ හරි මෙයාට දැන් ඉතින් ගම්පොලම තමා යන්න වෙන්නේ .. 162 ට මොකටවත් යන්න බෑ ''
''බොරු නේද ලොකු පුතේ .. පුෂ්පදානේටවත් බැරිද ??'' අම්මත් ඇස් ලොකු කරලා අහනගමන් ලොකු අයියා ලඟට කිට්ටු උනා ( මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය )
 ''අයියෝ මම මොකටද බොරු කියන්නේ ??මේ බලන්න ''කියල ලගට ගිය අම්මට එය පත්තරේ  පෙන්නුවා  ..ඒ දෙන්නා උස නිසා මට ලකුණු පෙන්නේ නෑ
පුංචි අයියත් බයිසිකලේට අඩියක් තියල පත්තරේට එබිලා ලකුණු බලා ගත්තා ..
''අනේ දැන් මොකද කරන්නේ ?? ''අම්මගේ මුණ වෙනස් ..
''ඔව් ඔව් ගම්පොල තමා දිගටම'' පුංචි අයියත් කියනවා ..එයාගේ මුණත් බර වෙලා

''අනේ බොරු'' මම කෑගහනව  ..ඇත්තද දන්නෙත් නෑ හිත යටින් මට හිතෙනවා , අම්මයි ,පුංචි අයියයි දෙන්නම කියන්නේ නැනේ .. ලොකු අයියා කිව්වත් ,
මට දුක හිතිලා මුණ ඇඹුල් වෙනවා
''ඇත්තද ලොකු අයියා ??''මම දුකෙන් අහනවා
ලොකු හිනාවක් මූණට අරන් එයා කියනවා
''නෑ නෑ යන්තම් දෙයියෝ බලලා තියෙන්නේ ''
''නුලෙන් හුචස් බාලිකාවට (උසස් බාලිකා යන්න  හුචස් ලෙස කියන ලදී ) යන්න පුළුවන් ''
මේ කියල පත්තරේ මට දෙනවා
මහනුවර උසස් බාලිකා විදුහල -161 ලස්සන අකුරින් ලියවිලා මගේ ඇස් ඉස්සරහ
''අම්මේ එක ලකුණෙන් මම බේරිලා .. මට නුවර යන්න පුළුවන් '' මම පත්තරේ  අරන් කෑගැහුවා ..
''හරි මම High School '' අයෙත් කිව්වා ..
සතුටින් හිත පිම්බිලා .. අම්මගේ , පුංචි අයියගේ මුණු වලත් හිනා පොකුරු ..

අනේ එතකොටම මට ගම්පොල බාලිකාව මතක් වෙනවා , අවුරුදු පහක ලස්සන මතක .අනේ මගේ යාලුවෝ ,, අයියෝ එයාලව දාල යන්න වෙන්නේ , නිශානි , හර්ෂනී , මැඩෝනා එහෙම නම් මාත් එක්ක යයි ඒත් අනිත් අය , එයාලව ආයෙත් හම්බ වෙන්නේ නැති වෙයි .. සතුට මැදින් මට දුක හිතෙනවා .

එත් මොනවා කරන්නද , යන්නම වෙනවනේ .. ආයෙත් එයාල හම්බ වෙයි ..අපි බලමු ..මම එහෙමත් හිතනවා .....
හරි දුකත් සතුටත් මැදින්ම දැන් ඉතින් යමු අලුත් ඉස්කෝලෙට ... හීන මවපු  නුවර ලොකු ඉස්කෝලෙට ..මම එහෙම හිතුවා ....








ප.ලි  පසු කලෙක මගේ මව ගම්පොල බාලිකා විද්‍යාලයට මාරුවක් ලබා ගෙන පැමිණියායින් පසුව බලිකාවේම රැඳුනු මගේ මිතුරියන්ගේ ගුරුතුමිය වුවාය . ඉන් මගේ මිතුරියන්ට  ,දුර සිටියත් බොහොම සමීප වන්නට මට ඉඩ ලැබුණි . ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර පවා බලමින්  කෙටි ප්‍රශ්න ආදිය නිවැරදි කොට ,ළඟම යාළුවන්ට ලකුණක් දෙකක් වැඩි කර දෙන්නටද මට හැකි වුනි ..අදට වුව මගේ මව හමුවීමට පැමිණ ඔවුහු  මගේ ගැනත් විපරම් කරති .. යාළුකම් නම්  වටින්නේ  මෙතෙක් යැයි  කාට කිව හැකිද ??  




1 comment:

  1. හූම් හූම් කතාව කියවද්දි අපිටත් හැෆී නේ ^_^

    ReplyDelete